අනූ දෙකයි රූ රැජිණ | දිනමිණ

අනූ දෙකයි රූ රැජිණ

ක්‍රිස්ටිනා ෆාර්ලි

ක්‍රිස්ටිනා ෆාර්ලි මේ දිනවල සුදානම් වන්නේ සිය අනූදෙවන උපන්දිනය සැමරීමටයි. වයස අවුරුදු අනුදෙකක් වුවත් ඇය රූප සුන්දරියකි. ඇමරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි රූප සුන්දරි තරගයේ 2016 වසරේ ජයග්‍රාහිකාව වුයේ ක්‍රිස්ටිනා ය. ඇමරිකාවේ වාර්ෂිකව පැවැත්වෙන මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසි රූ රැජිණ තරගයට ඇය මුල්වරට ඉදිරිපත්ව ඇත්තේ වයස අවුරුදු හැත්තෑවේදියි. එවර ඇය තෙවැනි තැනට පැමිණියා ය. ඉන් වසර කිහිපයකට පසු යළිත් සිය සුන්දරත්වය උරගා බැලූ ක්‍රිස්ටිනා දෙවැනි තැන හිමිකර ගැනීමට සමත්වූ අතර, ඉකුත් වසරේදී ඇයටත් වඩා වයසින් බෙහෙවින් අඩු තරගකාරියන් හතලිස් හතරදෙනකු අබිබවා කනෙක්ටිකට් ජ්‍යෙෂ්ඨ රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවාය. ඇය දෙස බලන අයෙකුට ඇය දරු මුණුපුරු, මී මුණුපුරු දහනව දෙනකු දුටු මී මිත්තණියක බව පැවසීම උගහට ය. ඒ ඇය එතරමටම ජීවයෙන් හා ක්‍රියාශීලිත්වයෙන් පිරිපුන් කාන්තාවක නිසාය.

පෝලන්ත ජාතික ක්‍රිස්ටිනා ඉකුත් වසරම ගෙවා දැමුවේ කනෙක්ටිකට් ප්‍රාන්ත ජ්‍යෙෂ්ඨ පුරවැසි රූ රැජිණ ලෙස අබිසෙස් ලැබූ විට සැරසිය යුත දිගු විසිතුරු ගවොමෙන් හා හිස් පලඳනාවෙන් සැරසීය. රූප සුන්දරියක වුවත්, විශේෂයෙන්ම වියපත් රූ රැජිණක වුවත්, ඇය නොයෙකුත් ආටෝපකාරී රූපලාවන්‍ය නිෂ්පාදනයන්ට සිය ආවේණික සුන්දරත්වය පාවාදී නැත. උපතින්ම උරුම වූ සමේ සුන්දරත්වය අගේ කොට සලකන ඈ බාහිර ආලේපනයක් ලෙස ගල්වන්නේ තොල් ආලේපන බිඳක් පමනි. රූ රැජිණ තරගයකට සහභාගී වන්නට තබා එවැන්නක් ගැන සිහින දැකීමටවත් නොසිතන වියපත් වයසකදී එවැන්නකින් ජය ලැබීම ක්‍රිස්ටිනා දකින්නේ දුෂ්කර අභියෝගයක් ලෙස නොව කාටත් ගත හැකි ආදර්ශයක් ලෙසය. “වයස අවුරුදු හැට පැන්නට පස්සේ කවුරුත් හිතන්නේ දැන් ඉතින් අපි වළ පයයි. ගොඩ පයයි කියලයි. නමුත් මට ඕනෑ කරේ ඒක එහෙම නෙවෙයි කියලා පෙන්වන්නයි. ඔබ තවම ජීවත්වනවා නම් ඔබට නටන්න, ගයන්න, මහන්න, චිත්‍ර අඳින්න පමණක් නොවෙයි රූප රැජිණක් වුණත් වෙන්නට පුළුවන්, ඕනෑකම තියෙනවා නම්.“ ක්‍රිස්ටිනා එසේ පවසන්නේ ඇය සතු හැකියාවන්ද ඊට ඈඳා ගනිමිනි. පෝලන්ත ගැමි නැටුම් කලාවට පමණක් නොව වේග රිද්ම නර්තනයන්ටද එකසේ දස්කම් දක්වන ක්‍රිස්ටිනා සතු මේ බහුවිධ කුසලතාවන්ද ඇය ලැබු ජයග්‍රහණයේ පංගුකරුවන්ය. සිය කුසලතාවන්ට අමතරව තම ජීවිතයේ දර්ශනය පිළිබඳව කතා කිරීමටද ක්‍රිස්ටිනාට සිදුව තිබිණි. කාටත් එකසේ සුහදව ආදරයෙන් සලකන ක්‍රිස්ටිනාගේ ජීවිත දර්ශනය වී ඇත්තේ සැමට ප්‍රේම කිරීමයි. ප්‍රේම කිරීමකින් තොරව අන් අයගේ ආදරය දිනාගත නොහැකි බව පවසන ක්‍රිස්ටිනා වියපත් වුවත්, අතිශයින් සමාජශීලී ජීවිතයක් ගෙවීමට ප්‍රිය කරන්නියකි.

කා පිළිබඳවත් සුහදශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ජීවිතය පිළිබඳව සුබවාදී දර්ශනයක් දැරුවත්, ක්‍රිස්ටිනා යනු ජීවිතයේ ලැබිය හැකි කටුක අත්දැකීම් උපරිමයෙන් විඳ ඇති තැනැත්තියකි. රූ රැජිණ තරගවල ආටෝපකාරී විසිතුරුබව සේම දෙවන ලෝක යුද්ධයේ බිහිසුණු වේදනාකාරී අත්දැකීම්ද ඇයට ආගන්තුක නැත. පුදුමය වන්නේ ඉතා ළාබාල වයසකදී එබඳු අමිහිරි දුෂ්කර අත්දැකීම් ලැබුවකු ලෙස ඇය ජීවිතය හා සමාජය කෙරෙහි දක්වන ප්‍රගතිශීලී, ධනාත්මක හා සුහදශීලී ආකල්පයයි.

1925දී ඇය නැඟෙනහිර පෝලන්තයේ උපත ලබන්නේ දරුවන් පස්දෙනකුගෙන් යුතු පවුලක දෙවැන්නා ලෙසයි. පියා පළමුවන ලෝක යුද්ධයේදී පෝලන්ත හමුදාව වෙනුවෙන් කළ සේවය අගයනු වස් ලැබුණු චෙරි උයනක ඉදිවු සුවිසල් නිවසක, මාපිය සොයුරු සොයුරියන්ගේ උණුසුමේ ගෙවුණු ඒ කෙළිලොල් ප්‍රීතිමත් වසර දහහතර ක්‍රිස්ටිනාගේ ජීවිතයේ සොඳුරුම කාල පරිච්ඡේදයයි. ජර්මනිය හා රුසියාව එක්ව පෝලන්තය ආක්‍රමණය කරමින් දෙවන ලෝක යුද්ධයේ ඇරඹුම සටහන් කරද්දී , සෙසු දහස් ගණනක්වූ පෝලන්ත වැසියන් සමඟ ක්‍රිස්ටිනාගේ පවුලද රුසියාවේ යුරල් කඳුකරය අවටවූ හිම මිදුණු වනාන්තර වෙත පිටුවහල් කෙරිණි. ස්ටාලින්, හිට්ලර් වැනි නම් නිතර දෙවේලේ වහල් කඳවුරේදී අසන්නට ලැබුණත්, සාගින්නෙන් පෙලුණු ක්‍රිස්ටිනා ඇතුලු පවුලට කළු පැහැ ගැන්වුණු ඊළඟ කෑම වේල ලැබෙන්නේ කොයි මොහොතේද යන්න හැර අන්දෙයක් ගැන නිනව්වක් තිබුණේ නැත. මවුපියන්ගෙන් වෙන්ව යුරල් වනාන්තරවලින් උස්බෙකිස්තානයටත්, එතැනින් ඉරානයේ අනාථ කඳවුරුවලටත් යැවණු ක්‍රිස්ටිනා පෝලන්ත විප්‍රවාසී හමුදාවට එක්වන විට ඇයට වයස දහඅටක් සම්පුර්ණව තිබුණේද නැත. හමුදා හෙද සහායිකාවක ලෙස ජීවිතයෙන් පස් වසරක් ගෙවා දැමු ක්‍රිස්ටිනාට සිය පළමු සැමියාවූ ‘ස්ටැන්ලි ස්ලොවිකොවිස්කි‘ හමුවන්නේ එලෙස තුවාල ලැබු සෙබළුනට උවැටන් කරමින් සිටියදී ය. යුද්ධය අවසන් වු පසු ස්ටැන්ලි හා විවාහ වූ ක්‍රිස්ටිනා තුරුණු වියේදීම වැන්දඹුවක වූයේ සැමියාගේ අධික බීමත්කම නිසා ය. දරු සිව්දෙනකු සමඟ තනිවූ ඇය 1955දි ඇමරිකාවට පැමිණෙන්නේ අභියෝගාත්මක නව ජීවිතයක් ඇරඹීමේ බලාපොරොත්තුනි. දන්ත හෙද සහායිකාවක ලෙස සේවය කරමින් දරුවන් පෝෂණය කළ ක්‍රිස්ටිනා යළිත් දෙවරක්ම විවාහ වුවත්, ජීවිතයේ සැබෑ ප්‍රේමය ලෙස හදුන්වන්නේ අවසන් වරට විවාහ වූ සැමියා වන ‘එඩ් ෆාර්ලිය‘ 1979 දී යුග දිවියට එළැඹුණු ඔවුන්ගේ ආදරයට දැන් වසර තිස් අටකි.

කනෙක්ටිකට් ප්‍රාන්තයේ පෝලන්ත ජනපදයේ ක්‍රියාකාරි සාමාජිකාවක වන ක්‍රිස්ටිනා දරුවන්ගේ වගකීම්වලින් නිදහස්වු සිය ජීවිතයේ සැඳෑ කාලය බෙහෙවින්ම කැප කර ඇත්තේ සමාජ සේවය සඳහායි. සංගම් ගණනාවකට සම්බන්ධව සේවය කරන ඇය කලක් කුඩා දරුවන්ට පෝලන්ත ගැමි නර්තන කියා දුන්නාය. එපමණක්ද නොව ඔවුන්ව පෝලන්තයේ ජාත්‍යන්තර නර්තන උත්සව නියෝජනය කිරීම සඳහා රැගෙන ගියාය. රූ රැජිණක ලෙස දැනටත් ඇය ගත කරන්නේ අතිශයින්ම කාර්යබහුල ජීවිතයකි. වියපත් වුවත් ඇගේ ගමනේ තවමත් අවසානයක් නැත.

වියපත් වීම ජීවිතයේ අවසානය නොවන බව ලෝකයට කියා දෙන්නී, ක්‍රිස්ටිනා ෆාර්ලිය.

රුක්ලන්ති පෙරේරා

නව අදහස දක්වන්න