‘පොඩි ‍කොල්ලා’කළ නරුම විනාශය | දිනමිණ

‘පොඩි ‍කොල්ලා’කළ නරුම විනාශය

මංජුලා විජයරත්න

මානව ඉතිහාසයේ විශාලතම පරමාණුක අවි ප්‍රහාරය ලෙස සැලකෙන, ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි පරමාණුක බෝම්බ හෙලීමට දෙසැත්තෑ වසරක් සපිරේ. පරමාණුක විනාශයකට මුහුණ දුන් ලොව එකම රට හැටියට සැලකෙන්නේ ජපානයයි. ඛේදවාචකයේ හැත්තෑ දෙවැනි සැමරුම පසුගියදා හිරෝෂිමා සාම අනුස්මරණ උද්‍යානයේදී පැවැත්විණ. මේ උත්සව අවස්ථාවට සහභාගී වූ ජපාන අග්‍රාමාත්‍යය ෂින්සෝ අබේ කියා සිටියේ න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් ඇති කිරීම සඳහා ජපානය සියලු සහයෝගය ලබාදෙන බවයි. රටවල් කිහිපයක් න්‍යෂ්ටික අවි නිෂ්පාදනයටත් න්‍යෂ්ටික අවි අත්හදා බැලීමටත් නැඹුරුවී ඇති මේ වකවානුවේ පළමු පරමාණුක බෝම්බ හෙළීමෙන් පීඩාවට පත් ජපානයේ අතීත අත්දැකීම් නැවත කියැවීමද ඉතා වැදගත්ය.

අමෙරිකා ජාතිකයන් පළමුවෙන්ම පරමාණුක බෝම්බයක් හෙළනු ලැබුවේ ජපානයේ හිරෝෂිමා නගරයටයි. එම හෙළීම සිදු වුණේ 1945 වසරේ අගෝස්තු 6වැනිදා ය. එදා උදෑසන “එනෝලා ගේ” නමැති අමෙරිකා බී - 29 යුද ගුවන් යානය, ටිනියන් නමැති පැසිෆික් දිවයිනේ ස්ථාපිත අමෙරිකා ගුවන් යානා මධ්‍යස්ථානයෙන් ගුවන්ගත විය. පුරා පැය හයකට ආසන්න කාලයක් ගමන් ගත් යානය ප්‍රාදේශීය වේලාවෙන් උදෑසන 8.15ට පමණ ජපානයේ හිරෝෂිමා නගරයට ළඟා විණ. හිරෝෂිමා නගරයේ පැහැදිලි අහසට ඉහළ සිට යානයෙන්, “ලිට්ල් බෝයි හෙවත් කුඩා කොල්ලා” නමැති පරමාණු බෝම්බය හෙළන ලදී. ඒ අවස්ථාවේදී නගරය තුළ 255,000ක් පමණ පිරිසක් සිටින්නට ඇතැයි කියා අනුමාන කෙරේ. නගර මධ්‍යයට මීටර 600ක් පමණ ඉහළින් “කුඩා කොල්ලා” පුපුරා ගියේ නගරයේ ජනගහනයෙන් සියයට 30කට ආසන්න පිරිසකට හෙවත් 80,000කට ආසන්න පිරිසකට මරු කැඳවමිනි. වාර්තාවල දැක්වෙන අන්දමට ඇසිපිය හෙළන නිමේෂයෙන් නගරයෙන් 90%කට අාසන්න ප්‍රමාණයක් විනාශ වී යන්නට මේ බෝම්බ ප්‍රහාරය හේතු වී තිබේ. මේසා විනාශයක් කරනු ලැබුවේ යුරේනියම් 235 සහිත පරමාණුක බෝම්බයක් මඟිනි. ට්‍රයි නයිට්‍රෝ ටොලුවින් නමැති රසායනිකයෙන් ටොන් 12,000ත් 15,000ත් අතර ප්‍රමාණයකින් ඇති කරන ස්පෝනයකට සමාන ස්පෝනයක් එමඟින් ඇති වී තිබිණ. බෝම්බය තුළ සිදුව ඇති න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සෙන්ටිග්‍රේඩ් අංශක මිලියන ගණනක උෂ්ණත්වයක් ජනනය කර තිබුණේය. බෝම්බය ඍජුවම පතිත වූ භූමි ප්‍රදේශය මතට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවුණු විනාශය කෙතෙක්ද යන්න සිතා ගැනීම ඔබට අසීරු නොවනු ඇත.

හිරෝෂිමා බෝම්බය පතිත කර තිබෙන්නේ ජපානයේ හිරෝෂිමා නගරයේ පිහිටි අයෝයි නමැති පාලම විනාශ කර දැමීමේ අරමුණ ඇතිව බව පසුව අනාවරණය විණ. අයෝයි පාලම “T” හැඩයට ඉඳි කර ඇති පාලමකි. එය ගුවනට මැනවින් දර්ශනය වේ. එනිසා පාලම ඉලක්ක කිරීම වඩාත් පහසු වී තිබිණ. නමුත් ගුවන් යානයේ සිටි නිලධාරීන් ගත් ඉලක්කය පාලමට මීටර 240ක පමණ දුරක් තබා වැරදි ගියේය. ඉලක්කය වැරදී යන්නට බලපා තිබුණේ ප්‍රදේශය පුරා ඒ වනවිට පැවති සුළං ධාරාවයි. ඇතැම් වර්තාවක දැක්වෙන අන්දමට ෂිමා රෝහලට හරි කෙළින් ඉහළදී බෝම්බය පුපුරා ගොස් තිබේ. මේ නිසා ෂිමා රෝහලේ සිටි රෝගීන් කිසිවකුගේ අළු බිඳුවක්වත් සොයා ගන්නට නොලැබිණි. එමෙන්ම බෝම්බය පතිත වුණු ස්ථානයේ සිට අඩි 1500ක අරයකින් වට වන ප්‍රදේශය තුළ සිටි ජනයාගෙන් 88%ක් මරණයට පත් වුණු බවට සාක්ෂි ඇත.

හිරෝෂිමාවට බෝම්බ හෙළන විට ජපානයේ නගර සෑහෙන සංඛ්‍යාවක් අමෙරිකා බෝම්බ ප්‍රහාරවලට ලක්ව තිබුණි. එහිලා වඩාත් කැපී පෙනෙන්නේ 1945 වසරේ මාර්තු 9වැනිදා ජපානයේ තෝකියෝ නුවරට බෝම්බ හෙළා ලක්ෂයකට ආසන්න සිවිල් වැසියන් මරුමුවට පත් කිරීමයි. හිරෝෂිමාව ඒ වනවිටත් අමෙරිකා ගුවන් හමුදා ප්‍රහාරවලින් බේරී තිබූ බැවින් එහි වැසියන් කල්පනා කළේ තමන්ට ප්‍රහාරයක් එල්ල නොවෙතැයි කියාය. හමුදා මුලස්ථාන කිහිපයක් පැවති බැවින් හිරෝෂිමාවට කෙසේවත් ගුවන් ප්‍රහාරයක් එල්ල නොවනු ඇතැයි යන අදහස ජපනුන් තුළ පැවැතිණ. මේ නිසා බෝම්බ ප්‍රහාරයකට මුහුණ දෙන්නට වැසියෝ සූදානම් වී නොසිටියහ. බෝම්බ ප්‍රහාරය එල්ල වන්නට පළමුව නගරය ආශ්‍රිත අහසේ කාලගුණ තොරතුරු ලබාගැනීමට ගුවන් යානයක් පැමිණ ගියේය. මේ නිසා එනෝලා ගේ යානයත් එය සමඟ පැමිණි අවශේෂ යානාත් සම්බන්ධයෙන් වැසියන් තුළ එතරම් සැලකිල්ලක් පැවැතියේ නැත.

හිරෝෂිමාවට පරමාණුක බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ අවාසනාවන්ත සිද්ධියෙන් දින තුනකට පසු එනම් අගෝස්තු 9දා තවත් බලවත් අවියක් රැගත් 'එනෝලා ගේ' ගුවන් යානයක් ටිනියන් මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියේය. ගොඩබිමෙන් එල්ලවූ වෙඩි ප්‍රහාරය නොතකමින් යානය ජපානයේ නාගසාකි නගරයට සමීප වූයේ තවත් ඉතිහාස ගත් අපරාධයකට අරඅඳිමිනි.

දින කිහිපයකට පළමුවෙන් අමෙරිකා ජාතිකයන් සැලසුම් කළේ අගෝස්තු 11වැනිදා ජපානයේ කොකුරා නගරයට න්‍යෂ්ටික බෝම්බයක් හෙළීමය. සැලසුම ප්‍රකාරව නාගසාකි නගරයට පරමාණුක බෝම්බයක් හෙළීම යෙදී තිබුණේ කොකුරා නගරයට බෝම්බ හෙළීමෙන් පසුවය. නමුත් අයහපත් කාලගුණ තත්ත්වයක් අගෝස්තු 10වැනිදා සිට පවතින බව අනාවරණය වී තිබුණු

නිසා සැලසුම වෙනස් වෙනස් කරන්නට අමෙරිකා හමුදා ප්‍රධානීන්ට සිදු විය. 270,000ක ජනගහනයක් වාසය කළ අතිශයින්ම කාර්මීකරණයට ලක්වුණු නාගසාකි නගරයට පරමාණුක බෝම්බයක් හෙළීම සිදු වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහි පතිත කර වූ බෝම්බය හැඳින්වුණේ “ෆැට් මෑන් හෙවත් මහත මිනිසා” යනුවෙනි. නාගසාකියට හෙළනු ලැබූ පරමාණුක බෝම්බ ප්‍රහාරයට ගොදුරුව පුද්ගලයන් 40,000ක් පමණ ක්ෂණිකව මරු වැළඳගත්හ. ඊළඟ මාස කිහිපය පුරා තවත් දහස් ගණනක් ජනයා ජීවිතක්ෂයට පත් වූයේ පරමාණුක බෝම්බ මඟින් ඇතිවුණු විකිරණවල බලපෑම හේතුවෙනි. ඍජුවම බෝම්බ ප්‍රහාරවලට මැදි වීමෙනුත් වරින් වර ඇතිවුණු බලපෑම් නිසාත් බෝම්බ හෙලීම් දෙකට ගොදුරුව ලක්ෂ 2ත් තුනහමාරත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. සැබෑවටම මරු වැළඳ ගත් පිරිස කොපමණදැයි කියා කීම අදටත් බෙහෙවින් දුෂ්කර වී ඇත.

දෙවන ලෝක යුදයේදී න්‍යෂ්ටික අවි භාවිතයට ගත්තේ මන්ද යන පැනයට පිළිතුරු දෙමින් අමෙරිකා එක්සත් ජනපදය පසුව ප්‍රකාශ කළේ විධග්ද බවින් තොර කාරණයකි. ජපනුන්ගෙන් සිදු විය හැකි ආක්‍රමණයකින් අමෙරිකා වැසියන් ආරක්ෂා කිරීමට න්‍යෂ්ටික අවි භාවිතයට ගත්තේය යන්න ඔවුන්ගේ නිල තර්කය විය.

උතුරු කොරියාවත් අමෙරිකා එක්සත් ජනපදයත් මේ දිනවල දෙකොන පත්තුවන විලක්කුවක් බවට පත්ව තිබේ. දෙරට එතැනට තල්ලු වුණේ එකිනෙකා පරයා අනෙකා තමන්ගේ න්‍යෂ්ටික ශක්තිය පෙන්වන්නට දරන උත්සාහය තුළය. හිරෝෂිමාවට සහ නාගසාකියට සිදුවුණු අන්දමේ ඛේදවාචකයන් මේ මිහිමත ඉතිරි නොකර මේ විලක්කුව නිවී ගියහොත් එය මානව සංහතියේ වාසනාවකි. එසේ නොවුණ හොත් අද අප හිරෝෂිමාව සහ නාගසාකි ඛෙදවාචක යළි යළිත් ආවර්ජනය කරන්නාක් මෙන් අනාගත ලෝකයත් ඛේදවාචකයක් ගැන කතා කරනු නිසැකය.



නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...