යුද හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු

ගීෂා මුණසිංහ

සේවා බළකාය පරදවා ගැමුණු හේවායෝ ශූරතාව දිනති

ශ්‍රී ලංකා යුද හමුදා ගැමුණු හේවා බළකාය අන්තර් රෙජිමේන්තු පාපන්දු තරගාවලියේ ශූරතාව අත්කර ගැනීමට සමත් වෙයි. කණ්ඩායම් 18ක් එක්වූ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ ගැමුණු හේවා බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බළකාය පරදවා ගෝල් 2 -0ක් ලෙස ජය හිමිකර ගැනීමට සමත් විය. සැරයන් රෝහණ ප්‍රේමනායක ගැමුණු හේවා බළකාය වෙනුවෙන් වාර්තා වූ ගෝල් දෙකට හිමිකම් කීය.

ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සංවිධාන කරන අන්තර් ‍රෙජිමේන්තු පාපන්දු තරගාවලියේ අවසන් තරගය යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ පැරණි තුරඟ තරග ක්‍රීඩා පිටියේදි පැවැත්විණි.

තරගයේ පළමු භාගයේදී දෙපිලටම ගෝල් වාර්තා කිරීමට නොහැකි විය. දෙවැනි භාගයේදී ක්‍රියාත්මක වූ ගැමුණු හේවා බළකායේ රෝහණ ප්‍රේමනායක 47වැනි හා 79 වැනි මිනිත්තුවලදී ගෝල් වාර්තා කරමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ගැමුණු හේවා බලකාය, බුද්ධි අංශ සේවා බලකාය පරාජය පත්කරමින් අවසන් තරගයට පිවිසි අතර ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය පරාජය කරමින් යුද හමුදා සේවා බලකාය අවසන් තරගයට පිවිසියේය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකා සේවා බළකායේ ලාන්ස් කෝප්‍රල් එච්. මදුසාන් ද සිල්වා සහ ගැමුණු හේවා බළකායේ ලාන්ස් කෝප්‍රල් සුදර්ශන ගුණසිංහ රන් සපත්තු සම්මාන හිමිකරගත් අතර අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සැරයන් රෝහණ ප්‍රේමනායක ද, දක්ෂතම දැල් රකින්නා ලෙස ගැමුණු හේවා සමාන්‍ය සෙබළ ප්‍රියශාන්ත ද සම්මාන දිනා ගත්හ. ඡායාරූප - රූක්මාල් ගමගේ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...