යස රසට විනිවිද පෙනෙන අයිස් හදන යන්තරේ | දිනමිණ

යස රසට විනිවිද පෙනෙන අයිස් හදන යන්තරේ

තඹරු විජේසේකර

සතියේ වැඩ කරන දවස්වල ඔෆිස්වල අයිස් මැෂින් ඕන තරම් හොයා ගන්නට පුළුවන්. දවස පුරා ම ෆෝන්වල එල්ලිලා, ෆයිල් කඳුවලින් මූණ වහගෙන, පෑන් කටේ ගහගෙන කලින් දවසේ ටෙලි නාට්‍යය ගැන හිතන, පරක්කු වෙලා තේ බොන වෙලාවට ඇවිත් තේ බොන්න ගිහින් ඉඳිද්දී ලන්ච් ටයිම් ආවාම එහෙම ම දවල්ටත් කාලා හවස තේ එකත් බීලා ගෙදර යන අපේ ඔෆිස් නෝනලාට, මහත්තුරුන්ට ඒ වගේ ගෞරව නාමයක් යසට ගැලපෙනවා. ඒ කොහොම නමුත් අපි ගෙදර හදාගන්න අයිස්වල හොඳ රසක් නැහැ. ඒ වගේ ම සාම්ප්‍රදායික කොටු හැඩය නිසා පානවලට විශේෂත්වයක් ලබා දෙන්නත් බැහැ. මේ හැමදේට ම විසඳුමක් පෝලාර් අයිස් බෝල් නමින් දැන් හඳුන්වාදී තිබෙනවා.

කුඩා ප්ලාස්ටික් පෙට්ටියක් මෙන් පෙනෙන මෙම නිපැයුමෙහි ඇතුළත අච්චුවක් තිබෙනවා. ගෝලාකාර හෝ ඝනක වැනි අච්චු වර්ග දෙකක් මේ සමඟ ලැබෙන අතර ඒවා මාරු කිරීමෙන් අයිස්වලට ඉන් කැමති හැඩයක් ලබා දෙන්න පුළුවන්. අච්චුව සකසා පෙට්ටිය වැසූ විට එහි ඉහළ නලයක් සහ පිටතට ආ සිදුරක් තිබෙනවා. එයට ජලය වත් කරන විට ඇතුළත සිලිකන්වලින් සකසා ඇති අච්චුවලට ජලය ගලා යනවා. අච්චු තලයේ ද කුඩා සිදුරක් තිබෙනවා. එමඟින් ඇතුළතට වෑස්සෙන ජලයෙන් කුණු රොඩු සහ වාතය පෙරමින් ජලය පමණක් කුටීරවල රඳවා ගන්නවා. මෙය අධි ශීතකරණයේ තැබීමෙන් වරකට ගෝලාකාර අයිස් 4ක් සහ ඝනකාකාර අයිස් කැට 6ක් සකසා ගන්නට පුළුවන්.

මෙහි නිපැයුම්කරුවා දිනක් ඔහුගේ දියණිය සමඟ බිරිඳට පවසා ඇත්තේ ගෙදර හදන අයිස්වලට වඩා අවන්හල්වල, අයිස්වල පිවිතුරු රසයක් සහ ගන්ධයකින් තොර බවයි. මින් කෝපයට පත් ඇය ගණනකටවත් නොගෙන පවසා ඇත්තේ “ඕවා මනස්ගාත” කියායි. මන්ද, සාමාන්‍යයෙන් එක දිගට ම ගෙදරින් ම කන කෙනෙක්ට ගෙදර එළවළු දහයක් තිබුණත් කඩේ තිබෙන මිරිස් කුඩු දැමූ ලුණු රයිස් එකට හිත යන්නේ නිතැතින් ම යි. ඒ වගේ වළලු දැමූ අතින් ගෙදර හදන කොයි දේටත් වඩා ලොම් පිරුණු අතකින් හැදෙන කඩේ කෑමට රහ වැටිලා වහ වැටෙන නිසා ඇය එසේ පවසන්නට ඇති. එනමුත් මේ කාරණයේදී නම් හැඳි මිටේ අදහස වැරදුණා. ඔහු සොයා ගන්නා ලද පරිදි අයිස්වල රසේ සහ සුවඳේ වෙනසට හේතු වී තිබෙන්නේ හෝටල් සඳහා මහා පරිමාණයෙන් අයිස් සකසන උපකරණවල ඇති විනිවිද පෙනෙන ස්වභාවය යි. ඉන් අදහස් වන්නේ, කුණු රොඩුවලින් තොරව පූර්ණ වශයෙන් ආවෘත ව සකසන ලද අයිස් හුදෙක් ජලයේ පිවිතුරු රසය ම ආරක්ෂා කර ගනිමින් බාහිර ගන්ධයන් උකහා නොගත් විට අයිස්වලින් අමුතු රසක්, සුවඳක් පානවලට ලැබී ඒවායේ අත්දැකීම විනාශ ව නොයන බව යි. ඒ අනුව තමයි ගෙදරදී මේ දේ කරගන්නට කුඩා උපකරණයක් නිපැයෙන්නේ.

සාමාන්‍යයෙන් හිම මිදෙන්නේ ජල තටාකයේ පතුලේ සිට ඉහළට යි. මෙය අයිස් නිපැයීමේදී සිදුවන විට අයිස් කැටය මැද වායු බුබුළු හට ගැනෙන අතර ඉන් පාන වර්ග පිළිගැන්වීමේදී ලබා දිය හැකි අලංකාරය නැතිව යනවා. එසේ ම මිදෙන හිම තට්ටු පහළට බසින නිසා ශීතකරණයේ තිබෙන වෙනත් මස් වර්ග ආදිය නිසා හෝ අභ්‍යන්තර දුගඳක් තිබුණහොත් සෑම ජල ස්ථරයක් ම මතුපිටට පැමිණ ඒ දුගඳ උකහාගෙන පතුලට ළඟා වන නිසා අයිස් කැටයේ සෑම කොටසකට ම ඒකාකාරීව ජුගුප්සාජනක බවක් එක් වෙනවා. එනමුත් පෝලාර් අයිස් බෝල් උපකරණයේ සැකැස්ම නිසා ජලය මිදෙන්නේ වටේ සිට මැදට යි. අච්චුව ජලය පිරවීමේදී වායු බුබුළු ඇති වීම වැළැක්වීම සඳහා සඡිද්‍ර වුවත් වටේ පෙට්ටිය ආවෘත නිසා ශීතකරණයේ අභ්‍යන්තර වාතය සමඟ ජලයේ ගැටීමක් සිදු වන්නේ නැහැ. එවිට පානය ලස්සනට මෙන් ම රසේ වෙනසක් නැතිව පිළිගන්වන්නට හැකියාව ලැබෙනවා.

ප්‍රමාණය සහ මිදීමට භාවිත කළ ක්‍රියාවලිය නිසා මෙමඟින් සැකසෙන අයිස් දියවෙන්නට බොහෝ වේලාවක් ගන්නවා. එනිසා පානය කර අවසන් කරන්නටත් පෙර අයිස් ටික දියවෙලා බීමවල ජල සංයුතිය ඉහළ යනවා වෙනුවට සීතල පමණක් බීම එකට අවශෝෂණය වෙනවා. සාමාන්‍ය අයිස් කැට දියවී කුඩා වීමෙන්, පානය කරද්දී ඒවා මුවට පිවිසී ඇති වන අපහසුතාවය ද මෙම දිය වීමට කල් ගත වීම නිසා අවම වෙනවා.

මෙහි තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ ගෝලාකාර අයිස් කැට තුළට මල් වර්ග, කුඩා සතුන් ආකාරයේ සෙල්ලම් බඩු හෝ දියවීමට කල්ගත වන පැණි රස කැබලි දමමින් විසිතුරු නිර්මාණ කිරීමට හැකි වීම යි. කුඩා දරුවන්ට පාන වර්ග පිළිගැන්වීමේදී ඔවුන්ගේ රුචිය වඩවන්නට සහ පානයේ ඒකාකාරීත්වය දුරු කරන්නට එවන් වෙනසක් කිරීමට හැකියි. මෙම අයිස් කැට වීදුරුවක් මෙන් සුපැහැදිලි නිසා රෝසමල් සමඟ ප්‍රේමාන්විත පානයක්, ශාකමය සාරයන්ගෙන් සැකසූ පානයක් නම් එම පත්‍ර කොටසක් අඩංගු කර තේමානුකූල පානයක් සැකසිය හැකි අතර අයිස් කැට දිය වීමට කල්ගත වන නිසා ආහාරයට ගත නොහැකි යමක් අඩංගු කළත් එය පානය කරන්නාට ගැටලුවක් වන්නේ නැහැ.

2015 වර්ෂයේදී මෙහි ප්‍රථම වෙළුම ලෙස එක් ගෝලාකාර අයිස් කැටයක් සකසා ගත හැකි උපකරණයක් තමයි ඔවුන් සකසා තිබෙන්නේ. එහි සෙන්ටිමීටර් 6ක් තරම් විශාල එක් ගෝලයක් පමණයි වරකට සකසාගත හැකි වුණේ. ඔවුන් එය වඩාත් ම ඉලක්ක කොට තිබුණේ කුඩා වීදුරු ප්‍රමාණ සලකා බලමිනුයි. ඊට තිබූ ඉහළ ඉල්ලුම සහ එය තවත් වැඩි දියුණු කොට කුඩා වීදුරුවලට ද ගැලපෙන පරිදිදෙන් භාවිත අවස්ථා පුළුල් කොට පාරිභෝගිකයාට ලබා දීමේ අදහසින් තමයි ඔවුන් දැන් පෝලාර් අයිස් බෝල් 2.0 නම් වන මෙම අයිස් කැට 6ක් සහ ගෝල 4ක් එකවර සකසා ගත හැකි උපකරණය මේ වසරේදී හඳුන්වාදී දුන්නේ. එළැඹෙන ඔක්තෝබර් මාසයේදී පෙර-ඇණවුම් කළ අයට මේවා තැපැල් කිරීමට නියමිත යි.

නව අදහස දක්වන්න