ගෞරවණීය අස්වීම... | දිනමිණ

ගෞරවණීය අස්වීම...

රවී කරුණානායක මහතා ඉතා වැදගත් ලෙස අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය. ‍මේ සිද්ධියත් සමඟ යහපාලනය තහවුරු වන බවද, ආණ්ඩුවේ පැවැත්ම ස්ථාවර වන බව ද කියති. කරුණානායක මහතා සිය ප්‍රකාශය ඔස්සේ පෙන්වා දුන්නේ ද අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙමින් තමා ඉල්ලා අස්වන බවය. ඔහුට එරෙහිව ‍චෝදනාවක් එල්ල වී තිබුණ ද නීතිය ඉදිරිපිට තව ම එය සනාථ වී නැත. එයින් පැහැදිලි වන්නේ කරුණානායක මහතා තව ම චූදිතයකු පමණක් බව ය. ශ්‍රී ලංකාවේ දේශපාලනය ගත් විට ‍චෝදනාවක් නැති මහජන නියෝජිතයකු සොයා ගැනීමට බැරි තරම් ය. එය ධනේශ්වර දේශපාලනයේ ස්වභාවය යැයි කියන්නට පුළුවන. කුමක් වුව මේ ඉල්ලා අස්වීම ඔස්සේ දේශපාලනයට ශිෂ්ටත්වයක් ආරෝපණය වී ඇත.

අපේ දේශපාලන ඉතිහාසය විමසන විට දේශපාලකයන්ට සම්බන්ධ මහා පරිමාණ දූෂණ - වංචා හා අක්‍රමිකතා ඉතා සුලබ බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඊට සමගාමී ලෙස ඉල්ලා අස්වීම් සිදු වී නැත. තනතුරු අත්හැරීම් සිදුවී නැත. රටේ නායකයන්ට ද ‍චෝදනා එල්ල වූ නමුදු ඉල්ලා අස්වීමක් සිදුවූයේ නැත. එම වංචාවලට එරෙහි ව නීතිය ක්‍රියාත්මක වූයේ ද නැත. එසේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම්; දේශපාලකයන්ගෙන් බොහෝ දෙනකු ‍මේ වනවිටත් සිටිය යුත්තේ හිර ගෙවල්වලය. රවී කරුණානායක මහතා සිය ප්‍රකා‍ශයේදී කියා සිටියේ ද මහා පරිමාණ වංචාකාරයන් තමන් දෙසට ඇඟිල්ල දිගු කරන බව ය. එය ඇත්ත කතාවකි.

මහා පරිමාණ දූෂණ හා වංචා අසූහතක් සම්බන්ධයෙන් ගිය ආණ්ඩුවේ බලධාරීන්ට චෝදනා එල්ල වී ඇත. මේ පිළිබඳ පැමිණිලි ද ඉදිරිපත් වී ඇත. එ‍හෙත් පරීක්ෂණ අවසන් වී නැත. ඇතැම් පරීක්ෂණවලට අදාළ තොරතුරු ලැබී නැත. තව පරී ක්ෂණවලට අදාළ ලිපි ගොනු අතුරුදන් වෙයි. තවත් පරීක්ෂණවලට සම්බන්ධ සාක්ෂි විනාශ වෙයි. මේවායින් පෙනී යන්නේ දූෂිතයන් රකින ක්‍රියාදාමයක් ද යටින් දුවන බවය. එහෙත් රවී කරුණානායක මහතා ආරක්ෂා කරන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. අගමැතිවරයා කියා සිටියේ තම පක්ෂය දූෂණ හා වංචාවලට ඉඩක් නොතබන පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් බවය. රවී කරුණානායක මහතාට ඉල්ලා අස්වන්නැ’යි අගමැතිවරයා ද කියා ඇත.

කරුණානායක මහතාට චෝදනා එල්ල වී ඇත්තේ බැඳුම්කර සිද්ධියක් සම්බන්ධයෙන් ය . මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවේ දී කරුණානායක මහතා යම් අල්ලසක් ලබා ඇතැ’යි චෝදනා එල්ල වී ඇත. සිද්ධිය ගැන මේ වනවිටත් පරීක්ෂණ ගණනාවක් සිදු වී ඇත. මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණය, කෝප් කමිටුවේ පරීක්ෂණය ඊට නිදසුන් ය.

ජනාධිපති කොමිසම පත් කරන්නේ ඊට පසුව ය. මේ කොමිසමේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රජයේ අමාත්‍යවරයකු ප්‍රශ්න කිරීමට අවස්ථාව ලැබිණි. ප්‍රශ්න කිරීම ඉතා ආවේගකාරී ලෙස සිදුවූ බවද වාර්තා වී තිබිණි. මේ සිදුවීම්වලින් පෙනී යන්නේ ආණ්ඩුව පරීක්ෂණවලට සහයෝගය දක්වන බව හා දේශපාලන බලපෑමකින් ‍තොරව ඒවා කරගෙන යෑමට නිදහස ලබා දෙන බව ය.

ආණ්ඩුවක් පාරදෘශ්‍යභාවයකින් යුතුව කටයුතු කරන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන්නේ යැයි සිතන්නට පුළුවන. බැඳුම්කර සිද්ධිය පිළිබඳ කිසිදු රහසක් මේ වන විට ඉතිරි වී නැත. ජනමාධ්‍ය මෙන් ම සමාජ වෙබ් අඩවිද සියල්ල වාර්තා කර තිබේ. ආණ්ඩුවට මේවා සැඟවීමට ඕනෑතරම් අවස්ථාව තිබිණි. වාර්තාකිරීම් නවතා දැමීම සඳහා බලපෑම් කිරී‍මේ අවස්ථාව ද තිබිණි. ඒ කිසිවක් සිදුවූයේ නැත. පසුගිය දින කිහිපය තුළ රවී කරුණානායක මහතා බලවත් හොරකු බවට පත් කරන්නටත්, ඔහුගේ චරිතය මුළුමනින් ම ඝාතනය කරන්නටත් ජනමාධ්‍ය සමත් විය. ඔහු නීතිය ඉදිරිපිට වරදකරුවකු වී නැති බවත් ඇතැම් ජනමාධ්‍යවලට සිහිපත් වී නැත. මේවා සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් නො කිරීමෙන් ද පෙනී යන්නේ යහ පාලනය පවතින බව ය.

පාකිස්ථානයේ නවාෂ් ෂරීෆ් මහතාට අදාළ සිද්ධිය දකුණු ආසියාවේ දේශපාලනය තුළ යම් කැළඹීමක් ඇති කළේ ය. චෙක්පත් වංචාවක් ගැන නවාෂ් ෂරීෆ් මහතාට චෝදනා එල්ල වී තිබිණි. මෙය පාකිස්ථානු දේශපාලනය උණුසුම් කළ සිද්ධියක් වූ අතර අවසානයේ නඩු විභාගයක් පැවැත්විණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මේ නඩුවේදී ෂරීෆ් මහතා වැරදිකරු බවට තීන්දුවේ සඳහන් විය. එම තීන්දුව ප්‍රකාශයට පත් වනතුරු ෂරීෆ් මහතා ඉල්ලා අස්වූයේ නැත. එබඳු අයිතියක් ද ෂරීෆ් මහතාට තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ රවී කරුණානායක මහතා සම්බන්ධ සිද්ධියේ දී අධිකරණ තීන්දුවක් ලබාදීමට ප්‍රථමයෙන් ඒ මහතා ඉල්ලා අස්විය. එයින් පෙනී යන්නේ යහ පාලනයට අනුව චෝදනා එල්ලවීම පමණක් වුව ඉල්ලා අස්වීමට ප්‍රමාණවත් බව ය. මෙය අලුත් දේශපාලන සංස්කෘතියකි. මේ සංස්කෘතියට අනුව බැලුවහොත් ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනකු දේශපාලනයේ යෙදීම ද අනුචිත ය.

ඒකාබද්ධ විපක්ෂය රවී කරුණානායක මහතාට එරෙහි ව විශ්වාසභංග යෝජනාවක් සංවිධානය කර තිබූ අතර ඊට ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනකු ද සහාය දක්වන බවට තොරතුරු හෙළිදරව් වී තිබිණි. මේ හැරෙන්නට කැබිනට් රැස්වීම්වලදී රවී කරුණානායක මහතාට විරෝධය දක්වා රැස්වීම්වලින් ඉවත්වීමට ද ඇමැතිවරු පිරිසක් සංවිධානගත වී සිටියහ. මේවා රහස් නොවේ. කරුණානායක මහතා මේ සිදුවීම් දෙස බුද්ධිමත්ව බලා තීන්දුවක් ගෙන ඇති බව පෙනෙයි. විශ්වාසභංගය පරාජය වූයේ නම්; එය ආණ්ඩුව අර්බුදයකට යෑමක් ලෙස සැලැකිය හැකි ය. කැබිනට් රැස්වීම් කඩාකප්පල් වීම ද ආණ්ඩුවේ ඉදිරි ගමනට සුබදායක නැත. මේ සියල්ල පිළිබඳ ඉතා ‍හොඳ නිරීක්ෂණයක යෙදුණු කරුණානායක මහතා ඉල්ලා අස්වීමට තීන්දු කළේ යැයි කියන්නට පුළුවන. මේ තීන්දුව නිසා ආණ්ඩුවේ ‍ගෞරවය රැකුණේ ය. පැවැත්ම ද රැකුණේ ය.

දැන් යහපාලනය ඔස්සේ සිදුවිය යුතු වැදගත් කරුණු කිහිපයක් ද තිබේ. ඉන් පළමු තැන ගන්නේ ගිය ආණ්ඩුවේ සිට මහා පරිමාණ දූෂිතකම් සිදු කළ දේශපාලන බලවතුන්, උසස් නිලධාරීන්, වහාම නීතිය හමුවට කැඳවීම ය. මේ සිදුවීම්වලට සම්බන්ධ දේශපාලකයන් හා නිලධාරීන් ආණ්ඩුවේ ආයතන තුළ ම සිටින බව ද රහසක් නොවේ. යුක්තිය ඉටුවීමට නම්; මේ සියලු දෙනා නීතිය හමුවට කැඳවිය යුතුය. එහෙත් එය කාර්යක්ෂම ලෙස සිදුවන බවක් පෙනෙන්නට නැත. බැඳුම්කර සිද්ධිය ඉතා කෙටි කලකින් නිමාවක් කරා පැමිණියේ ය. එහෙත් ගිය ආණ්ඩුවට සම්බන්ධ සිදුවීම් ඒ තරම් යුහුසුලුව නිමාවක් කරා ගමන් කරන බවක් පෙනෙන්නට නැත. එය කාගේ දුර්වලතාවක් නිසා සිදුවන්නේ ද යන්න විමසා බැලීමට වටී.

කෙසේ වුව රවී කරුණානායක මහතා රටට අපූරු දේශපාලන ආදර්ශයක් ලබා දී ඇති බව පිළිගත යුතු ය. ඔහු නඩු තීන්දුවක් ලබා දීමට පළමුව තනතුරු හැර ගියේය. ඉන් පෙනී යන්නේ ඔහු සතු සදාචාරාත්මක දේශපාලන ගතිකය යි. හිටපු රවීට වඩා අනාගතයේ එන රවී, බලවත් යැයි සිතන්න පුළුවන.


අදහස් 1ක් ඇත

wiswasada ?

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...