සැබෑ හිමිකරුට ඉඩමේ අයිතිය ලබාදීම මානුෂීය මෙහෙවරක්

රක්ෂණ ශ්‍රියන්ත
ඡායාරූප සුදත් මලවීර

* පසුගිය වර්ෂ දෙකට මහවැලි ව්‍යාපාරයේ ජීවත්වන 40% කට ඔප්පු ලබා දුන්නා
* ඉඩම් ඔප්පු දීම පමා කිරීම ගොවින් පීඩාවට පත් කිරීමක්
* ඉදිරි මාස කිහිපය ඇතුළත ඉඩම් ඔප්පු ලක්ෂයක් දෙනවා
* නියඟයෙන් පීඩාවට පත් පවුල් ලක්ෂ 05කට වියළි ආහාර සලාකයක්

ඉඩමක සැබෑ හිමිකරුවාට එම අයිතිය හිමිකර දීම සාධාරණත්වය, යුක්තිය රජයන යුගයක ඉතා අත්‍යවශ්‍ය මානුෂීය අයිතියක් හිමිකරදීමක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

දේශපාලන හා නිලධාරි හිතවත්කම් මත කටයුතු නොකොට සෑම දෙනාටම මහවැලි ව්‍යාපාරයේ 'රන් දියවර' ඉඩම් ඔප්පු ලබාදීම ඉතා අගය කළ හැකි වැඩපිළිවෙළක් බව ද ජනාධිපතිවරයා කීය.

මහවැලි ජනපදිකයින්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ වැඩපිළිවෙළ යටතේ වලවේ කලාපයේ රන්දියවර ඔප්පු ලබාදීමේ උත්සවය ඊයේ (11) ඇඹිලිපිටිය ක්‍රීඩාංගණයේ පැවැති අවස්ථාව අමතා අදහස් දක්වමින් ජනාධිපතිවරයා එසේ කීය.

අපේ රටේ සංවර්ධනයේ සහ ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන ප්‍රධාන දිස්ත්‍රික්ක තුනක් වලවේ ව්‍යාපාරය තුළ නියෝජනය වෙනවා. මොණරාගල, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්ක තුනක ගොවිජනතාව නියෝජනය වන ඇඹිලිපිටිය මහවැලි බලප්‍රදේශයේ ජීවත්වන තමුන්නාන්සේලාගේ ජීවිත කාලය තුළ අපේක්ෂා කළ ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරෙන මේ අවස්ථාවට එක්වන්නට ලැබීම පිළිබඳ මා ඉතාමත් සතුටු වෙනවා.

වලවේ ව්‍යපාරය පිළිබඳ මට තිබෙන්නේ පසුගිය අවුරුදු විසිපහක පමණ අත්දැකීමක්. 1994 සිට මේ දක්වා ඉතා කෙටි කාලයක් හැර දීර්ඝ කාලයක් මහවැලි ඇමතිවරයා වශයෙන් කටයුතු කළ නිසා වලවේ ව්‍යාපාරයේ වම් ඉවුර දකුණු ඉවුර සංවර්ධන කටයුතුවලදී තමුන්නාන්සේලාගේ ගම්මානවල මම ගමක් ගමක් පාසා ගිය කෙනෙක්. සෑම ගමකටම ගිහින් 1995 සිට 2000, 2001 වැනි කාල සීමාවන් තුළ වැව් රාශියක් හැදුවා.

අනෙකුත් මැති ඇමතිවරුන්ගේ සහයෝගය තුළ වැව්, ඇළ අමුණු, පාසල්, රෝහල්, මංමාවත් ඉඩම් බෙදාදීම් කටයුතු රාශියක් ඉටුකිරීමට අවස්ථාව ලැබුණා. මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගත්විට ඔබ දන්නවා මේ රටේ ප්‍රධාන බහුකාර්යය සංවර්ධන යෝජනා ක්‍රමයක් විදියට රටේ භූමි භාගයෙන් 1/3 ක ප්‍රදේශයක් මහවැලි අධිකාරියේ සංවර්ධන බල ප්‍රදේශය බවට පත්වී තිබෙනවා.

එදා මෙදා සංවර්ධනය ගත්විට 1965 සිට මේ දක්වා බලයට පත්වූ සෑම රජයක්ම මහවැලි ව්‍යාපාරයට ප්‍රමුඛත්වයක් දී කටයුතු කළා. මගේ දිස්ත්‍රික්කය පොළොන්නරුව එදා නියෝජනය කළ සී.පී.ද. සිල්වා ඇමතිතුමා ඉන්පසුව මහවැලි විෂය භාර ලංකාවේ පළමුවැනි ඇමැතිවරයා.

රජ රටින් පැමිණි මෛත්‍රීපාල සේනානායක මහතාත් මහවැලි ව්‍යාපාරය කඩිනම් සංවර්ධන ව්‍යාපාරය බවට පත්කර රටේ ජාතික ආර්ථිකයේ පුළුල් පරිවර්තනයක් සිදු කළ ගාමිණි දිසානායක මහතාත් මා විශේෂයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතු වෙනවා. ගාමිණි දිසානායක මහතා වගේම මහවැලි ඇමතිවරයෙක් විදියට විශාල සේවයක් මේ රටට ඉටුකළ ගාමිණි අතුකෝරළ ඇමතිතුමාවත් මට අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ඒ සෑම කෙනෙක්ම සමග මගේ තිබුණේ ඉතා සමීපවූ මිත්‍රශීලිභාවයක්.

1994 පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව බලයට පත්වෙලා අනුරුද්ධ රත්වත්තේ ඇමතිතුමා මහවැලි ආරක්ෂක, වාරිමාර්ග, විදුලිබල විශාල අමාත්‍යාංශයක් භාරගෙන සිටි අවස්ථාවේ, අනුරුද්ධ රත්වත්ත මැතිතුමා උතුරේ යුද්ධයට මූලිකත්වය දෙමින්, නායකත්වය දෙමින් එදා කටයුතු කළ අවස්ථාවේ මහවැලි, වාරිමාර්ග, විදුලිබල ඇමතිවරයා විදියට එදා මට විශාල වැඩකොටසක් කිරීමට පුළුවන්කම ලැබුණා. ඒ කාල සීමාව තුළ වලවේ ව්‍යාපාරයට පුළුල් වැඩකොටසක් කිරීමට අවස්ථාවක් අපට ලැබුණා. වැව් අමුණු, ඇළවේලි, නිවාස, රෝහල්, පාසල්, පොලිසි රජයේ ගොඩනැගිලි ඇතුළු ඉඩම් බෙදාදීමේ කටයුතු අපිට කරන්න පුළුවන්කම ලැබුණා.

අද අපි මහවැලි ව්‍යාපාරය තුළ ජීවත්වන ජනතාවට ඉඩම් ඔප්පු ලක්ෂයක් දීමේ ජාතික වැඩපිළිවෙළ ආරම්භ කරලා පසුගිය වර්ෂ දෙක තුළ මේ වන විට ඉන් 40% ක් පමණ අපි ලබාදී තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ අපි ඉඩම් ඔප්පු ලක්ෂයක් දීමේ ඉලක්කය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉඩමක ඔප්පුව, අයිතිය, බලපත්‍රය, දීමනා පත්‍රය මේ සියල්ලෙහි තිබෙන වැදගත්කම පිළිබඳව දන්නේ ඉඩමේ හිමිකරුවන්. ඔබ දීර්ඝ කාලයක් ඔබේ ඉඩමේ ඔප්පුව ගන්න ඇතැම් අවස්ථාවන්වල ඉඩමේ බලපත්‍රය ගැනීමට මහවැලි කාර්යාල වෙත කොතෙක් ගියාද කියා ඔබම දන්නවා ඇති. ඔබ ඒ සඳහා මුහුණ දුන් නොයෙකුත් පීඩා ඔබේ මතකයේ ඇති.

සමහර නිලධාරින් ඔබට හොඳින් කතා කොට හොඳින් කටයුතු කළා වගේම සමහර අය ඔබේ හිත් රිදෙන විදියට ඔබට අගෞරව වන විදියට කතා කළ අවස්ථා ඇති. මහවැලි අධිකාරිය තුළ සිටින අපේ කාර්යමණ්ඩල නිලධාරීන් සංවර්ධනයේ විශාල වැඩකොටසක් කරනවා වගේම ඒ අයගේ විශාල කැපවීමක් තිබෙනවා වගේම මම කනගාටුවෙන් වුවද කියන්නට ඕන ඉඩම් කටයුතුවලදී ජනතාව අතරේ මහවැලි නිලධාරීන් පිළිබඳව හොඳ නමක් නොමැතිබව විශේෂයෙන්ම මම මතක් කළ යුතුයි.

ඇතැම් වේලාවට ගොවි ජනතාවට සිදුවන පීඩාකාරී තත්ත්වයන් ඇති කළ බොහෝ අය අද සේවාවන්වල නැහැ. ඔවුන් විශ්‍රාම ගිහිල්ලා. එක ඉඩම ගොවි මහත්වරු තුන්දෙනෙකුට දීපු අවස්ථා තමුන්නාන්සේලා දන්නවා. මහවැලි නිලධාරීන් ඉතා හොඳ වැඩකොටසක් කරනවා වගේම ඉඩම් කටයුතුවලදී ජනතාවගේ තිබෙන්නාවූ දුක් ගැනවිලි පිළිබඳව ජනතාවගේ පැත්තෙන් ඔවුන්ගේ පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව අකාරුණික වූ අවස්ථාවන් පිළිබඳව මම හොඳින් දන්නවා.

ඒ නිසායි මම පැහැදිලිවම කිව්වේ, මහවැලි අධිකාරියේ සියලු දෙනාටම ඉඩම් ඔප්පු ලබාදීමේ කටයුතු කඩිනම් කළ යුතුයි කියා. ඉඩම් ඔප්පු දෙන්න ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න ඉඩම් හිමිකරුවන්, ගොවි මහත්වරුන් ජීවිත කාලය තුළම පීඩාවට පත්වෙනවා. දුක් කඳුළු බොනවා. ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. තමන්ගේ වයස් සීමා සමග හිතනවා, මට මේ ඉඩමේ ඔප්පුව ලැබේද නැද්ද යන ප්‍රශ්නාර්ථය ඔවුන්ගේ හදවත් තුළ තිබෙනවා.

ඒ නිසයි අපි අක්කර ලක්ෂයක් ඉලක්ක කරගත් මේ ඉඩම් ඔප්පු දීමේ වැඩසටහන් තුළ ප්‍රධාන වශයෙන් මහවැලි ව්‍යාපාරයේ විහාරස්ථානවල පූජා ඔප්පු ආදි මේ සියල්ල මේ වසර අවසන් වන විට දී අවසන් කිරීමයි අපේ බලාපොරොත්තුව. දීර්ඝ කාලයක් තමුන්නාන්සේලාට තිබූ බලාපොරොත්තුවක්. මේ ඔප්පු දී අවසන් වුණාම බොහෝ දුරට මහවැලි ඉඩම් කාර්යාලවල ඉඩම් අංශවල වැඩකටයුතු අඩු වෙනවා. නිදහසේ සිටීමට පුළුවන්.

ඉඩම් නිරවුල් කිරීම්, බලපත්‍ර, දීමනා, ඔප්පු කටයුතු සමග බොහෝ වේලාවට අක්‍රමිකතා, දූෂණ, වංචා සිදුවෙනවා. ඉඩම් මුල් කරගෙන ලෝකයේ ඇති නැති පරතරය සහ පන්ති අරගලය ඉතිහාසය පුරාම සිද්ධවෙමින් පවතිනවා. කාල් මාක්ස්, ලෙනින් ලෝකයට පැහැදිලි කළේ, තියෙන මිනිස්සු සහ නැති මිනිස්සු අතරේ පන්ති සටන, අරගලය මිනිසාගේ වත්කම් සහ දේපළ පිළිබඳව වූ අරගලවලදී ඉඩම මුල් කරගෙන එම සටන් ආරම්භ වූ බවයි ලෝකයේ මානව ඉතිහාසය තුළ සඳහන් වන්නේ.

බලවතුන් විශාල ඉඩම් අල්ලා ගැනීමත් බැරි මිනිහාට කිසිදු ඉඩමක් නොමැතිව, ජීවත්වෙන්න තැනක් නොමැතිව ගෙයක් දොරක් නොමැතිව තිබූ යුගයන් ලෝකයේ බොහෝ කාලවල පැවතුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි ප්‍රභූවරුන්ට බලවතුන්ට විරුද්ධව ඉඩම් නැති ජනතාව අරගල කෙරුවේ කැරළි ගැහුවේ සටන් කළේ. එයයි ඉඩම් පිළිබඳව ඉතිහාසය.

ඒ වගේම පොලිසියකට ගියත් උසාවියකට ගියත් රජයේ කාර්යාලයකට ගියත් ඉඩමක් පිළිබඳ ප්‍රශ්නයේදී ඉඩමක් නිරවුල් කිරීමේදී ආරවුල් විසඳීමේදී කිසිම දවසක කිසිම දේශපාලනඥයෙක් හෝ කිසිම රාජ්‍ය නිලධාරීයෙක් දේශපාලන පක්ෂ භේදයක් මත කටයුතු කිරීම කිසිසේත් සිදු නොකළ යුතු බවට පැහැදිලි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට ඕන.

ඉඩමක අයිතිය සහ උරුමය සම්බන්ධයෙන් පාරම්පරිකව තිබෙන්නාවූ අයිතිය තමන්ගේ පරම්පරාවේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. තමාගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නය තමන්ගේ දරු පවුල් පිළිබඳ ප්‍රශ්න කිසිසේත්ම දේශපාලන පක්ෂ භේදයකින් වෙනත් පෞද්ගලික හිතවත්කම් මිත්‍රකම් තුළ නිලාධාරීන්ගේ හිතවත්කම් තුළ මැති ඇමතිවරුන්ගේ හිවත්කම් තුළ සිදුකිරීම කිසිසේත් නොකළ යුතුයි.

සාධාරණත්වය, යුක්තිය තුළ ප්‍රධාන වශයෙන්ම ඉඩමේ සැබෑ හිමිකරුවාට ඉඩම ඉතා අත්‍යාවශ්‍ය වූ මානුෂීය අයිතියක්. ඒ නිසා ඉඩම් ඔප්පු බලපත්‍ර දීමේ කටයුතු වලදී මහවැලි අධිකාරියේ නිලධාරින් කරන කැපවීම මා ඉතාමත් අගය කරනවා. ඒ අයට මම ස්තූති කරනවා. කෘෂිකාර්මික අංශය ශක්තිමත් කරමින් මේ රට කෘෂිකාර්මික ආර්ථිකයක් කරා ගෙන යාමේ හැකියාව තිබෙන්නේ මේ රටේ ගොවි ජනතාවටයි. මේ වනවිට රටේ නියඟයක් තියෙනවා. ඇතැම් ප්‍රදේශවලට නම් වර්ෂාව ලැබුණා. ලබන සැප්තැම්බර් ඔක්තෝබර් වනවිට මෝසම් වැසි ලැබේයැයි අපි විශ්වාස කරනවා. රටේ වර්ෂාව නැතිවීම හේතුවෙන් බීමට ජලය නොමැති තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම ආහාර හිඟයක් තිබෙනවා. සමහර ප්‍රදේශවල පවුල් ලක්ෂ 05 ක් පමණ පීඩාවට පත්වී තිබෙනවා. ඒ නිසයි රජය සති කිහිපයකට පෙර තීරණය කළේ පවුල් ලක්ෂ 05 කට වියළි ආහාර සලාකයක් දීමට. එය ලබන සතියේ සිට ක්‍රියාත්මක වෙනවා.

ලංකාවේ තුනෙන් දෙකක ප්‍රදේශයක් මේ නියඟය නිසා පීඩා විඳිනවා. මීට මාස කිහිපයකට පෙර රත්නපුර, කළුතර, ගාල්ල, මාතර , හම්බන්තොට ප්‍රදේශ වලට ගංවතුර තත්ත්වයක් ආවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැවි 25 ක් හදලා අවසන් කරලා ප්‍රදේශයේ ගොවි ජනතාවට බාරදුන්නා. නමුත් තවම වර්ෂාව නැති නිසා වැව් පිරිලා නැහැ. නමුත් මේ වසර නිමවීමට පෙර වර්ෂාවෙන් වැව් පිරිලා අසරණ ගොවි ජනතාවගේ බඩගින්න නිවන්න සොබා දහමේ ආශිර්වාද ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.

අනුරාධපුර, පොළොන්නරුව, කිළිනොච්චි, වව්නියා, අම්පාර, යාපනය, මොනරාගල දිස්ත්‍රික්කත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොටසකුත් දැඩි නියං තත්ත්වය තුළ බරපතළ ලෙස පීඩාවට පත්වී තිබෙනවා. ඒ නිසා රටේ ආහාර නිෂ්පාදනයෙන් සියයට පනහක් පහත වැටී තිබෙනවා. රටේ වී නිෂ්පාදනයෙන් සියයට 50 ක් පහත වැටී තිබෙනවා.

මේ නියඟය ඇතැම් ප්‍රදේශවලට කන්න දෙකක් ඇතැම් ප්‍රදේශවලට කන්න තුනක් වගා කරන්න බැරිවුණා. ඒ නිසයි අපිට සහල් පිටරටින් ගේන්න සිදුවුණේ. කෘෂිකර්ම අමාත්‍යාංශය, රජය, ජනාධිපති ලේකම් කාර්යාලය පුළුල් ජාතික වැඩසටහනක් සකස් කරමින් කටයුතු කරගෙන යන අතරවාරයේ තමයි මේ නියං තත්ත්වය උද්ගත වුණේ. ඉදිරියට ලැබෙන වර්ෂාව සමග අපි මේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරනවා. ඒ කටයුතු කඩිනම්ව කාර්යක්ෂම කරමින් ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය යහපත් කරන්න අපි කෘෂිකාර්මික සැලසුම් සූදානම් කරනවා.

ගොවි ජනතාව නිෂ්පාදනය කරන දේ අපි කොහොමද වෙළෙඳපොළට යවන්නේ. ගොවියාට හොඳ මිලක් දෙන්නේ කොහොමද. අතරමැදියාගෙන් ගොවියා බේරා ගන්නේ කොහොමද. කෘෂිකර්මාන්තය නවීකරණය කර නව තාක්ෂණය මුසුකර තරුණ පරුපර කෘෂිකර්මාන්තයට ආකර්ෂණීය ක්ෂේත්‍රයක් ලෙස යොමුකිරීමේ ජාතික කෘෂිකර්ම සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දැන් තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙනවා. එසේ වන්නේ සම්ප්‍රදායික කෘෂිකර්මය තුළ හිරවීම නිසයි. නමුත් අනෙකුත් ක්ෂේත්‍ර වගේම කෘෂිකර්මාන්තයත් ඉදිරියට යන්නට ඕනෑ.

නව ආර්ථික රටාවන් සමග සමාජය හඳුනාගෙන වෙළෙඳපොළ හඳුනාගෙන නව නිෂ්පාදන සමග කෘෂිකාර්මික දියුණුව ඇතිකළ යුතුයි. වෙළෙඳපොළ පිළිබඳ ගොවි ජනතාව හොඳ අවබෝධයකින් ඉන්නට ඕනෑ. අපි අද බලාපොරොත්තු වෙන්නේ තරුණ පරපුරට අවශ්‍ය සම්පත්, ආධාර ලබාදීලා, පුහුණුවීම් ලබාදී ඔවුන් කෘෂිකර්මාන්තයට ආකර්ෂණීය ලෙස සම්බන්ධකර ගැනීමයි. අතේ තිබෙන ජංගම දුරකතනයෙන් ලෝකයේ අනෙක් රටවල්වල කෘෂිකාර්මික තත්ත්වයන් දැන ගන්නට පුළුවන්.

අපේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදන විශාල වශයෙන් විදේශ වෙළෙඳපොළට අපනයනය කරන්න පුළුවන්. අද එළවළු, පළතුරු රාශියක් විදේශ වෙළෙඳපොළට යවනවා. මේ නියඟ තත්ත්වය තුළ ඒවායේ පසුබෑමක් තියෙනවා.

2014 වසරේ තත්ත්වය කිව්වොත් අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 10 ක් තමයි අපි විදේශ වෙළෙඳපොළට යැවීමට හැකියාව තිබුණේ. රටක් දියුණුවීමට නම් එය සියයට 50 ක් වත් විය යුතුයි. නව වෙළෙඳපොළ හඳුනාගැනීම තුළයි ජාතික ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. කෘෂිකාර්මික ක්ෂේත්‍ර ශක්තිමත් වීමට නම් මේ සියලු කාර්යයන් සඳහා වර්ෂාව අවශ්‍ය වෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරියේදී යහපත් අතට හැරේවියැයි අපි විශ්වාස කරනවා.රටක් විදියට අපිට ඔ'එව උස්සන්න පුළුවන් කෘෂිකර්මාන්තය සහ දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමෙන්. පිටරටින් ගේන දේ හැකිතරම් අඩු කරලා අපේ නිෂ්පාදන ඉහළ නංවා අපේ ගොවිබිම්, අපේ කර්මාන්ත ශක්තිමත් කිරීමට අප කටයුතු කළ යුතුයි. මේ රටේ රජයෙන් යැපෙන ජාතියක් හැමදාම සිටින්නට පුළුවන්කමක් නැහැ.

සමෘද්ධි ව්‍යාපාරය ගත්විට දිවිනැගුම ව්‍යාපාරය ගත්විට මේ රටේ පවුල් ලක්ෂ 15 කට ආසන්න පිරිසකට සමෘද්ධිය දෙනවා. ලංකාවේ ඇතැම් ප්‍රදේශවල කරන සමීක්ෂණයක් හේතුවෙන් මම දැක්කා සමෘද්ධිය කපලා කියලා උද්ඝෝෂණය කරනවා.

නමුත් මම පැහැදිලිව කියන්නට කැමතියි රජය විදියට කිසිම සමෘද්ධි ප්‍රතිලාභ පවුලකට ඒවා නැති කරන්නේ නැහැ. කපන්නේ නැහැ. අඩු කරන්නෙත් නැහැ. ඊට වෙන් කර තිබෙන මුදල්වල කිසිදු වෙනසකුත් නැහැ. මුදල් වෙන් කරනවා මිසක්. නොයෙකුත් දේශපාලන උසිගැන්වීම සහ නොමඟයැවීම් තුළ උද්ඝෝෂණ ඇතිවන බව අපිට පෙනී යන කාරණයක්. ඒ නිසා රජය තීරණය කර තිබෙනවා පැහැදිලි ලෙසම සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු එහෙත් නොලැබෙන පවුල් ලක්ෂ ගණනක් ඉන්නවා. ඒ අය තෝරාගෙන ඒ අයට අලුතෙන් ලබාදීමටයි අපි තීරණය කළේ.

ඒ හැරෙන්නට සමෘද්ධි පවුල්වලට ලබාදෙන සහන කිසිදු ආකාරයකින් කපන්නෙවත් අඩුකරන්නේවත් නැහැයි කියලා ඉතාම පැහැදිලිව රටේ සියලු දෙනාගේ දැනගැනීම සඳහා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕනෑ.

මේ ප්‍රදේශ අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවලට තිබෙන ප්‍රශ්න වලට සමාන ප්‍රශ්න තිබෙන දිස්ත්‍රික්කයි. අපි රජයක් විදියට තීන්දු තීරණ ගැනීමේදී සැමවිටම ඔබේ ආර්ථික තත්ත්වය යහපත් කිරීම සඳහායි කටයුතු කරන්නේ. මේ රට ගොඩනැගිීමට ඔබ සියලු දෙනාට ආරාධනා කරමින් අද දවසේ මේ කටයුත්තට සහභාගී වීමට ලැබීම පිළිබඳව මා නැවතත් සතුටු වෙමින් ඔබෙන් සමුගන්නවා.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...