පොල් කටු නෑ පොල් කුඩු නෑ | දිනමිණ

පොල් කටු නෑ පොල් කුඩු නෑ

බන්දුල පී දයාරත්න

‘‘යාන්තම් මට වැඩ ඩිංගක් අඩු වුණා.’’ කියා කියමින් උන්නැහේ නටන්නට පටන් ගත්තේය. ඒ නැටිල්ලත් හරියටම අර සංගීතෙකට ගිහින් නටන දගර නැටිල්ලක් වාගේය. කොයි වර්ගයකට අයිති නැටුමක්ද කියලා කියන්නත් බෑ වාගේය.

‘‘මොකට උන්නැහේට පොඩි ජොලියක් ගිහිල්ලා.’’ කියා ඇම්බන් මහත්තයා කොචොක් එකට ඇසුවේය.

‘‘පොඩි නෙවෙයි ඇම්බන් මහත්තයා. මේක ලොකු ජොලියක්... අද උදේ මං මේ ගුවන් විදුලියෙන් තමයි දැන ගත්තේ හරියටම.’’

‘‘ඒ මොකක්ද අප්පේ... ගුවන් විදුලියෙන් එහෙම මිනිස්සුන්ට දැන ගන්න ඒවත් කියා දෙනවද? මං හිතා ගෙන හිටියේ ඔය තරුණ ගෑනු පිරිමි ළමයින්ගේ ආදරේ ගැන ළතෝනි දෙන සින්දු විතරයි ගුවන් විදුලියේ තියෙන්නේ කියලා. දැන් බැලුවත් එහෙමත් නෙවෙයි වාගේ නේද? හැබෑට මොකක්ද ඇම්බන් මහත්තයා ගුවන් විදුලියෙන් දැන ගත්ත දේ...’’ කියා ටොම්සන් මහත්තයාත් ඇසුවේය.

‘‘දැන් පොල් ගාන්න ඕනැ නෑ.. කෙලින්ම කඩෙන් කිරි හරි පිටි හරි ගත්තා. දැම්මා. කොච්චර ලේසිද? මට මේ ඇති වෙලා හිටියේ උදේට පොල් බෑයයි.. හැන්දෑවට පොල් බෑයයි ගාලා. මගේ අත් දෙකත් රිදෙනවා.. අනික පොල් කුඩු... ඒවට කරන්න දෙයකුත් නෑ නේ.. ඔය පොල් මහත්තයත් ගුවන් විදුලියෙන් කීවේ... ගෙදර පොල් ගෑවාම පොල්වලින් සියයට තිහක් අපතේ යනවා කියලා... දැන් මට ලේසියි. මේ සතියේ ඉඳන් මං කඩෙන් පොල් කිරි ගේනවා... එතකොට මට ටිකක් වැඩියෙන් වෙලා නිදා ගන්නත් පුළුවන්. ’’

ටොම්සන් මහත්තයා ජංගම දුරකථනය ගෙන පොල් මහත්තයාට දුරකථන ඇමතුමක් ගත්තේය.

‘‘හලෝ... මං මේ ටොම්සන් මහත්තයා කතා කරන්නේ... ඔය පොල් මහත්තයාද?’’

‘‘අපොයි ඔව්.. මොකක්ද ප්‍රශ්නේ..? ඕකට තියෙන්නේ කෙටි උත්තරයයි නේ.. කඩෙන් ගත්තා. දැම්මා. එච්චරයි. පොල් කුඩු නෑ.. පොල් කටු නෑ.. අතට මහන්සියක් නෑ.. හිරමනේ ඕනැ නෑ... අනික පොල්වලින් උපරිම ප්‍රයෝජනත් ලැබෙනවා. ඉතින් මොකක්ද ටොම්සන් මහත්තයාට තියෙන ප්‍රශ්නේ..?’’

‘‘මේකනේ පොල් මහත්තයා...මං මේ නිකමට අහන්නේ... දැන් එතකොට පොල් සම්බලයක හදා ගන්නේ කොහොමද?’’ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

‘‘අයියෝ.. ටොම්සන් මහත්තයා. ඕකත් ඔය ප්‍රශ්නයක්ද? අපි මේ දවස්වල ලෑස්ති කර ගෙන යනවා පොල් සම්බල් පැකට් කරලා වෙළෙඳ පොළට එවන්න. ඉතින් ඔය සුපර් මාර්කට් එකකට ගියා. ගෙදර ගෙනිච්චා. දා ගත්තා. කෑවා... එච්චරයි. බලන්ඩ කොච්චර ලේසිද?’’

‘‘එතකොට පොල් මහත්තයා. ඔය පලා මැල්ලුමක් හදා ගන්නේ කොහොමද?’’

‘‘ ඕකත් ප්‍රශ්නයක්ද ටොම්සන් මහත්තයා... අපි වෙළෙඳ පොළට ළඟදිම එවනවා ගාපු පොල් පැකට්. ඒ විතරක් නෙවෙයි. දැනටමත් කපාපු මැල්ලුම් පැකට් විකුණනවා නේද? ඉතින් ගාපු පොල් පැකට් එකක් ගත්තා. කපාපු මැල්ලුම් පැකට් එකක් ගත්තා. කලවම් කරලා ඇනුවා. ටිකක් ළිපේ තිබ්බා. කෑමට ගත්තා. කොච්චර ලේසිද බලන්න. ජීවිතේ මල් මල්.. අපි පොල් කිරි දෙනකං.’’ කියා පොල් මහත්තයා සින්දුවක්ද කියන්නට පටන් ගත්තේය.

‘‘එහෙම නෙවෙයි පොල් මහත්තයා... දැන් මේ රටේ ගෙවල්වල පොල් ගෙඩියක් බින්දාම ඒකෙන් පොල් කිරි ගත්තා. එතකොට අපතේ යන්නේ පොල් කුඩු විසි කළොත් නේ. මිටි කිරි ගත්තු පොල්වලින් පොල් සම්බල් හදා ගත්තා. මිටි කිරි ගත්තු පොල් පලා කොල මැල්ලූමට දාලා ඇනුවා. එතකොට කොහොමද පොල් මහත්තයෝ පොල් අපතේ යන්නේ.. අනික ඔය පොල් කටුවත් පුච්චලා ගන්නවා නේ. ගෙවල්වල දුම් අල්ලන්න. ඔන්න පොල් මුඩ්ඩ විතරක් ඉතිරි වෙයි. ඒකත් නෑ.. මොකද පොල් මු‍ඩ්ඩ ඔය පැළවලට පෝර වෙන්න දාන්න පුළුවන් නේ.. එතකොට මොනවද පොල් මහත්තයෝ අපතේ යනවා කියන්නේ... මට තේරෙන්නේ නෑ... ’’

‘‘ඇයි ටොම්සන් මහත්තයා... උදේ හවස පොල් ගෙඩියක් ගැවාම දෑතට ලැබෙන ව්‍යායාමය. ඒක සුළු පටු දෙයක්ද?’’ කියා ඇම්බන් මහත්තයාද හරස් කතාවක් දැම්මේය.

‘‘ඒක තමයි. පොල් මහත්තයා, දෑතට හම්බ වෙන ව්‍යායාමය. ඒකට මොකද වෙන්නේ?’’

‘‘ඇයි ටොම්සන් මහත්තයා.. ගෙදර පොල් ගාලා ව්‍යායාම ගන්න එක ලජ්ජා නැද්ද? යන්නකෝ ඔය ජිම් එකකට. ගිහින් නවීන විදිහට ව්‍යායාම කරන්නකෝ.. මොනවද මේ කතා.? ’’ කියා පොල් මහත්තයා කීවේය.

‘‘එහෙම නෙවෙයි පොල් මහත්තයා... ටිකක් බිමට බැහැලා බලන්න. දැන් ඔය නාගරිකරණය වෙන කොට ජනයාගේ වෙනස්කම් ඇති වෙනවා තමයි. මහල් නිවාසවල පොල් ගාන එකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊටත් වැඩිය ඉවත දමන දේ එකතු වෙනවා. ඒ වුණාට මට නම් හිතෙන්නේ තමන්ට එන ප්‍රශ්නවල හැටියට ජනයා තීරණය කරයි තමන් ගන්නේ පොල් ගෙඩිද? පොල් කිරිද? පොල් කිරි පිටිද? කියලා. පොල් මහත්තයා ඔය බිස්නස් කාරයන්ගේ කොන්ත්‍රාත් අර ගෙන මේ රටේ ජනයාට යෝජනා කරන්න එපා ගෙදර පොල් ගාන එක අත අරින්න කියලා... තාමත් මේ රටේ වැඩි හරියක් තියෙන්නේ ගම්. ඒ මිනිස්සු අන්තිමට දිය කිරිත් අරන් පොල් කුඩු ටික වේලලා, ඒක මෝලකට දීලා තෙල් හින්දවා ගන්නවා. ඒ විදිහට තමයි අරපරෙස්සම හදාගෙන තියෙන්නේ.... ඒක හින්දා මේවා ගැන කතා කරන කොට ඔය බිස්නස් ක්‍රමයට නෙවෙයි සමාජ විද්‍යාත්මකව හිතන්න පුරුදු වෙන්න... ’’

‘‘හරි හරි ටොම්සන් මහත්තයා.. මං ඔය පොල් කිරියි කිරි පිටියි හදන අයගෙන් මේ ගැන අහලා පස්සේ උත්තරයක් දෙන්නම්... එහෙනම් පොල් පොල් පොපොල් පොල්..’’ කියා පොල් මහත්තයා දුරකථනය විසන්ධි කළේය.

උන්නැහේ බොහොම විස්සෝප වී බලා සිටියේය.

‘‘මට නම් මේකේ පේන්නේ එකම කාරණයයි. ’’ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘‘ඒ කියන්නේ මට නිදා ගන්නේ නැතිව උදේම නැඟිටලා පොල් ගාන්න කියන එකද?’’ කියා උන්නැහේ ඇසුවේය.

‘‘නෑ.. උන්නැහේ... මේ පිට රටින් ඉගෙන ගත්තු නිලධාරීන්ට අපේ රටේ ග්‍රාමීය තාක්ෂණය ගැන දැනීමක් - හැඟීමක් නෑ... ඒක තමයි අපේ සමාජයට වෙච්චි විනාශය.’’ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ඉතින් උන්නැහේට අමාරුම නම් උදේම මට කියන්න මං පොල් ටික ගාලා දෙන්නම්... ඕකත් ගෙදර මහ ප්‍රශ්නයක් කර ගන්න එපා උන්නැහේ...’’

නව අදහස දක්වන්න