ශ්‍රී ලංකාවෙන් දකුණු කොරියාවට ශ්‍රමිකයන් වැඩිපුරම ගියේ 2016දී

මෑත ඉතිහාසයේ දකුණු කොරියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වැඩිම ප්‍රමාණයක් විදේශගත කරවූ වර්ෂය ලෙස 2016 වර්ෂය හැඳින්විය හැකි බවත්, එය ප්‍රමාණාත්මකව 6635 ක් වන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කළාය. ඇය මෙම අදහස් ප්‍රකාශ කළේ ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා හිමි ශ්‍රමිකයින් 19 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ලබාදීමේ අවස්ථාවට 2017 - 08 - 08 වන දින විදේශ රැකියා ඒජන්සි ආයතනයේදී එක්වෙමිනි.

ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට දකුණු කොරියාව තුළ හොඳ රැකියා වෙළෙඳපොළක් පවතින අතර ඒ සඳහා පිටත්ව යන ශ්‍රමිකයන් තම යුතුකම සහ වගකීම නිවැරදිව හඳුනාගත යුතු බවත්, සිය සේවා කාලය අවසන් වීමෙන් පසු නැවත දිවයිනට පැමිණීමේ වගකීම ශ්‍රමිකයන් සතුවන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

මෙහිදී 2015 වර්ෂයේදී දකුණු කොරියාව සඳහා ශ්‍රමිකයන් 5006 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර 2016 වර්ෂයේදී එය 1529ක ප්‍රමාණයක් වැඩි වී තිබේ. එසේම 2017 - 08 -09 දින වන විට ශ්‍රමිකයින් 2134 දෙනෙකු පිටත්ව ගොස් තිබෙන බවත් අැමැතිනිය සඳහන් කළාය.

මේ වන විට කොරියාවේ ක්‍රියාත්මක ‍වන පොදු සමා කාලය තුළදී කොරියාවේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රමිකයන් හට නැවත පැමිණීමට අවස්ථාව උදා වී තිබෙන බවත්, එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එහිදී අ වැඩිදුරටත් කරුණු ගෙනහැර දැක්වූ ඇමැතිවරිය මෙසේද කීවාය:

ඊශ්‍රායල් රාජ්‍යය තුළත්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලැබී තිබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න තම සේවා කාලය තුළදී උපයා ගන්නා මුදල්වලින් ඵලදායී ආයෝජනයක නිරතවන්න.ඊශ්‍රායලයේ රැකියා අවස්ථාවන් ආරක්ෂා කිරීමේ වගකීම පවතින්නේ පිටත්ව යන ශ්‍රමිකයින් සතුවයි. මේ වන විටත් සේවා කාලය ඉක්මවා නීති විරෝධීව ශ්‍රමිකයින් 61 දෙනෙක් ඊශ්‍රායලයේ රැඳී සිටින බවත්, ඒ හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලැබීමේ අවධානමක් ඇති වී තිබෙන බවත්, සේවා කාලයෙන් පසු නැවත දිවයිනට පැමිණීම තම වගකීමක් ලෙස සලකන ලෙසත්, එසේ නැවත නොපැමිණෙන අයට නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යතුමිය සඳහන් කළාය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...