වටරැක විජිත හිමියන් ඇප මත මුදා හරී | දිනමිණ

වටරැක විජිත හිමියන් ඇප මත මුදා හරී

සුභාෂිණී සේනානායක

තමාට ජීවිත තර්ජන ඇති බව කියමින් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල පාර අවහිර වන සේ බිම වැතිර සිටිමින් උදඝෝෂණයක නිරත වී සිටි ජාතික බල සේනා සංවිධානයේ සභාපති වටරැක විජිත හිමියන් රුපියල් 150000ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (11) නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළේ මෙලෙස උදඝෝෂණයක නිරත වී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගතව සිටි භික්ෂුන් වහන්සේට ඇප ලබා දෙන ලෙස නීතිඥවරුන් සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.

නැවත මෙවැනි වැරැදි සිදු කිරීම කළහොත් ඇප අවලංගු කිරීමට එය හේතුවක් වන බව විජිත හිමියන්ට මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

පාර අවහිර කරමින් දැඩි ආරක්ෂිත කළාපයක එලෙස හැසිරෙන්නේ නැතිව ජනාධිපතිවරයා මුණ ගැසීමට අවශ්‍ය නම් විධිමත් ක්‍රමවේදයකින් ඒ සම්බන්ධයෙන් අවතීරණ නොවුයේ මන්දැයි මහේස්ත්‍රාත්වරිය නීතිඥවරුන්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් පෙන්වා දුන්නේ පොරොත්තු ලේඛනයේ සිටියා නම් උන්වහන්සේගේ ජිවිතය නැතිවීමට පවා ඉඩ ඇති බවය.

ජීවිත තර්ජන ඇති බව පවසමින් ජනාධිපතිවරයා මුණ ගැසීමට ඉල්ලා සිටි බවත් උන්වහන්සේ එහිදි පාර අවහිර කරමින් සිටියේයැයි කීම ප්‍රතික්ෂේප කරන බවත් පෙන්වා දුන් නීතිඥවරුන් කියා සිටියේ එම අවස්ථාවේදීත් උන්වහන්සේගේ ජීවිතයට තර්ජනයක් එම ස්ථානයට පැමිණි අයකු සිදු කළ බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියට කියා සිටියද ඔවුන් එය නොදැක්කා සේ සිටි බවත්ය.

එලෙස සිදු නොවු බව අධිකරණයට කී කොටුව පොලිසිය බිම වැතිර සිටි බවට සි.සි.ටී.වී. දර්ශන ඉදිරිපත් කළ හැකි බව කියා සිටියේය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...