මැතිවරණය නොපමාව පැවැත්වීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා | දිනමිණ

මැතිවරණය නොපමාව පැවැත්වීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා

කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර

ජනවාරි මාසයේ දී නව නියෝජිතයන් යටතේ පළාත් පාලන ආයතන පාලනය කෙරෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම සහ මේ පළාත් පාලන ආයතන විමසීමට අදාළ පනත් කෙටුම්පත මේ මාසයේ දී පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට ක්‍රියාත්මක කරන බව අගමැතිවරයා සඳහන් කර ඇත. එබැවින් මැතිවරණ කොමිසන් සභාවට ලබන දෙසැම්බර් මාසයේ මුල් සතියේ පළාත් පාලන ආයතන ඡන්ද පැවැත්වීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (09) නිට්ටඹුව තිහාරිය අල්අසාර් විද්‍යාලයේ පැවැති ප්‍රජාත්‍රන්තවාදය, සර්වජන ඡන්ද බලය හා ජනතා පරමාධිපත්‍ය පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

මේ වැඩමුළුවට අල්අසාර් විද්‍යාලය ඇතුළු පාසල් රැසක උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසු සිසුවියෝ සහභාගී වී සිටියහ. කැෆේ සංවිධානය මේ සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

"තරුණ තරුණියන් ඇතුළු රටේ ජනතාවටත් මේ වන විට ප්‍රජාත්‍රන්තවාදය, මැතිවරණ හා ඡන්ද විමසීම පිළිබඳව උනන්දුව මෙන්ම ආසාව නැතිව ගිහින් තියෙනවා. ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීම සඳහාවත් ජනතාව උනන්දුවක් දක්වන්නේ නෑ. ඒකට හේතුව ඡන්දෙ නැත්නම් ලැයිස්තු මොකටද කියලා ජනතාව අහනවා. ඡන්දෙ නැත්නම් කොමිසන් මොකටද කියලා අහනවා. නමුත් කොමිසන් සභාවට නයා මැරුණත් වැඩ තියෙනවා.

ප්‍රජාත්‍රන්තවාදය පිළිබඳව, ජනතා පරමාධිපත්‍ය පිළිබඳව ජනතාව දැනුවත් කරන එක කොමිසමේ කාර්යයක්. ඒක තමයි සැබෑ ප්‍රජාත්‍රන්තවාදය. සුළුතරයකට අගතියක් නොවන පරිදි බහුතරයේ මතය ක්‍රියාත්මක වීම. ඒක කොයි වගේද කිව්වොත් සිංහල බහුතරයක් ඉන්න ප්‍රදේශයක දෙමළ භාෂාව කතා කරන සුළුතරයක් ඉන්නවා නම් සම්පූර්ණයෙන්ම සිංහලෙන් වැඩ කරන එක වැරැදියි වගේ. ඒ වගේම තමයි දෙමළ බහුතරයක් ඉන්න තැන්වල සිංහල සුළුතරයක් ඉන්නවා නම් ඒ තැන්වල දෙමළෙන්ම වැඩ කරනවා නම් ඒකත් වැරැදියි.

සිංහල දෙමළ භාෂා ද්විත්වයම භාවිත නොකිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාත්‍රන්තවාදයට බලපාන ප්‍රධාන බාධකයක් වෙලා. ප්‍රජාත්‍රන්තවාදයට ගරු කරන අපි අනුන්ගේ අයිතියට ගරු කිරීමට පුරුදු වෙන්න ඕනෑ. අනිත් අයගේ භාෂාවට, ආගමට, සංස්කෘතියට ගරු කරන්න බැරි කිසිම කෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදියෙක් වෙන්නේ නෑ. ඒ වගේම ඉස්ලාමයේ ද, ක්‍රිස්තු ධර්මයේ ද, හින්දු ධර්මයේ ද, බුද්ධ ධර්මයේ ද මේ සියලු ආගම්වල මේ සියලුදෙනාම සමාන බව දේශනා කර තිබෙනවා.

ඊට අමතරව වැඩිහිටි පුද්ගලයන් සමාන වන්නා වූ කරුණු දෙකක් තියෙනවා. අවුරුදු 18ට වැඩි ඕනෑම කෙනකුට අනිවාර්යයෙන්ම හිමිවන්නේ භේදයකින් තොරව කරුණු දෙකක් පමණයි. දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, ස්ත්‍රී, පුරුෂ, ජාතිය, ආගම, කුලය, භාෂාව, ප්‍රදේශය ආදී කිසිම භේදයකින් තොරව වැඩිහිටියන්ට හිමි වන එක් දෙයක් තමයි මරණය. භේදයක් නැතිව හිමිවන අනික් දෙය තමයි ඡන්දය. මරණය වැළඳ ගැනීමට අකමැති අපි ඡන්දය ආදරයෙන් වැළඳ ගත යුතුයි. ඡන්ද නැති වුණත් ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කරගැනීම අත්‍යවශ්‍යයි. අවුරුදු 18 සම්පූර්ණ වූ වහාම ඔබ හැම දෙනාටම සර්වජන ඡන්ද බලය ලැබෙනවා .නමුත් එය ලැබෙන්නේ ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කළොත් පමණයි.

අපේ මැතිවරණ කොමිසන් සභාවේ දැක්ම කුමක්ද. එය සර්වජන ඡන්ද බලය සුරැකෙන දේශයක්. ඒ සඳහා අපට සේනාංකයක් අවශ්‍යයි. ඒ සේනාංකය තමයි ජනතාව. ඒ සේනාංකයේ අවිය තමයි පැන්සල. හැබැයි අපිට ඒ අවිය පාවිච්චි කිරීමේ අවස්ථාව දීර්ඝ කාලයක් තිස්සේ අහිමි වෙලා තියෙනවා. පළාත් පාලන මැතිවරණය නොපමාව පවත්වන්න හැකිවනු ඇති බව අපි බලාපොරොත්තු වෙනවා.

මක් නිසාද යත් 2018 වර්ෂයේ ජනවාරි මාසයේ දී නව සභාපතිවරුන් සහ නියෝජිතයන් යටතේ පළාත් පාලන ආයතනය පාලනය වන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති නිසා සහ මේ පළාත් පාලන ආයතන විමසීමට අදාළ පනත් මේ මාසයේ සම්මත කිරීමට ක්‍රියාත්මක කරන බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති නිසා ජනවාරි මාසයේ නව සභාවක් පැවත්වීමට, දෙසැම්බර් මාසයේ ඡන්ද විමසීම් පැවැත්විය යුතුයි.

ඒ සඳහා පළාත් පාලන ඡන්ද විමසීම් පනත සැප්තැම්බර් මස 15 වැනි දිනට පෙර පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි. කෙසේ වෙතත් එම පනත අගෝස්තු මාසයේ හෝ සැප්තැම්බර් මාසයේ සම්මත කිරීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. මැතිවරණ කොමිසන් සභාවට මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ මුල් සතියේ පළාත් පාලන ආයතන ඡන්ද තියන්න පුළුවන් වෙයි කියලා අපි මේ අනුව විශ්වාස කරනවා."

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ද මෙහි දී අදහස් දැක්වීය.

මැතිවරණ කොමිසන් සභාවේ සහකාර කොමසාරිස් එම්. මොහොමඩ් සහ ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සමන්ත දිසානායක මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ. 

 

නව අදහස දක්වන්න