තාක්ෂණ සහ ඉංජිනේරු දැනුම දියුණු කිරීමට මුල් තැන දෙනවා | දිනමිණ

තාක්ෂණ සහ ඉංජිනේරු දැනුම දියුණු කිරීමට මුල් තැන දෙනවා

* ළඟම පාසල් ක්‍රමයට අමතරව අවුරුදු 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ මූලික වැඩසටහන් ක්‍රියාත්මක කරනවා
* උසස් පෙළදී ඉංජිනේරු ක්ෂේත්‍රයට සම්බන්ධ විෂයයන්වලට යොමු වන ප්‍රමාණය අඩු වීම කනගාටුවට කරුණක්
* වැඩියෙන්ම ණය ගෙවන්න තියෙන්නේ 2018-2019 අවුරුදුවල නිසා එළැඹෙන අවුරුදු දෙක අපහසු කාලයක්
* දියුණුව තියෙන්නේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම මතයි එය කිරීමට ඇති බාධාව ණය ප්‍රශ්නය පමණයි

ඉදිරියේ දී ක්‍රියාත්මක වන නව කර්මාන්ත යුගය සඳහා ඉංජිනේරුවරුන්ගේ අවශ්‍යතාව දෙතුන් ගුණයකින් වැඩි වන බැවින් තාක්ෂණ සහ ඉංජිනේරු දැනුම දියුණු කිරීමට මුල් තැන ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේ පෙරේදා (10) හෝමාගම, දියගම මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

එහි දී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

මොරටුව විශ්වවිද්‍යාලය ආරම්භ කළේ අපේ විශ්වවිද්‍යාලයෙන්ම බිහි වුණ එල්. එස්. සුමනදාස මහතා. ඒ කාලේ එතැනට කිවුවෙ කළම්බො සිලෝන් යුනිවර්සිටි කොලේජ් කියලා. මම එනකොට ඒක කොළඹ විශ්වවිද්‍යාලය බවට පත් වී තිබුණා. එතුමාගේ උනන්දුව නිසා තමයි මේ මොරටු මණ්ඩපය දියුණු වුණේ.

අපි 1978 අලුත් පනත ගෙනෙද් දී මොරටුව මණ්ඩපය ගැන තීරණයක් ගන්නට කල්පනා කළා. ඒ වෙනකොට ඉංජිනේරු අංශයෙන් විශ්වවිද්‍යාලයක අවශ්‍යතාව තිබුණා. ඒ නිසා මොරටු විශ්වවිද්‍යාලය ඉදි කරන්න එදා තීරණය කළා. අද විශාල දුරක් ගමන් කර තිබෙන මේ ආයතනය පළමුව තිබුණෙ කටුබැද්දේ. දැන් අලුත් මණ්ඩපයකට පැමිණ තිබෙනවා. දැන් ඒ කාරණා දෙකම ක්‍රියාත්මක කර ගෙන යනවා.

හැම දෙනාම කියන්නේ ‘උගතා - ධනවතා’ කියලා. උගතෙක් නම් ධනවතෙක් වෙනවා. පොහොසත් වුණාට ධනවතෙක් වෙන්නේ නෑ. බලය තිබුණට ධනවතෙක් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උගතෙක් වී ධනවතෙක් වන ලෙසයි.

අපි ධනවත් රටක් නෙවෙයි කියලයි කියන්නේ. අපිට තෙල් නෑ. අපිට යකඩ නෑ. තේ ටිකක් විතරයි තියෙන්නේ. ඒත් ඔබ දන්නවා මේ රට ධනවත් කියලා. ඒ කොහොමද? ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මැද පිහිටා තිබෙන්නේ. හොඳ අධ්‍යාපනය ලැබූ පිරිසක් ඉන්නවා. ඉන්දියාව, පකිස්තානය වගේ දුප්පත් කියලා ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අපි උගත්කමින් ධනවත් කමක් උපයා තිබෙනවා. උගත්කම අවශ්‍යයයි ඒ සොයා ගත් ධනය තවත් දියුණු කරන්නට.

පළමුවෙන් අපිට අවශ්‍ය වෙනවා ශක්තිමත් ආර්ථිකයක්. ශක්තිමත් ආර්ථිකයකින් තවත් ආදායම් උපයන්න තිබෙනවා. ඒ අාදායම්, ධනය ඉපැයූ විට මේ රටට අපිට නිවාස හදන්න, සෞඛ්‍ය සඳහා, අධ්‍යාපනය සඳහා වියදම් කරන්න පුළුවන්.

ඒ අනුව කෙටියෙන් කියනවා නම් ශක්තිමත් ආර්ථිකයක් කියන්නේ ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක්. මුදල් තිබෙනවා නම් ඒ මුදල් අධ්‍යාපනයට යොදවන්න පුළුවන්. ස්කැන්ඩිනේවියානු රටවල මුදල් තිබෙනවා. මුදල් අධ්‍යාපනයට යොදවනවා. පාසලක පන්ති කාමරයක ඉන්නේ දරුවන් විසි පහයි.

අපි අධ්‍යාපනයේ ආයෝජනය වැඩි කරන්න ආර්ථිකය ශක්තිමත් කරනවා. අපි බාර ගත් කාලයේ දී මේ රටේ ණය බරක් තිබුණා. ණය ගෙවන්න බැරි වුණා. 2013 වර්ෂයේ දී අපේ සම්පූර්ණ ණය ගෙවන්න අපේ ආදායම මදි වුණා. විශ්වවිද්‍යාලවලට වියදම්, පාසල්වලට වියදම්, රෝහල්වලට වියදම් සියල්ල සඳහා ණය ගත්තා. ණය ගත්තම දෙන්න තියෙන මුදල් තවත් අඩු වෙනවා. දැන් අපි ආදායම වැඩි කරලා අඩුම තරමේ ආදායමින් ණය ගෙවන්න පුළුවන්. ඒත් ඉතුරු හැම දේටම අධ්‍යාපනය දියුණු කරන්න, උසස් අධ්‍යාපනය දියුණු කරන්න, සෞඛ්‍ය දියුණු කරන්න දැනට අපිට සිදු වෙනවා ණය ගන්න.

ඒත් අපි බලාපොරොත්තු වුණේ ණය මුදල් අරගෙන මේ ක්ෂේත්‍රවලට වැඩි වශයෙන් යොදවන්න. අපේ අවසන් අරමුණ මේ රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් සම්පූර්ණයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබා දෙන්න. එය කළ හැකි වන්නේ ආර්ථිකය ශක්තිමත් නම් පමණයි. එළැඹෙන අවුරුද්ද එක අතකින් අපහසු අවුරුද්දක්. වැඩියෙන්ම ණය ගෙවන්න තියෙන්නේ 2018-2019 අවුරුද්දෙ.

2017 අලුත් අධ්‍යාපන වැඩසටහන් ගණනාවක් සිදු වෙනවා. 2019 මේ රටේ අධ්‍යාපනය දියුණු කරන්න තවත් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මොන ප්‍රශ්න තිබුණත් විශේෂයෙන්ම එන අවුරුද්දේ ළඟම පාසල් ක්‍රමයට අමතරව සියලු දෙනාටම අවුරුදු 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ මූලික වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ අත්හදා බැලීම් තුළින් ඊළඟ අවුරුද්දේ අවුරුදු 13 අධ්‍යාපනය පාසල්වලට ලබා දෙනවා. එහි දී අවශ්‍ය අලුත් ගොඩනැගිලි, අලුත් ගුරුවරු, අලුත් විෂයයන් සඳහා ගුරුවරු, අදාළ කොට්ඨාස භාර ප්‍රධානීන්, ප්‍රධාන ගුරුවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු, විදුහල්පතිවරු අවශ්‍ය වෙනවා වගේම මේ සියලු දෙනාම පුහුණු කළ යුතු වෙනවා. පුහුණු කරන වේගය මත තමයි මේ කටයුතු කළ හැකි වන්නේ.

දෙවැනි කාරණය තමයි පළාත් සභා, ප්‍රාදේශීය සභා යටතේ තිබෙන පාසල්වල සංවර්ධන වාර්තා ලබා ගැනීම. අවුරුදු 13ක් අධ්‍යාපනය අනිවාර්ය කරන ගමන් අන්තිම අවුරුදු දෙකේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ්ලට් පරිගණක ලබා දෙන්න අපි කටයුතු කරනවා. එයත් අත්හදා බැලීමක් ලෙස සිදු කර අවසානයේ ලක්ෂ පහකට පමණ ටැබ් ලබා දෙනවා. 2030-2035 වන විට මේ ටැබ් එක තමයි පාවිච්චි කරන්නේ. පරිගණකයක් ලබා දෙන්න මුදල් නැත්නම් අපේ රටේ සෑම දරුවකුටම ටැබ් එක ලබා දෙනවා. ඊට පෙර වයිෆයි ලබා දීම පිළිබඳ කටයුතු කරනවා. අපි ඉල්ලීමක් කළා ගම්මානවලට ගෙනයාමේ දී උසස් පෙළ පන්ති තියෙන පාසල්වලට මුලින්ම වයි ෆයි ලබා දෙන්න කියලා.

මේ සමඟම අපේ මීළඟ අවධානය යොමු වී තිබෙන්නේ අවුරුදු 13ක් අධ්‍යාපනය ලබන දරුවන් සියලු දෙනාටම විශ්වවිද්‍යාලයට යන පාඨමාලා අවශ්‍ය නෑ. ඒ නිසා ඔවුන්ට උසස් ද්විතීය සාමූහික අධ්‍යාපනය, පුහුණුව ලබා දෙන්න. එතැනින් ඉදිරියට යන්න. පසුව අනෙක් ආයතනවල එන්. වී. කියු විභාගවලට සහභාගි වෙන්න. මේ වැඩකටයුතු ක්‍රියාත්මක කරන්නයි අපි අරමුණු කර තිබෙන්නේ.

ඊළඟ ප්‍රශ්නය තමයි මේ රටේ වෘත්තීය පුහුණුව, රැකියා පුහුණුව. එය තමයි දුර්වලම අංශය. ඒ අංශය සංවිධානය කර එකට අර ගැනීම. මේ පුහුණුව දුන්නට රැකියා වෙළෙඳ පොළට අවශ්‍ය පුහුණුව නොවෙයි ලබා දෙන්නේ. පුහුණු කිරීමේ කර්මාන්ත ශාලා ආයතන ලෙස එකතු කර ගෙන මේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

තුන්වෙනුව තිබෙන්නේ මේ රටේ විශ්වවිද්‍යාල. රජයේ විශ්වවිද්‍යාල දියුණු කිරීමට. මොරටුව විශ්වවිද්‍යලයේ අද තාක්ෂණ උපාධි විසි හතරක් තිබෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල පහළොවක් තිබෙනවා. ඒ විශ්වවිද්‍යාල දියුණු කළ යුතුයි. සමහර විශ්වවිද්‍යාල ගැන අපිට සෑහීමකට පත් වෙන්න බෑ. මොකක්ද ඒ ගැන කරන්නේ?

‍මොරටුව විශ්වවිද්‍යාලය තවත් දියුණු වෙන්න පුළුවන්. මම දන්නේ නෑ මම කියන එක පිළි ගනීවිද කියලා. මෙය මොරටු විශ්වවිද්‍යාලයේ දෙවැනි මණ්ඩපය කරන්න. එන්. ඩී. ටී. කරන ගමන් තව ඉඩමක් අරගෙන ගොඩනැගිල්ලක් හදන්න එන්. ඩී. ටී. කරන අයට ඉංජිනේරු උපාධිය හදාරන්න හැකි වෙන්න. විශ්වවිද්‍යාලයේ ඒක කරන්න අකමැති නම් අල්ලපු ඉඩමෙන් වෙනම ආයතනයක් දාන්න ඒ උපාධිය ලබා දෙන. විශ්වවිද්‍යාලය කැමැති නම් විශ්වවිද්‍යාලයේම කරන්න. අකමැති නම් අල්ලපු වැටේ තව ආයතනයක් ඇති කරන්න ඉංජිනේරු උපාධි ලබා දෙන්න. කැමති අයට ඒ අවස්ථාව ලබා දෙන්න. අලුතින් හිතන්න.

මම උප කුලපතිවරයාගෙන් ඇහුවා ඇයි එහෙම කරනවා නම් ඇයි හිතන්න බැරි ජපානයේ ක්‍රමය ගැන. ඒ කියන්නේ පාසලේ, මධ්‍ය මහා විද්‍යාලයේ දොළොස් වැනි සහ දහ තුන් වැනි වර්ෂය ඉංජිනේරු අධ්‍යාපනයේ යොදවන්න. මෙතැන දැනටමත් තව මණ්ඩපයක් තිබිය යුතුයි. අලුතින් සිතා ඒ වැඩ කටයුතු කළ යුතුයි. එන්. ඩී. ටී. කණ්ඩායම දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි කළ යුතුයි. ඒ වගේම ඔවුන්ට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව ලබා දිය යුතුයි.

මේ රටේ අවධානය යොමු වී තිබෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ. මගේ අවධානය යොමු වී තිබෙන්නේ ඉංජිනේරු අධ්‍යාපනය පිළිබඳයි. ඉංජිනේරුවෝ නැත්නම් අලුත් යුගයකට යන්න අපිට අපහසුයි. මොකද අපේ දියුණුව තියෙන්නේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම මත. එය ඇති කිරීමට ඇත්තේ ණය ප්‍රශ්නය විතරයි. ඒ සමඟ විශාල දියුණුවක් මේ රටේ ඇති කරන්න අපි කටයුතු කරනවා නම්, එක පැත්තකින් කලුතර විශාල වෙළෙඳ කලාපයක් කරනවා අක්කර 17 ක. හම්බන්තොට දැනටම පිරිපහදුවක්, වානේ කර්මාන්ත ශාලාවක්, විදුලි බලාගාරයක්, සිමෙන්ති කර්මාන්ත ශාලාවක්, නැව් තටාකාංගණයක්, මූලික කර්මාන්ත වගේම කෙරවලපිටියේ, ජපානයේ සහ ඉන්දියාවේ එල්. එම්. ඩී. විදුලි බලා ගාර දෙකක් එනවා. මෙහෙම විශාල දියුණුවක් ආරම්භ කරගෙන යනවා.

මේ ආරම්භ කිරීමේ දී තාක්ෂණය අවශ්‍යයයි. දැනුම අවශ්‍යයයි. විශේෂයෙන්ම අනාගත සමාජයේ දැනුම සමඟ අපි කළ යුතුව තිබෙනවා. අපි වටේම රටවල ජනගහනය වැඩි වෙනවා. ඉන්දියාව ලෝකයේ ජනාකීර්ණම රට වෙනවා. ඉන්දියාව, පාකිස්තානය ගත්තොත් අඩුම ගානේ මිලියන පන්සියයක් දාහක් වෙනවා. ශ්‍රී ලංකාවේ 2050 වන විට වැඩි වන්නේ ලක්ෂ විස්සයි. ඒ නිසා අපිට යන්ත්‍ර යෙදවීම වැනි දේවලට යොමු වෙන්න සිදු වෙනවා. ඒක හොඳ අවස්ථාවක්. අපි ඒකට සූදානම් විය යුතුයි.

ඊළඟ අවුරුදු 20-30 ගැන හිතන්න. එතැනට අධ්‍යාපනය ගෙනියන්න. මේ කලාපයේ වැඩිම වැටුප් ගෙවන්නේ අපි. ඉංග්‍රීසියෙන් කියනවා නම් අපි ඔටොමේෂන් ක්‍රියාවලියකට යා යුතුයි. මට ළඟ දී මුණ ගැසුණා ශ්‍රී ලංකාවේ ත්‍රීඩී යන්ත්‍ර නිෂ්පාදනය කරන සමාගමක්. අපි ඒ අයට උදවු කරන්න ඕනෑ. සමහර තැන්වල දී අත්හදා බැලීම් හැටියට කළ හැකියි. අලුත් තාක්ෂණය දැනුම ලබා දිය යුතුයි.

අපි දැන් බලන්න ඕනෑ ඉංජිනේරු ක්‍රමවේද සහ තාක්ෂණ ක්‍රමවේද ගෙන එන්නේ කොහොමද කියලා. දැන් ඒවාට වෛද්‍ය විද්‍යාවත් එකතු වෙනවා. බෙදීමක් නෑ. හැම එකක්ම එකතු වෙලයි යන්නේ. අන්න එතැනට තමයි අපි අවසානයේ යන්නේ. ඉතාම ශක්තිමත් ආර්ථිකයක් කරා. ශක්තිමත් ආර්ථිකයක් ඇති කරනවා. ශක්තිමත් අර්ථිකයෙන් උසස් අධ්‍යාපනය සංවර්ධනය කරනවා. උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ ප්‍රතිඵලයෙන් ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා. ආර්ථිකය ශක්තිමත් වීමෙන් උසස් අධ්‍යාපනය හා පර්යේෂණ තවත් දියුණු වෙනවා. ඒ දියුණුවෙන් ආර්ථිකය දියුණු වෙනවා. අමෙරිකාව හා යුරෝපය වගේ අපිත් අලුත් සංවර්ධන චක්‍රයක් ඇති කරනවා. ආයෝජනය - අධ්‍යාපනය- උසස් අධ්‍යාපනය- අධ්‍යාපනයෙන්. ඒ ආකාරයට අපි වැඩ කටයුතු කර ගෙන යනවා.

ඒ නිසා මේ තාක්ෂණය, ඉංජිනේරු දැනුම අගය කරන්න, ආරක්ෂා කරන්න, දියුණු කරන්න අපි මුල් තැනක් දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පාසලේ සාමාන්‍ය පෙළ සිට උසස් පෙළට යද්දී ඉංජිනේරු ක්ෂේත්‍රයට සම්බන්ධ විෂයයන්වලට යොමු වන ප්‍රමාණය අඩු වීම පිළිබඳ මම කනගාටු වෙනවා.

ඔබේ ආයතනයට මා මේ අවස්ථාවේ සුබ ප්‍රාර්ථනා කරනවා.

මේ අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, හිටපු ඇමැති පී. දයාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ සභ මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති ආනන්ද ජයවර්ධන මහත්වරු ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගි වූහ.


ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ 
ක්‍රිසන්ති විතාරණ

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...