ඉන්දියාවට එරෙහි එක්දින සටනට සූදානම් වෙනවා | දිනමිණ

ඉන්දියාවට එරෙහි එක්දින සටනට සූදානම් වෙනවා

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා පිල ඉන්දියාව හමුවේ තරග 3-0කින් ලැබූ අමිහිරි ටෙස්ට් පරාජය ඉක්මණින් අමතක කොට තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට හොඳින් සූදානම්වන බව ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග පැවැසීය. එබැවින් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මහජනතාවගේ සහයෝගය හා ආශිර්වාදය සියයට දෙසීයයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකයා ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එක්දින තරගාවලිය මේ 20වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දිවා - රාත්‍රී තරගයෙන් ආරම්භ කෙරේ. එම තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිල ඊයේ දහවල් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය අසලින් දඹුල්ල බලා පිටත්වූ අතර, එයට පෙර මාධ්‍ය හමුවක් ද පැවැත්වුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මාධ්‍ය හමුව පැවැති අතර එහිදී එක්දින ක්‍රිකට් නායක උපුල් තරංග පැවැසූවේ ඉන්දීය පිල මෙයට පෙර එංගලන්තයේදී පරාජය කොට ඇති හෙයින් මේ තරගාවලියේදී සුබවාදී බලාපොරොත්තු තමා හා කණ්ඩායම තුළ ඇති බවයි.

“ටෙස්ට් හා එක්දින ක්‍රිකට් කියන්නේ රටාවන් දෙකක්. ටෙස්ට් තරගාවලියේදී ලද අමිහිරි පරාජයේ අඩුපාඩු සකසාගෙන අප එක්දින තරගාවලියට මුහුණ දෙනවා. අපේ එක්දින පිලේ හොඳ පළපුරුදු ක්‍රීඩකයන් සිටිනවා. මාලිංග හොඳ හැකියාවක් හා පළපුරුද්දක් ඇති ක්‍රීඩකයෙක්. ඔහු මේ තරගාවලියේදී ක්‍රීඩා කරනවා. මැතිව්ස් නැවැත පන්දු යැවීම ආරම්භ කරමින් අපට අලුත් බලාපොරොත්තුවක් ඇති කොට තිබෙනවා. තිසර වැනි තුන් ඉරියව් ක්‍රීඩකයකුගෙන් විශාල දායකත්වයක් ලබාගත හැකයි. අපේ ප්‍රධාන වේග පන්දු යවන්නන් වන නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, නුවන් කුලසේකර ආබාධවලට ලක්ව සිටිනවා. නමුත් නවක ක්‍රීඩකයන් මේ තරගාවලියේ දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා” උපුල් තරංග පැවැසීය.

ඉතා හොඳ කණ්ඩායමක් තමාට ලැබී තිබෙන හෙයින් ලෝක ක්‍රිකට් බිමේ සිටින ස්ථානය සියලු දෙනාට පෙන්වීමට ඇති කදිම අවස්ථාවක් ලෙස මේ තරගාවලිය වැදගත්වනු ඇතැයි ද තරංග පැවැසීය.

“අප අද ඉන්න තත්ත්වයට වඩා හොඳ දක්ෂ කණ්ඩායමක් බව මේ තරගාවලියේදී පෙන්විය යුතුයි. ඉන්දියාව චැම්පියන් ලීග් තරගාවලියට ආවේ දක්ෂතම කණ්ඩායමක් ලෙසයි. නමුත් අප ඔවුන් පරාජය කළා. අපට සෑම තරගාවලියකදීම අවශ්‍ය වන්නේ රටක් ලෙස ඉදිරියට යන්නයි. මේ තරගාවලියේදීත් අප ඉදිරියට යන්න සියලු දේ සැලසුම් කරනවා. ඒ සඳහා සියලු දෙනාගේ සහය අපේක්ෂා කරනවා” යැයි ශ්‍රී ලංකා එක්දින නායකයා පැවැසීය.

ක්‍රිකට් සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවැසූවේ ටෙස්ට් තරගාවලිය නොසිතූ ලෙස පරාජය වුවද ශ්‍රී ලංකා පිල දක්ෂ කණ්ඩායමක් බවට ඇති විශ්වාසය තවමත් නොබිදී පවතින බවය. එක්දින තරගාවලියට උපුල් තරංග නායකයා බවට පත්කොට හොඳ කණ්ඩායමක් තේරීම් කමිටුව ලබාදී ඇති හෙයින් තරගාවලිය සුබවාදීව අවසන් වනු ඇතැයි සුමතිපාල මහතා විශ්වාසය පළ කළේය.

“අප මෙවැනි අවස්ථාවලට වරින් වර මුහුණදී තිබෙනවා. ලැබූ අත්දැකීම්වලින් ඉදිරියට යෑම අවශ්‍යයි. ක්‍රිකට් පාලක මණ්ඩලය ලෙස අවශ්‍ය සහය හා පහසුකම් සියල්ල අප දී තිබෙනවා. ටෙස්ට් තරගාවලියේදී උඩ පන්දු රැකීම යහපත්වී තිබෙනවා. ඒ දියුණුව ඉදිරියටත් රැගෙන යා යුතුයි. ක්‍රීඩකයන්ගේ වගකීමක් තිබෙනවා තමන් තුළ පාලනයක් ඇති කර ගන්න” කෙසේ වුවද මේ එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් ඇතිකර ගත හැකි වනු ඇතැයි සුමතිපාල මහතා පැවැසීය.

ටෙස්ට් ක්‍රීඩකයන් අසාර්ථකවී සිටියදී එක්දින කණ්ඩායම නම් කිරීමට ඇති විශ්වාසය කුමක් දැයි තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්නකරද්දී ටෙස්ට් තරගාවලියට සහභාගීවූ ක්‍රීඩකයන් අසාර්ථකයි පැවැසීම පිළි නොගන්නා බව ජයසූරිය මහතා පැවැසීය.

“අවාසනාවකට ටෙස්ට් පිතිකරුවන් ලකුණු අතරට පැමිණියේ නෑ. මේ එක්දින සංචිතයේ සිටින පළමු අට දෙනාම මෙයට පෙර එක්දින කණ්ඩායමේ සිටි අය. තිසර පෙරේරා යළිත් මේ තරගාවලියට යොදා ගත්තේ ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් නිසයි. ඔහුට ඉන්දියාව සමග හොඳ අත්දැකීම් තියෙනවා. පසුගිය කාලයේ අපේ ක්‍රීඩකයන් විශාල ලෙස ආබාධ වෙලා ඉන්නවා. ඒක විශාල අභියෝගයක්. හොඳම ක්‍රීඩකයන් ඉදිරියට ගේන්න අපට සිදු වුණා. තිබෙන හොඳම සම්පත් ප්‍රයෝජනයට ගන්න නිසා ඉවසීමෙන් බලා සිටිය යුතුයි” තේරීම කමිටු සභාපතිවරයා පැවැසීය.

ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙසේය:

උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, චාමර කපුගෙදර, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, අකිල ධනංජය, ධනුෂ්ක ගුණතිලක, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, වනිඳු හසරංග, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, මලින්ද පුෂ්පකුමාර

නව අදහස දක්වන්න