උතුරු කොරියාවේ මුද්දර ගැට

අමරිකානු විරෝධී මුද්දර ද්විත්වය

ලෝකයෙන් හුදකලාව හොර රහසේ වැඩ කටයුතු කරගෙන යාමටත්, අවසානයේදී ඒවායේ ප්‍රතිඵල ලෝකයම පුදුමයට පත්කරමින් එළිපිට ප්‍රදර්ශනය කිරීමටත් ප්‍රිය කරන උතුරු කොරියාව පිළිබඳ අනාවැකි පළකිරීම අසීරු අභියෝගයකි. නමුත් මුද්දර එකතු කිරීමට ලොබ බැඳියවුන්ට නම් උතුරු කොරියාවේ මිළඟ පිම්ම පිළිබඳව අදහසක් ලබාදීම එතරම් අපහසු නොවේ.

වසර පුරාම විවිධ අවස්ථා, විශේෂ සැමරුම් යනාදිය තේමා කර ගනිමින් මුද්දර නිකුත් කරන උතුරු කොරියානු මුද්දර සංස්ථාව සතුව එලෙස මුද්දර නිකුත් කළ හැකි නිර්මාණ කාණ්ඩ හැත්තෑවකට අධික සංඛ්‍යාවක් තිබේ. ඒ අතර ‘විප්ලවීය ඉතිහාසය‘, ‘ගරු සහෝදර කිම් ජොන් අන්‘, වැනි දේශපාලනික තේමා මෙන්ම ප්‍රවාහනය, යටිතල පහසුකම්, නව නිපැයුම්, හතු වර්ග, ඉස්සන් වර්ග, චෙස් පමණක් නොව හුරුබුහුටි පූස් පැටවුන් වැනි අසාමාන්‍ය වූ තේමාද වේ. පසුගියදා ඔවුන් කොරියානු යුද සංවත්සරය හා වාර්ෂිකව සැමරෙන ‘ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි අරගල මාසය‘ නිමිත්තෙන් තවත් අලුත් මුද්දර දෙකක් නිකුත් කළේ ඇමරිකානු විරෝධි ප්‍රතිපත්තින් පිළිබඳව කදිම චිත්‍රයක් ලෝකයට ගෙනහැර පාමිනි. ඉන් එකක් වුයේ යෝධ හස්තයක් විසින් ඇමරිකානු මිසයිලයක් කුඩුපට්ටම් කරන අයුරුයි. අනෙක ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල ඉලක්ක කරගත් යුද ශීර්ෂ චිත්‍රණය කර තිබුණේ සතුරු රටවලට විරුද්ධව මුද්දර නිකුත් කිරීමේ සිය දිගුකාලීන සම්ප්‍රදාය අනුව යමිනි. නමුත් මුද්දර යනු උතුරු කොරියාව දේශපාලනික එදිරිවාදිකම් පිරිමසා ගැනීමට පමණක් භාවිතා කරන මාධ්‍යක් නොවේ.

අවම වියදමකින් ඉහළම ලාභයක් ලැබිය හැකි ධනෝපායන මාර්ගයක් ලෙස නිර්මාණාත්මක මුද්දර කලාව උතුරු කොරියාවට විදේශ විනිමය උනන උල්පතකි. මේ නිසා දේශපාලනික අරමුණු අභිබවා ගොස්, විදේශ මුද්දර එකතු කරන්නන්ගේ රුචිකත්වයට ඔබින මුද්දර නිකුත් කිරීමට උතුරු කොරියාව පෙළඹි සිටින්නේ කලක සිටය. නිකන්ම නිකන් කඩදාසියක මුද්‍රණය කළ ශත ගණනක වටිනාකමක් ඇති මුද්දරයක් මෙන් කිහිප ගුණයක මිලක් ගෙවා මිලදී ගැනීමට, පහසුවෙන් රවටා ගත හැකි මුද්දර එකතු කරන්නන් පොළඹවා, ඔවුන්ගේ අනුවණකමින් ප්‍රයෝජන ගෙන මඩිය තරකර ගැනීම අතින් නම් උතුරු කොරියාව සේම ඇමරිකාවද සිටින්නේ සම තැන බව කියන්නේ බ්‍රිටිෂ් කොලොම්බියානු විශ්වවිද්‍යාලයේ ආසියානු අධ්‍යාපන අංශයේ ප්‍රධානි 'රොස් කිංග්' ය.

ලොව අනෙක් සියලුම දේවල් මෙන් මුද්දර වෙළඳපොළද වෙනස් වන සුළුය. වෙනස්වන ඉල්ලුම අනුව උතුරු කොරියාවේ මුද්දර මුද්‍රණ ප්‍රතිපත්තියද වෙනස්වන්නේ බොහෝවිට ‍දේශීයත්වයද අමතක කරමිනුයි. හොඳම උදාහරණය 1980 වකවානුවේදි උතුරු කොරියානු මුද්දර දෙපාර්තමේන්තුවේ මුද්‍රණ ද්වාරයෙන් පිටවූ ‘ඩයනා‘ කුමරියගේ රුව රැගත් මුද්දර එකතුවයි. එකල මුද්දර වෙළඳපොළේ ප්‍රධානම ගැනුම්කරු බවට පත්ව සිටි බ්‍රිතාන්‍ය බිලිබා ගැනීමට උතුරු කොරියාව උත්සාහ කළේ බ්‍රිතාන්‍ය වැසියන්ගේ ආදරය දිනු වේල්සයේ කුමරියගේ රුවින් මුද්දර සැරසීමෙනි. මෑත කාලයේදී උතුරු කොරියාවේ ඉලක්කය වී ඇත්තේ චීනයයි. ලෝක මුද්දර වෙළඳපොළේ මිලියන විස්සකට අධික ගැණුම්කරුවන් පිරිසක්, එනම් තුනෙන් එකක් චීන ජාතිකයින් වීමත් සමඟ උතුරු කොරියානු-චීන මිත්‍රත්වය, චීන පොප් සංස්කෘතිය, හා චීනයේ සංස්කෘතිකාංග රැගත් මුද්දර උතුරු කොරියාව නිකුත්කර තිබේ. නමුත් උතුරු කොරියාවේ මෙම බිලි බා ගැනිමේ උපක්‍රමයට චීන ගැණුම්කරුවන් හසුවේද යන්නට ඇත්තේ සැකයකි. “මුද්දර කියන්නේ රටක සංස්කෘතිය හා ඉතිහාසය වැනි අනන්‍යතාව කියාපාන සංකේත රැගත් නිර්මාණයක්. මුද්දර වෙළඳපොළේ ගැණුම්කරුවන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ රට ගැන කියන විදෙස් මුද්දර නොවෙයි. මුද්දරය නිකුත් කළ රටේ අනන්‍යතාව සංකෙත්වත් කරන මුද්දරයි.“ රොස් කිං එලෙස පවසන්නේ මෙම ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කළහොත් උතුරු කොරියාවේ මුද්දර වෙළඳපොළ ප්‍රපාතයකට ඇද වැටීම වැළැක්විය නොහැකි බවට පෙර නිමිති පළ කරමිනුයි.

මේ අතර තවමත් ඉඳහිට උතුරු කොරියානු -ඇමරිකානු විරසකය ගැන කියන මුද්දරද නිකුත් නොවනවාම නොවේ. මෙබඳු ‘මුද්දර එදිරිවාදිකම්‘ නිකුත්වීමේ අතීතය වියට්නාම යුද්ධය දක්වා දිව යන්නකි. එකල උතුරු කොරියාව මුද්දර නිකුත් කළේ ඇමරිකානු විරෝධී කොමියුනිස්ට් පාක්ෂිකයින් පිනවීමට ය. 1968දී ඇමරිකාවේ යූ.එස්.එස්. පුඑබ්ලෝ ඔත්තු සේවා නෞකාව උතුරු කොරියාවේ අත්අඩංගුවට පත්වු කළ, කලක් යන තුරුම උතුරු කොරියානු මුද්දර සංස්ථාවට මෙම නෞකාව හැර අන් තේමාවකින් මුද්දර නිකුත් කිරීම අසිරුව තිබිණි. දැන් මෙම එදිරිවාදිකම් මුද්දර ප්‍රවනතාවේ අංක එකට පැමිණ සිටින්නේ උතුරු කොරියාවේ නවතම අන්තර් මහද්වීපික ප්‍රාක්ෂේප මිසයිලයි.

පුදුම විය යුත්තේ ධවල මන්දිරය ප්‍රමුඛ සමස්ත ඇමරිකාවම තම මිසයිල පද්ධතියෙන් ආවරණය කළ හැකි බවට පම්පෝරි ගසන උතුරු කොරියාව ඒ බව මුද්දරවලින්ද ලෝකයට නොපෙන්නුවහොත් ය. මන්ද මුද්දර, චිරාත් කාලයක සිට උතුරු කොරියානුවන්ගේ හදගැස්ම හා බද්ධව පවතින්නක් නිසාය.

රුක්ලන්ති පෙරේරා


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...