කොරියානු ගින්න | දිනමිණ

කොරියානු ගින්න

ධම්මික සෙනෙවිරත්න

දැනට සිදුවෙමින් ඇති දේවලින් ‍උතුරු කොරියාව තව දුරටත් හුදෙකලා වී‍මේ අවදානමක්ද පවතී. එය ලෝක සාමය හා ආරක්ෂාව සම්බන්ධ‍යෙන් හිතකර තත්ත්වයක් නොවේ.

උතුරු කොරියාවේ ප්යොංග්යැංග් නුවර කිම් ඉල් සුං චතුරස්‍රය පෙරේදා ජනයාගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගියේය. මිට මොළවාගත් අය අහසට නඟිමින් ඔවුන් එකහඬින් ප්‍රතිඥා දුන්නේ අමෙරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව සිය නායක කිම් ජොං අං සමඟ පෙළගැසෙන බවටය. උතුරු කොරියාවට සහාය පළකරන දැවැන්ත ප්‍රචාරක පුවරුද ඔවුන් සමඟ තිබිණි.

උතුරු කොරියානුවන් මේ අන්දමින් ප්‍රතිචාර දැක්වූයේ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව සිදු කළ ප්‍රකාශයටය. එම ප්‍රකාශය ක්‍රෝධයේ ගිනිදැල් ඇවිලීමක් බව ප්‍රකාශ වී තිබේ. උතුරු කොරියානු රජය එම මහජන විරෝධතාවට දිනකට පෙර ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශය විවේචනය කළේ එය සිහි කල්පනාවකින් තොරව කළ ප්‍රකාශයක් බව දක්වමිනි. ඔහු වෙනුවෙන් සේවය කළ හැක්කේ අත්තනෝමතික කණ්ඩායමකට පමණක් බවද උතුරු කොරියා රජයේ ප්‍රකාශයෙන් දැක්විණි.

අර්බුදයට තුඩුදී ඇති අමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශය නිකුත්වූයේ උතුරු කොරියානු මිසයිල වැඩපිළිවෙළට එරෙහිවය. අමෙරිකාවද ඉලක්ක කළ හැකි අන්තර් මහාද්වීපික මිසයිල මහාද්වීපික මිසයිල එරට විසින් සාර්ථකව අත්හදාබැලීමත් සමඟ බලවත් රටවල් කැළැඹීමට පත්ව සිටී. පසුගිය සති කිහිපය තුළ උතුරු කොරියාව එවැනි මිසයිල අත්හදාබැලීම් ගණනාවක්ම සිදු කළේය. දකණු කොරියාව, ජපානය හා අමෙරිකාවද ඒ අයුරින්ම ප්‍රතිචාර දැන්වීමට වගබලාගෙන තිබිණි. උතුරු කොරියාව අත්හදාබැලූ ඇතැම් මිසයිල පතිතවූයේ ජපානය අසල මුහුදු ප්‍රදේශයටය.

හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් දුෂ්ට අක්ෂය ලෙස හඳුන්වා බැහැර කළ රාජ්‍යය අතර උතුරු කොරියාවද එකකි. අනෙක් දෙරට ඉරානය හා ඉරාකයයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද උතුරු ‍කොරියාව දකින්නේ එලෙසම බව පැහැදිලි වී තිබේ. ඔහුගේ එම පිළිවෙත උතුරු කොරියාවේ සමච්චලයට ලක්ව ඇති අතර ඊට එරෙහිව අනතුරු ඇඟවීම්ද සිදුව ඇත.

අ‍මෙරිකානු භූමි ප්‍රදේශයක් ලෙස සලකන ගුවාමි වෙත පහරදීමට උතුරු කොරියාව ක්‍රියාකරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පවසමින් ජනාධිපති ට්‍රම්ප් තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කළේ සිය නිවාඩු සමය ගත කරන අතරය. මේ වනවිට එම ප්‍රකාශය විසින් ජනාධිපතිවරයාගේ නිවාඩුව නිවාඩුවක් නොවන තැනට කටයුතු සලස්වා ඇති අයුරු දිස්වේ. එය උතරු කොරියාව බලවත් ලෙස කැළැඹීමට පත්කිරීමට හේතුවිය. එම ප්‍රකාශය හුදු ප්‍රලාපයක් ලෙස සලකා බැහැර කරන බව කොරියානු මහජන හමුදාවේ ප්‍රධානි ජෙනරාල් කිම් රන් ග්යෝම් පවසා තිබේ.

ජෙනරාල්වරයා ප්‍රකාශ කර ඇති පරිදි තම මිසයිලවලට ගුවාම්හි අමෙරිකානු යුද කඳවුරු ඉලක්ක කිරීමේ හැකියාව පවතී. තම නායකයාට අවශ්‍ය මොහොතක ඔහු තීරණය කරන අයුරින් එය සිදුවනු ඇතැයිද ජෙනරාල් ග්යොම් පවසා තිබිණි. පිලිපීනය සහ හවායි අතර පැසිපික් සාගරයේ පිහිටා ඇති ගුවාම් දූපතේ 160,000ක පමණ ජනගහනයක් සිටින අතර අමෙරිකානු යුද කඳවුරු 2ක්ද පවතී.

උතුරු කොරියානු නිල පුවත් සේවය KCNA වාර්තා කළ පරිදි Hwasong – 12 මිසයිලවලට අමෙරිකාවට පහරදී‍මේ හැකියාව පවතී. ප්යොංග්යැංග් සිට සැතපුම් 21000ක දුරින් ඇති ඉලක්කයකට පහරදීමේ හැකියාව එය සතුය. එම මිසයිල උතුරු කොරියාව පසුගියදා සාර්ථකව අත්හදා බලා තිබේ. ජපානයේ ෂිමෙන් හිරෝෂිමා සහ ‍කොචි ඉහළින් පියාසර කරමින් සැතපුම් 2085 ක් තත්පර 1065ක් තුළ නිමකළ මිසයිල ගුවාම් සිට සැතපුම් 18 – 25 ක් පමණ මෙපිටින් මුහුදට පතිතවී තිබිණි.

අමෙරිකා ජනාධිපතිවරයාගේ තර්ජනාත්මක ප්‍රකාශය නිකුත්වූයේ මෙවැනි පසුබිමකය. දෙරට අතර අර්බුදකාරී ඉතිහාසය උතුරු කොරියා නායකයා විසින් යළි සිහිපත් කර ඇත්තේද මේ පසුබිම යටතේමය.

KCNA පුවත් ‍සේවය වාර්තා කළ පරිදි ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති දැවැන්ත මහජන විරෝධතා රැලියට ආරක්ෂක හමුදා, විවිධ ආයතන, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද සහභාගි වී තිබේ. කෙසේවුවද උතුරු කොරියා නායක කිම් ජොං අං මේ අවස්ථාවට එක්ව සිටියේ නැතැයි ද වාර්තා විය. සිය නායකයා වෙනුවෙන් වෙඩි උණ්ඩ සහ බෝම්බ බවට පත්වීමට තමන් සූදානම් බව මෙම විරෝධතා රැලියට එක්ව සිටි ජනයා පවසා තිබිණි. තම රටට එරෙ හි සම්බාධකවලට දැඩිව විරෝධය පාන බවද ඔවුහු පැවසූහ. එරට මිසයිල වැඩපිළිවෙළ හේතුවෙන් පනවා ඇති මෙම සම්බාධක වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මකය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෑතකදී එම සම්බාධක තවදුරටත් අනුමත කළේය.

අ‍මෙරිකා ආරක්ෂක ‍ලේකම් ජිම් මතිස් උතුරු කොරියාවට අනතුරු අඟවමින් කියා ඇත්තේ හමුදාමය පියවරක් ඇතිවුණහොත් එය උතුරු කොරියාවේ වත්මන් පාලනය අවසන් කිරීමට මෙන්ම ජන විනාශයක් සිදුවීමට වුවද ඉඩ ඇති බවය. ඉන් ගම්‍ය වන්නේ හමුදාමය මැදිහත්වීමක් කිරීමට අමෙරිකාව සූදානමින් සිටින බව ය. එවැනි ආක්‍රමණයක් සිදුවන තෙක් උතුරු කොරියාව ද නිහඬව සිටිනු ඇතැයි සිතිය නොහැකිය.

උතුරු කොරියාවේ මිසයිල වැඩපිළිවෙළ ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් බව අමෙරිකාවෙ අදහසය. එබැවින් එය රාජ්‍ය තාන්ත්‍රිකව විසඳා ගැනීමට අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සෑම ප්‍රයත්නයක්ම දරන බවද ජෙනරාල් මතිස් පවසා තිබේ. උතුරු කොරියාව සමඟ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳා ගැනීමට සයපාර්ශවික සාකච්ඡා ක්‍රියාදාමයක් දියත්ව තිබිණි. චීනය ඊට ප්‍රබල දායකත්වයක් සැපයීය . එහෙත් එම වෑයම ‍ මෙතෙක් සාර්ථකවී නොමැත. දැනට සිදුවෙමින් ඇති දේවලින් ‍උතුරු කොරියාව තව දුරටත් හුදෙකලා වී‍මේ අවදානමක්ද පවතී. එය ලෝක සාමය හා ආරක්ෂාව සම්බන්ධ‍යෙන් හිතකර තත්ත්වයක් නොවේ.

1950 දී සිදුවූ කොරියානු යුද්ධයේ ඇරැඹුම සිහිකරමින් ඉකුත් ජුනි මාසයේදී ද ජයොංග්යැංග් හිදී දැවැන්ත ‍පෙළපාලි පැවැත්විණි. ඒවායේදී ඇසුණේද පෙණුනේද අමෙරිකා සහ අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය. උතුරු කොරියාව වාර්ෂිකව අ‍මෙරිකානු අධිරාජ්‍ය විරෝධී අරගලය මැයෙන් මාසික විරෝධතා ක්‍රියාමාර්ගයක් දියත් කරයි. අ‍මෙරිකා අධිරාජ්‍යවාදීන් ‍කෙරෙහි විශ්වාසය රැඳවිය නොහැකි බව සෑම උතුරු කොරියානුවකු පාහේ දරන මතයයි.

1950 - 53 කොරියානු යුද්ධය ආරම්භ වූයේ උතුරු කොරියාව දියත් කළ දරුණු ප්‍රහාරයත් සමඟය. යුද්ධය තුන් වසරකින් නිමාව දුටුවද කොරියානු අර්‍ධද්වීපය කොමියුනිස්ට්වාදී උතුරු සහ ධනවාදී දකුණ වශයෙන් දෙකඩ විය. ලෝක බලවතුන් මේ ගැටුමට මැදිහත් වූ අතර ‍ අමෙරිකාව දකුණු කොරියාව සමඟ ද චීනය උතුරු කොරියාව සමඟ ද සිටගත්තේ ය. යුද්ධයේදී මියගිය ‍හෝ තුවාල ලැබූ දකුණු කොරියානුවන් ගණන මිලියනයක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. උතුරු කොරියානුවන් මිලියන 1.5ක් පමණ මියගොස් හා තුවාල ලබා ඇත.

යුද්ධය ආරම්භ වූයේ උතුරු ‍කොරියාව සිදුකළ ප්‍රහාරයත් සමඟ බව ප්‍රකාශ වුවද උතුරු කොරියාව අවධාරණය කරන්නේ එය ආරම්භ කළේ අමෙරිකා එක්සත් ජනපදය බවය. යුද්ධයේ 67 ‍වෙනි සැමරුම යෙදෙනවිට උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල 5ක් අත්හදාබලා තිබිණි. ඊට අමතරව බැලස්ටික් මිසයිල කිහිපයක්ද අත්හදා බලා ඇත.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට එ. ජා. ආරක්ෂක මණ්ඩලයේ විරෝධය එල්ලවී පවතී. දකුණු කොරියා අගමැති ලීනන්යොන් අවධාරණය කරන්නේ උතුරු කොරියාව සිය මිසයිල අත්හදාබැලී‍මේ ව්‍යාපෘතිය නතර කළ යුතු බවය. කොරියානු අර්‍ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරීමට එරට දායකවිය යුතු බව ඔහු ඉල්ලා සිටී.

උතුරු කොරියාව සහ අමෙරිකාව අතර යුද අවදානමක සේයා පහළවී තිබුණද සාකච්ඡා සඳහා ඇති අවකාශය මුළුමනින්ම ඇහිරී නොතිබීම සුබදායක තත්ත්වයකි. ජනාධිපති ට්‍රම්ප් කළ දැඩි ප්‍රකාශය අතරතුර පවා ඔහු සාකච්ඡා සඳහා ඇති හැකියාව සඳහන් කර තිබිණි. පූර්ව ආරක්ෂක පියවරක් ලෙස සලකා ප්‍රහාරයන් වළක්වා ගැනීමේ අරමුණින් උතුරු කොරියාවට පහරදීමට අමෙරිකාව අපේක්ෂා කරන්නේ දැයි අසන ලද ප්‍රශ්නයකට ජනාධිපති ට්‍රම්ප් පිළිතුරු දී ඇත්තේ අප ඒ ගැන කතා නොකරන බව සහ එසේ නොකරනු ඇති බව පවසමිනි. එසේ වුව ද උතුරු ‍කොරියාවට අමෙරිකාවට සම්බන්ධ කිසිවකට හෝ සිය මිතුරු රාජ්‍යයකට ප්‍රහාරයක් සිදු කළ‍හොත් තත්ත්වය ඉතා දරුණු විය හැකි බව ඔහු පැවසීය. දැනටමත් ලොව ඇතැම් ජාතීන් එසේ කිරීමට ගොස් අමාරුවේ වැටී ඇති බව ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයේ දැක්විණි. උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක් සිදු කළ විගස දකුණු කොරියාව හා අමෙරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදුකිරීම හෝ ඊට ප්‍රතිචාර දැක්වීම මෙතෙක් සිදුවී තිබේ.

අමෙරිකාව සමඟ එක්ව දකුණු කොරියාව යුද අභ්‍යාසයන්හි යෙදීම උතුරු කොරියාව දැඩි ලෙස විවේචනය කරයි. උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ දකුණු කොරියානුවන් වැඩිදෙනාගේ මතය බව පෙනෙන්නේ අර්බුදය සාමකාමීව විසඳා ගැනීමය. නිසැකවම කවර හෝ යුද ගැටුමක් සිදු නොවිය යුතුවාක් මෙන්ම න්‍යෂ්ටික අවි භාවිතා වීමක් සිදු නොවිය යුතුවාක් ෙමන්ම යම් ෙහයකින් න්‍යෂ්ටික අවි භාවිත වුවහොත් විය හැකි ප්‍රතිඵල බියකරු බව සිතාගැනීමට අපහසු නොවේ. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...