සෞඛ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස 3කින් අවසන් කිරීමේ වැඩපිළිවෙළක් | දිනමිණ

සෞඛ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස 3කින් අවසන් කිරීමේ වැඩපිළිවෙළක්

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ මිලෝදා ආයතනය එක්ව සංවිධාන කරනු ලබන රාජ්‍ය ප්‍රසම්පාදන පුහුණු වැඩසටහන් මාලාව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි.

මේ පුහුණු වැඩසටහන් මාලාවේ ප්‍රමුඛ පරමාර්ථය ප්‍රසම්පාදන කටයුතු සඳහා දායක වන සියලු වෛද්‍ය පරිපාලකයන්, ගිණුම් නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන්, පරිපාලන නිලධාරීන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව ඇති දැනුම හා නිපුණතා සංවර්ධනය කිරීමයි.

මෙහි දී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස 09ක කාලයක් ගත වෙනවා. එවැනි කාලයක් ගත කර ඖෂධ වෛද්‍ය උපකරණ ලබාගැනීම උචිත නෑ. රෝගී සත්කාරක සේවා සඳහා ඖෂධ වෛද්‍ය උපකරණ කඩිනමින් ලබා ගත යුතුයි. එම නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස 03කින් අවසන් කිරීමට හැකි වන පරිදි වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඕනෑම රාජ්‍ය අමාත්‍යාංශයක මූල්‍ය කළමනාකරණය සහ සැලසුම් නිසි පරිදි සිදු විය යුතුයි. මහජන මුදල් වගකීම් සහගතව සහ ප්‍රවේශම් සහගතව කළමනාකරණය කළ යුතුයි. මහජනතාවට සපයන සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ නඩත්තු සහතික කිරීමේ උපායමාර්ගික සැලසුම් කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා දැඩි අවධානයක් යොමු කරනවා. 2016 - 2025 ජාතික‍ සෞඛ්‍ය උපායමාර්ගික සැලැස්මේ දී බොහෝ කරුණු කෙරෙහි අවධානය යොමු කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපායමාර්ගික තීරණ ගැනීමේ දී සැපයීම මත අත්‍යවශ්‍ය සහ අඛණ්ඩ ක්‍රියාවලියක් බව අප දන්නවා. වාර්ෂිකව අප අමාත්‍යාංශය බිලියන ගණනක වටිනාකමින් යුතු සේවා මෙන්ම සරල ලිපි ද්‍රව්‍ය සිට නවීන ප්‍රතිකාර සඳහා අවශ්‍ය අධි තාක්ෂණික උපකරණ සැපයීම සිදු කරනවා. ඒ සඳහා අති විශාල මුදලක් වැය වෙනවා. එබැවින් සැපයීමට අදාළ නිලධාරීන් කාලීන අවශ්‍යතාව මත අත්‍යවශ්‍ය දේ හා අවශ්‍යතා නිසි පරිදි සලකා බලමින් විනිවිදභාවයකින් යුතුව තීරණ ගත යුතුයි. මේ ක්‍රියාවලිය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතාමත් සංකීර්ණයි. එහි දී වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවා නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන් සහ ලිපිකාර කාර්ය මණ්ඩලය ආදී විවිධ පාර්ශ්ව ඊට දායක වෙනවා. ඔවුන් සැපයීම් පිළිබඳ ජාතික නිර්දේශ ඉෂ්ට කරමින් ඒවා ඉටු කරනවා. එම නිසා ඔවුන්ට පුහුණුවක් ලබාදීම ඉතා වැදගත්."

සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න