සෙනුරි වික්‍රමරත්න දැරිය සිංහල ජන සමාජයට මහඟු ආදර්ශයක් | දිනමිණ

සෙනුරි වික්‍රමරත්න දැරිය සිංහල ජන සමාජයට මහඟු ආදර්ශයක්

දුමින්ද අලුත්ගෙදර

අයර්ලන්තයේ වෙසෙන සෙනුරි වික්‍රමරත්න දැරිය නිර්මාණය කළ Sea Rescue ළමා කතාව පසුගියදා එස්. ගොඩගේ ප්‍රකාශනයක් ලෙස එළි දැක්විණි. දොළොස් හැවිරිදි සෙනුරි වික්‍රමරත්න දැරිය අයර්ලන්තයේ අධ්‍යාපනය ලබන අතර මෙය ඇයගේ දෙවැනි ග්‍රන්ථ නිර්මාණයයි. ගී පද නිර්මාණයට ද දායක වන ඇය නිර්මාණය කළ ඉංග්‍රිසි ගීතය ගායන ශිල්පී මාරියෝ ආනන්දයන්ගේ හඬින් පටිගත කර තිබේ. ළමා කතාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මහාචාර්ය අත්තනායක එම්. හේරත් මහතාට පිළිගැන්වූ අතර එහි දී මහාචාර්යවරයා මෙසේ අදහස් දැක්වීය.

අයර්ලන්තයේ පදිංචි වී සිටින ඉංග්‍රිසි භාෂාවෙන් අධ්‍යාපනය හදාරන සෙනුරි වික්‍රමරත්න දියණිය මේ වන විට ඉංග්‍රිසි ළමා කතා පොත් දෙකක් එළි දක්වා තියෙනවා. ඒ වගේම මේ දියණිය ගේය පද නිර්මාණයට යොමුවෙලත් තියෙනවා. කොහොම නමුත් මේ දැරියගේ නිර්මාණ වැදගත් වන්නේ, අපේ ලාංකීය ජන සමාජය තුළ හැදෙන වැඩෙන, හෙළ බස කතා කරන දුවා දරුවන්ටයි.

ඒ වගේම තමයි ඒ දරුවන්ට අධ්‍යපනය ලබා දෙන ගුරුභවතුන්ටත් මේ නිර්මාණය ඉතා වැදගත්. මම දකින විදිහට අපේ සමාජය තුළ මේ දෙපිරිසම නිර්මාණකරණයේ යෙදෙනවා අඩුයි. අතීතයේ අපේ ගුරුවරු පොත් ලිව්වා. කවි නිර්මාණය කළා. අපේ මහා ගත්කතුවර මාටින් වික්‍රමසිංහයන් පළමු පොත නිර්මාණය කරන විට වයස අවුරුදු හතයි.

කුඩා දරුවකු මෙවැනි නිර්මාණයකට පෙළඹෙනවා කියන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය අවසානයේදීත් හොඳ නිර්මාණ බිහි වෙන්න පුළුවන්. මේ දරුවා ලියා තියෙන්නේ සුරංගනා කතාවක්. එහි සඳහන් වෙන්නේ මාළුවකු පිටුපස ගිය දියණියක් මාළුවාගේ ලෝකය දකින අයුරු සුන්දර කතා මාලාවක්. අද අපේ රටේ ළමයින්ගෙන් මෙවැනි පරිකල්පන නිර්මාණ දකින්න නොලැබෙන්නේ ඇයි කියන කාරණයට පැහැදිලි පිළිතුර වන්නේ සෙනුරි වික්‍රමරත්න දැරියයි. අපේ සමාජය දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගය පසුපස දුවනවා මිස දරුවන්ගේ නිර්මාණශීලීත්වයට ඉඩක් දෙන්නේ නෑ. නිර්මාශීලී වයසේ දී ඔවුන් ශිෂ්‍යත්ව පීඩනයට ලක් වෙලා. ඒ අනුව බලන විට සෙනුරි දියණිය සිංහල සමාජයට විශාල ආදර්ශයක් ගෙනැවිත් තිබෙනවා. ඒ වගේම අපේ මවුපියවරුත් මේ ආදර්ශය ගත යුතුයි. කුඩා දරුවන් එක් සීමාවකට සිරකර තැබීම ඔවුන් දකින ලෝකයේ නිර්මාණ බිහි වීමට ඇති ඉඩකඩ ඇහිරීමක්. ඒ නිසා එම අවස්ථාව ඔවුන්ට ලබා දිය යුතුයි. අද වෛද්‍යවරු පවා පෙන්වලා දෙනවා, මෙරට දරුවන් මානසික ආතතියට ලක් වෙලා කියලා. ඒ නිසා අයර්ලන්තයේ වෙසෙන සෙනුරි වික්‍රමරත්න දියණියගේ නිර්මාණය රටක් විදිහට අපි සියල්ලෝම අගය කළ යුතු අතර එය අගනා ආදර්ශයක් ලෙස ද ගත යුතුයි. 

නව අදහස දක්වන්න