'හොඳම නිළිය වෙන්න හීනයක් මට නැහැ' | දිනමිණ

'හොඳම නිළිය වෙන්න හීනයක් මට නැහැ'

(නිලු­පුලි සඳ­කැ­ලුම්, ප්‍රව්ඩ බුව­නෙක)

වේදිකාව කියන්නේ රංගන ශිල්පිනියකගේ හෝ ශිල්පියකුගේ තිඹිරිගෙයයි. අද රසඳුනේ තුන් වැනි පිටුව ටිකක් සුවිශේෂී වන්නේ වේදිකාවෙන් රංගන ජීවිතය අරඹා ස්ථාවර ගමනකට අඩිතාලම දමාගත් නවපරපුරේ තරුවක් සමඟ කතාබහ සිදුවන නිසා. ඒ සම්මානනීය නිළි නදීෂා මදුෂානි සමඟයි. පසුගියදා ඇයට ටෙලි නාට්‍ය හරහාද නැගී එන නිළිය ලෙසින් කිරුළු පළදින්නට වරම් ලැබුණා.

නිවාඩු කාලේ නිසා අද ගෙදර ද?

ඔව්.. free එකේ, බොහොම නිදහසේ ඉන්නවා.

අලුතෙන් ලැබුණු ගුරු වෘත්තිය හිතට අල්ලලා ගිහින් වගේ?

ඔව්. ගුරු වෘත්තියට එනවා කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මේ කාලයේ ලැබෙයි කියලා හිතුවෙත් නැහැ. ලොකු සතුටක් තියෙනවා ඒ ගැන.

පසුගිය දා පැවැති 'රයිගම් ටෙලීස්' හි නැඟී එන නිළිය ලෙසින් සම්මානය හිමි කර ගත්තා.

ඒ ගැන නිහතමානී සතුටක් දැනෙනවා. සම්මානයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි හිටියේ. මේ වෙලාවේදී කියන්න ඕන, මට මේ සම්මානය ලැබුණේ ස්වාධින රූපවාහිනියේ විකාශය වුණු ලලිත් රත්නායකගේ 'One Way' කියන ටෙලි නාට්‍යයට.ඒ නිර්මාණය අගය කිරීම ගැන ලොකු සතුටක් තියෙනවා.

වේදිකාව කියන්නේ ඔබගේ මේ ගමනේ ආරම්භය ද?

එහෙම කිව්වොත් නිවැරැදියි. මගේ ගම ගාල්ල. පාසල් අධ්‍යාපනය හදාරන කාලය තුළදී මු.දු රන්ජිත් ගුරුවරයා යටතේ, ඔහු ගේ ගුරුහරුකම් මැද මට අවස්ථාව ලැබෙනවා වීදි නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්න. ඊට පස්සේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවත් එක්කම යෞවන සම්මාන, රාජ්‍ය සම්මාන උළෙල නියෝජනය කරමින් වේදිකා නාට්‍ය වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා මට වේදිකාවේ හොඳම නිළිය සම්මානය ලබා ගන්නට වරම් ලැබෙනවා.

නැඟී එන නිළිය සම්මානය ලැබීමත් එක්ක ඊළඟ හීනය හොඳම නිළිය සම්මානයද?

මගේ ලොකු බලාපොරොත්තුවක් නෑ හොඳම නිළිය සම්මානය, විශිෂ්ටතම නිළිය සම්මානය ගන්න. ඒ වගේ හීන හිත ඇතුළේ තියාගෙන නැහැ. හැබැයි මගේ අරමුණ හිත ඇතුළේ තියෙනවා. ඉදිරියේදී මට ලැබෙන නිර්මාණ වලදී, චරිත තෝරා බේරා ගනිද්දී ඒ නිර්මාණවල ගුණාත්මක බව, ගැඹුරු බව ගැන හිතනවා.

ඔබ වේදිකාවේ සම්මානනීය නිළියක්. මේ ලැබුණේ කී වැනි සම්මානයද?

වේදිකාවේදී මට හොඳම නිළිය සම්මානය ලැබිලා තියෙනවා. ටෙලි නාට්‍ය සදහා ලැබුණු පළමුවැනි සම්මානය.

මේ දිනවල වේදිකාවත් එක්කද රංගන කටයුතු සිදු වෙන්නේ?

ඔව්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ 'හන් කිති 13' කියන වේදිකා නාට්‍ය රට පුරා දර්ශන වාර පැවැත්වෙනවා. ඒ වැඩ තමා රංගන කටයුතු විදියට කෙරෙන්නේ. එක ටෙලි නිර්මාණයක් සඳහා මේ දිනවල දින දීල තියෙනවා. ගුරු වෘත්තිය නිසා මම ගොඩක් වැඩ භාර ගන්න ගියේ නැහැ.

රංගනයේ දී වඩාත්ම පහසු ටෙලි නාට්‍ය ද සිනමාව ද නැත්නම් වේදිකාවද ?

මට දැනෙන විදියට මේ කියන එකම ක්ෂේත්‍රයක්වත් පහසු නැහැ. හරි විදියට පදනම වැටුණේ නැත්නම් මම මේ කියන පදනම වැටෙන්නේ වේදිකාවෙන් කියලා මම විශ්වාස කරනවා. මට හරි විදියේ පසුබිමක් වැටිලා තියෙනවා වේදිකාව හරහා. ඒ නිසා මට මේ ක්ෂේත්‍රයන් තුනම ලොකු අභියෝගයක් නෙමෙයි.

හැබැයි ගොඩක් අය කියනවා, 'වේදිකාව කට්ටක් කියලා' ඒකට ඔබ එකඟද?

ඒක ඇත්ත. ටෙලි නාට්‍යක ෂූටින් තරම්, ෆිල්ම් එකක ෂූටින් යන තරම් පහසු කාර්යයක් නෙමෙයි. වේදිකා නාට්‍ය කියන්නේ සෑහෙන්න මහන්සියක් දරමින්, මාස ගණන් රිහසල් කරලා, තරමක කට්ටක් කාලා අවසානයේ බිහි කරන්නේ ලස්සන නිර්මාණයක්.

දැන්වත් කියමු කෝ නදීශාගේ පුංචි පවුල ගැන?

මට පුංචි රත්තරං පුතෙක් ඉන්නවා. එය ප්‍රව්ඩ දේක්ෂිත. එයාට අවු.2 ක් වෙනවා. මගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක හැම දෙයක්ම සමබරව කරන්න උදව් කරන්නේ මගේ අම්මයි තාත්තයි. ඒ වගේම මගේ සැමියා ප්‍රව්ඩ බුවනෙක. කියන්න බැරි තරම් සහයෝගයක් මට දෙනවා. ඔහුත් කලාවට සම්බන්ධයි.

 

නව අදහස දක්වන්න