පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමයක් යටතේ මෙම වසර අග දී | දිනමිණ

පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමයක් යටතේ මෙම වසර අග දී

සමන්මලී ප්‍රියශාන්ති

පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ මෙම වසර අග දී හෝ ලබන වසර මුල දී පැවැත්වීමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වීම සම්බන්ධයෙන් පොදුවේ සියලු පක්ෂ විසින් වගකීම ගත යුතු බවත් ඊට ජනාධිපතිවරයාට දොස් පැවරීමෙන් පළක් නොමැති බවත් හෙතෙම පැවැසීය.

මැතිවරණ ක්‍රමය අහෝසි කිරීම සඳහා පසුගිය රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සියලු පක්ෂවල එකඟතාවයෙන් පාර්ලිමේන්තුවේ දී සම්මත වුවද එහි පැවැති අඩුපාඩු 55 ක් හේතුවෙන් මැතිවරණය පැවැත්වීම ගැටලුවක් ව තිබු බවත් ඒ මහතා පැවැසීය.

මෙම අඩුපාඩු සකසා නැවත එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මෙම 28 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ අනුව මෙම වසරේ අග වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙන බවත් හෙතෙම පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේ ද කීවේය.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන ජනාධිපතිවරයා දොස් පැවරීමෙන් පළක් නැහැ. ඒ ගැන සියලු පක්ෂවලට වගකීමක් තිබෙනවා. පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ජනතාවගෙන් ඉල්ලීමක් තිබුණා. මනාප ක්‍රමය අහෝසි කිරීමට 2012 දී පැවැති රජය පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. සියලු පක්ෂ මෙයට එකඟතාවය පළ කරලා මෙය සම්මත කර ගත්තා. මෙය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තත් එහි අඩු පාඩු 55 ක් තිබුණා. මේ අඩුපාඩු කිසිම පක්ෂයක් දැක්කේ නැහැ. ඒ පනත සම්මත කර ගත්තා. ඒ සියලු අඩුපාඩු හදලා තමයි ඉදිරියේ දී මේ පනත පාර්ලිමේන්තුවට ගේන්නේ. සීමා නිර්ණය කටයුතුද දැන් ඉවරයි.

සම්මත කර ගෙන තිබු පනත අනුව මැතිවරණය පැවැත්වුවේ නම් දෝෂ ගණනාවක් ඇති වෙන්න ඉඩ තිබුණා. අපි ඒ අඩුපාඩු ඒ වෙලාවේ දැක්කේ නැති නිසා අපි කනගාටු වෙන්න ඕනේ. ඒ නිසා මේ චෝදනාව ජනාධිපතිවරයාට පැවරීම අසාධාරණයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ වැඩිම කාල පරිච්ඡේදයක් ආණ්ඩු කරවු පක්ෂය බවට පත් වෙලා තිබෙනවා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා හොද පදනමක් ඇතිව මේ පක්ෂය බිහි කළ නිසා අපට මේ තත්ත්වයට පත් වෙන්නට හැකියාව ලැබී තිබෙනවා. පක්ෂයේ 66 වැනි සංවත්සරය සැප්තැම්බර් 2 සවස දෙකට කැම්බල් පිටියේ දී පැවැත්වෙන අතර මෙයට එක්ලක්ෂ පනස් දහසක පිරිසක් සහභාගී වීමට නියමිතයි. ජනබලය හරි අතට තේමාව ඔස්සේ මෙවර සංවත්සරය පැවැත්වෙනවා.

පළාත් 9 නියෝජනය වන පරිදි සාමාජිකයින් නියෝජිතයින් තරුණ පිරිස් මේ අවස්ථාවට එක් වෙනවා. මෙවර සංවත්සරය ගුණාත්මකත්වයෙන් යුතු සංවත්සරයක් ලෙස පැවැත්විය යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. ඒ අනුව මෙම සංවත්සරයේ දී රටට ආර්ථික, සමාජීය වශයෙන් වැදගත් යෝජනා රැසක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම තරුණයින්ට, කාන්තාවන්ට සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරනවා. එමෙන්ම දුෂණ, වංචාවලට එරෙහිව යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කරනවා.

මේ සංවත්සරයට අපි සියලු ම දෙනාට ආරාධනා කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින නිදහස් පක්ෂයේ අයට අපි ආරාධනා කර තිබෙනවා. අද ඒකාබද්ධ විපක්ෂයේ අයට තීන්දු තීරණ ගත නොහැකි තත්ත්වයට පත් වෙලා. ඒ නිසා ඒ අය කැඩිලා එන තත්ත්වයක් තිබෙනවා. ඉදිරියේ දී තවත් ඒකාබද්ධ විපක්ෂයේ 7 දෙනකු ජනාධිපතිතුමා එක්ක එකතු වෙන්න නියමිතයි. නිසි නායකත්වයක් විධිමත්භාවයක් නැති නිසා අද ඒකාබද්ධ විපක්ෂය දෙදරමින් තිබෙනවා. මේ ගැන පැවැති අනවබෝධය නිසා ඇතැම් අයගේ පාර්ලිමේන්තු ගමන පවා අඩාල වී තිබෙනවා.

මන්ත්‍රී ධූර ආරක්ෂා කර ගැනීමේ පටු අරමුණෙන් අද ඇතැම් අය එකාබද්ධ විපක්ෂය එක්ක ඉන්නේ. බදුල්ලේ ඒකාබද්ධ විපක්ෂයේ අය අද කැඩිලා එනවා. කුමාර වෙල්ගම මහතාටත් බැරි වුණා බදුල්ල බේරා ගන්න. 2026 වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් තනතුර වෙන කෙනෙක්ට දීලා තනතුරෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. එවිට එතුමා පක්ෂ නායකත්වයෙන් ඉවත්ව පක්ෂයේ අනුශාසකවරයෙක් ලෙස කටයුතු කරන්න අවශ්‍යයි. අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ද ඉල්ලන්නේ පක්ෂයේ අනුශාසකයෙක් ලෙස හිදිමින් පක්ෂයේ උන්නතියට සහය දෙන්න කියලයි. තිරසර සංවර්ධන අපි බලාපොරොත්තු වන දෙයක් වුවත් පසුගිය කාලයේ ආරම්භ කළ ව්‍යාපෘති ගණනාවක් අද අසාර්ථක තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ජනාධිපතිතුමා කාලය අරගෙන සියලු අය එක්ක සාකච්ඡා කරලා ඒ ව්‍යාපෘති නිවැරදි කරලා ක්‍රියාත්මක කරන්න කටයුතු කර තිබෙනවා. ලෝකයේ රටවල ඉහළ තාක්ෂණ කසල කළමනාකරණයට භාවිත කරනවා. අපේ රටේ අධ්‍යයන චාරිකා වැඩියෙන්ම කරලා තිබෙන්නේ කසළ භාවිතයට වුවත් අපිට තිරසාර වැඩසටහනක් නැහැ. ඒ නිසා මේ වන විට ජනාධිපතිතුමා ස්ථිර සාර වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා.

පොහොර, විදුලියට මේ කසළ යොදා ගත හැකියි. ඒ අනුව මහා පරිමාණ වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා. උමා ඔය ව්‍යාපෘතියේ අඩු පාඩු නිසා අද බොහෝ දෙනාට හිරිහැර සිදු වෙලා. ජනාධිපතිතුමා ඒ ව්‍යාපෘතියේ ගැටලුත් සොයා බලා සහන දෙමින් ඒ වැඩපිළිවෙළත් නිවැරදි කළා. ප්‍රවාහන ගැටලුව විසදන්නත් වැඩපිළිවෙළක් ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඉන්නවා.

අපිටත් අවශ්‍ය ආණ්ඩුවෙන් ආණ්ඩුව එද්දි වෙනස් නොවන ස්ථිර සාර ව්‍යාපෘතියි. එයට නායකත්වය දීම ගැන ජනාධිපතිතුමාට ස්තූතිය පළ කරනවා. අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක ඉදිරියට යන පිරිස ඉහළ ගිහින් තිබෙන බව අප කරන ලද සමීක්ෂණයකින් හෙළි වුණා. එයට හේතුව ජනාධිපතිතුමා නිවැරදි නායකත්වයට රට මෙහෙයවීමයි.

අද විශ්වාසභංග විහිළුවක් බවට පත් වෙලා. ආවට ගියාට විශ්වාසභංග ගෙන ඒමෙන් වැඩක් නැහැ. එසේ විශ්වාසභංග ඉදිරිපත් වීමෙන් ආණ්ඩුව කරගෙන යන වැඩ කොටස යටපත් වෙනවා යැයි කීවේය.

ඡායාරූපය- වාසිත පටබැඳිගේ 

නව අදහස දක්වන්න