කසළ ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් වසරකදී ලබා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස් | දිනමිණ

කසළ ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් වසරකදී ලබා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

රටේ කැළිකසළ ගැටලුව සඳහා ලබන වසර වන විට ස්ථිරසාර විසඳුමක් ලබාදීම රජයේ අරමුණ වන අතර ඒ සමඟ අනුගත වෙමින් මෙම දෙසැම්බර් මාසය වන විට දිවයිනේ පළාත් 09 තුළම කසළ කළමනාකරණය සඳහා වූ නිසි වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා අවසන් කළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන් කැඳවා පසුගියදා උපදෙස් දුන්නේය.

පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි කසළ බැහැර කිරීමේ වර්තමාන ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නිලධාරීන්ගෙන් කරුණු විමසූ අතර පරිසර සංරක්ෂණ ‍ජාතික වැඩසටහන යටතේ පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.

පැල්පත් සහිත ප්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් අයුරින් සිදු නොවීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳවත්, කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරාත්මක වැඩසටහන් තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය.

කසළ කළමනාකරණය සඳහා වන මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමේදී පළාත් පාලන ආයතනවල වර්තමාන ප්‍රගතිය සහ ගැටලු පිළිබඳවද සාකච්ඡා කෙරෙනු අතර අවශ්‍ය උපකරණ සහ රථවාහන ලබාගැනීමේ කටයුතුවල ප්‍රගතිය ද විමසා බැලිනි.

පාසල් තුළ කසළ කළමනාකරණය සහ පොලිතින් භාවිතය අවම කිරීමේ වැඩපිළිවෙළ මෙන්ම පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල නිර්දේශ ක්‍රියාත්මක වීම පිළිබඳව ද කරුණු සාකච්ඡා විය.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින අපිරිසිදු වී ඇති ඇළ මාර්ග යථා පරිදි පවත්වා ගැනීමට දිගුකාලීන වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, සරත් ෆොන්සේකා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මැති ඇමැතිවරුන් ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් ද, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න