සංස්කෘතියට ඩිප්ලෝමැටික් විචාර

අභිමානවත් සංස්කෘතියක හිමිකාරීත්වය නිසා ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධ ය. වෙනස් වන ලෝකයක කොටස්කාරයන් වුවද අපි තවමත් සංස්කෘතිය අගය කරන්නෝ වෙමු. ආරක්ෂා කරන්නෝ වෙමු. පෙරහර යනු එලෙස ආරක්ෂා කරගෙන ආ සංස්කෘතියක ජීවමාන රූපයකි.

තවත් එක් සංස්කෘතිකාංගයක් වනවාට වඩා පෙරහර අපේ ජීවිත කතාවට සම්බන්ධ වූවකි. පෙරහරක් නොබැලූ ළමා කාලයක් ශ්‍රී ලාංකිකයෙකුට උරුම නැත. අප්පච්චිගේ කර මත ඉඳ බොරු කකුල්කාරයන්, ගිනි බෝල කරකවන්නන් සහ නැටුම්-ගැයුම් දෙස ඉතා ආශාවෙන් අපි බලා සිටියෙමු. යනෙන වාරයක් පාසා ඇපල් බැලුමක්, කඩල ගොට්ටක් නැත්නම් රූං පෙත්තක් මිලදී ගැනීම අනිවාර්‍ය කාරණයක් විය. මේ සියලු විසිතුරු අතර පරිවාර ගජ මිතුරන් සමඟ කරඬුව වැඩම කරවන හස්තිරාජයා දෙස අපි විස්මය පිරුණු දෑසින් බලා සිටියෙමු.

ළමා කාලය නිම වුණත් පෙරහර නිමාවක් නැති ජීවයෙන් පිරුණකි. තවත් පරම්පරා ගණනකට ළමා ළපටි කරමත තබාගෙන ආශාවෙන් සහ ආඩම්බරයෙන් පෙරහැර නරඹන ජනතාවගෙන් වීදි ඒකාලෝක වනු ඇත. එලෙස සංස්කෘතිය සමඟ ඒකාත්මික වන ජනතාව අතරම අද පිළිලයක් පැතිර යයි. එනම් ඊනියා පරම අවිහිංසාවාදි සත්ව කරුණා නඩයයි.

මොවුන්ට අලි ඇතුන් විඳින හිරිහැර පිළිබඳ මතකයට නැගෙන්නේ පෙරහර සමයේ පමණි. එතෙක් මේ රටේ අලි ජනගහනය පිළිබඳ හාවක් හූවක් නැත. පෙරහර සමයට කලින් අලි විසින් පොල් අත්තක්වත් ආහාරයට ගත්තාදැයි බැලීමට එකදු පුද්ගලයෙකු නැත. නියං කාලගුණ තත්ව නිසා වතුර පොදක් නොමැතිව මියැදෙන අලි පිළිබඳ කතාව අදාළ නැත. අලි-මිනිස් ගැටුම් නිසා ජීවිත අහිමි වන මිනිසුන් සහ අලි මේ සත්ත්ව කරුණාවේ වපසරියෙන් බොහෝ ඈත ය. නමුත් පෙරහැර සමය දීර්ඝ නින්දකින් සත්ව ප්‍රේමීන් ඇහැරවන කහඹිලියා අත්තකි.

අලි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන බොහෝ දෙනෙක් ඉහළ සමාජ පන්තිය නිරූපණය කරති. එසේත් නැත්නම් එම පන්තියට යාමට වලි කති. මේ අතර මදුරුවෙකුවත් නොමරන චිකන් හොදි පමණක් ආහාරයට ගන්නා සිල්වත් අය ඇතැයි සිතිය නොහැකිය.

පෙරහැරත් සමග කල එළි බසින තවත් එක් අභාග්‍යසම්පන්න කතාවක් වන්නේ කුණු කතාවයි. ශිෂ්ට සම්පන්න සංස්කෘතියකින් පැවත එන්නන් වූවත් ඉන්නා තැන පිරිසිදුව තබා ගැනීමට තරම් චින්තන ශක්තියක් රටේ අවාසනාවට බොහෝ අයට නොමැත. පෙරහැර අවසානයේ මහනුවර වීදිවල කුණු කඳු ය. බී.බී.සී වෙබ් අඩවියේ ඇති වීඩියෝ දර්ශනයක විදේශීය කාන්තාවක් පෙරහර අවසානයේ ශ්‍රී ලාංකිකයන්ගේ කුණු එකතු කරන්නීය. අපට අගයක් නොමැති තැන මෙවන් නවනින්දා විඳීමට සිදු වේ.

මිනිසුන්ගේ ඇති නොමනා හැසිරීමට අවසානයේ වරදකරු වී ඇත්තේ සංස්කෘතියයි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අවුරුදු දෙදහස් පන්සියයක් පුරා පැවතුණේ මනුෂ්‍ය ජීවිත හැඩ ගස්වා ඔවුන්ව සබුද්ධික ජීවින් බවට පත් කර ගැනීමට ය. ලෝකයේ විවිධාකාර දැඩි සහ සෘජු දෑවලින් සැකසුණු සංස්කෘතීන් අතර අපේ සංස්කෘතිය තවත් එක් වේවැලක් අතින් ගත් ගුරුවරයකු නොවේ.

ගැටලුව ඇත්තේ සංස්කෘතියේ නොව එය රැක ගැන්මට බැරි ජනතාවගේ ය. නීතිය හරිහැටි බලාත්මක කරන්නේ නම් පෙරහැරක්, දන්සලක් හෝ වෙන යම් අවස්ථාවක් හමුවේ කුණු කඳු ගොඩ ගැසෙන්නේ නැත. සංස්කෘතිය කුණු බැනුම් අසන්නේද නැත.

පෙරහර සංස්කෘතිය පවත්නා ආකාරයෙන් ම රැක ගැනීම යුතුකමක් වගකීමක් ලෙසින් හැඳින්වීමට වඩා අනාගත පරපුර සඳහා ඇති පාරම්පරික වස්තුවක් ලෙස හැඳින්වීම මැනවි.

කිත්සිරිමෙවන් රජ දවසේ පටන් විභූතිමත් ලෙස තාක්ෂණික යුගය දක්වා පෙරහැර සංකල්පය ආ ගමනට අපි අපේ ආදිතමයන්ට කෘතඥතාව පළ කරන්නෙමු. වර්තමාන පරපුර වශයෙන් අප කළ යුතු වන්නේ සංස්කෘතිය සම්බන්ධයෙන් ඩිප්ලෝමැටික් විචාර දීමට වඩා අනාගත පරපුර වෙනුවෙන් සංවේදී ව කටයුතු කිරීම ය.

තිසරණී විජයබණ්ඩාර
@Thizuu


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...