අනාගතයට නව ජවයක්

දුෂ්කර වන රජ දහනක සැඟව එහි සොබා සොඳුරු බවට අල්පයකුදු හානියක් නොකොට සුවහසක් සිසු දනන් හට සිය ජීවන පෙත හෙළි කරන්නට නිරතුරු යුහුසුලු වන රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථාන‍යේ උදාර ජාතික මෙහෙවර සියැසින් දැක අත්දකින්නට ලැබීම ගුරුවරියක හා මවක වශයෙන් මා ලැබූ සාඩම්බර ආශ්වාදයක්. ගණ වළාකුළුවලින් සැඟව ඇති උදුල සඳ මඬලක් සේ කඳුපන්තියක පා මුල ප්‍රතාපවත්ව විරාජමාන වූ මේ විශිෂ්ට කඳවුරු භූමිය නිහඬවම ප්‍රශස්ත වූ කාර්යයක් නිරතුරුව ම ඉටුකරමින් සිටී.

ජාතික පොදු අරමුණු ඉටුකර ගැනීමේදීත්, අත්‍යවශ්‍ය නිපුණතා සමූහ සාධනය කර ගැනීමේදීත් ශිෂ්‍ය ප්‍රජාව තුළ පාසල මඟින් ‍ගොඩනැඟිය යුතු දැනුම, ආකල්ප, කුසලතා යන සුවිශේෂී අරමුණු ඉටුකර ගැනීමටත්, සිසුන් මනා කායික මානසික මෙන්ම ආධ්‍යාත්මික පෝෂණයකින් යුතු සමබර පෞරුෂයකින් හෙබි පුරවැසියන් කරන්නටත්, අවැසි පරිසරය ශිෂ්‍යය භට බළකා කඳවුර තුළ තාර්කිකවත්, සුරක්ෂාකාරී ලෙසත්, නිර්මාණශීලි ලෙසත් සකසා තිබීම ප්‍රශංසනීයයි.

සැලසුම්කරණය, සංවිධානය, ඒකාන්ත බව, ඍජු බව හා විශ්වාසනීය බව තහවුරු කිරීමේ ක්‍රියාකාරකම්වල ශිෂ්‍ය භටයන් භටවියන් යෙදවීමේ විෂය මාලාවක් ක්‍රියාත්මක කෙරෙන ආකාරය විස්මිත අත්දැකීමක් වූයේ ගැහැනු ළමුන් ඉතා ප්‍රබෝධමත්ව හා විශ්වාසයෙන් යුතුව එම ක්‍රියාකාරකම්වල යෙදෙනු දැකීමෙනි. එහි උපයෝගීතාව අනාගත ආයෝජනය වනුයේ නූතන කාන්තාවන්ට මුහුණදීමට ඇති විසල් හා විෂම අභි‍යෝග හමුවේ විපුල ඵල නෙළාගැනීමට අවශ්‍ය ආත්මවිශ්වාසයයේ පුළුල් පරාසයන් ස්ථාපනය වනු දැකීමයි.

පශ්චාත් යුද සමය ජාතික සංහිඳියාව නැමැති පවසට සිසිල් පැන් බිඳක් සොයාගන්නේ නම්, එය පළමුව ලබා දෙන්නේ ජාතික ශිෂ්‍ය භට බළකා කඳවුර බව පසක් වන්නේ බදුල්ල භාරතීය දමිළ විද්‍යාලයේ භටවියන් හා ඔවුන් භාරව පැමිණි දමිළ ගුරුතුමියගේ තෘප්තිමත් කතා බහට සවන්දීමෙනි. එපමණටම ඔවුන් කඳවුරු ක්‍රියාකාරකම් ගැන දැරුවේ ධනාත්මක අදහස් බව අවධාරණය කරනු කැමැත්තෙමි. ඒ සඳහා කාන්තා නිලධාරිනියන්ගේ මෙහෙවර ප්‍රශංසනීයයි.

යුද සරඹ දැරීම, ආත්මවිශ්වාසයකින් ඉදිරිපත් කිරීම්, ආචාර පෙළපාලි ආදී ක්ෂේත්‍ර ඔස්සේ භටවියන්ගේ සියලු මානව හැකියාවන් ඔප් නැංවීමට අවශ්‍ය ලෙස විධිමත් සහ ප්‍රායෝගික ඇගයුම් ක්‍රමයක් මඟින් දක්ෂයන් අතර දක්ෂයන් තෝරා අභිප්‍රේරණයකිරීමේ මේ ක්‍රමවේදය ද ප්‍රශස්ථය. විසිරයාමේ පෙළපාලිය ද තූර්යවාදක කණ්ඩායම්වල අනභිභවනිය මාධූර්යය ද අගය කළ යුතුය. පුහුණුව අවසානයේ භටවියන්ට ලැබෙන සහතිකය ද ඔවුන්ගේ ජීවිතවලට මනා පිටිවහලක් සපයනු ඇත.

මෙවන් විසල් මෙහෙවරක යෙදෙන ජාතික ශිෂ්‍යභට බළකාය පිළිබඳව ධනාත්මක ආකල්ප සමාජගත වී නැති බවත්, ඒ පිළිබඳ අවබෝධයේ ව්‍යාප්තිය මද බවත්, පෙනෙන කාරණයකි. එ‍මෙන්ම කඳවුරේ යටිතල පහසුකම්වල විශාල අඩුපාඩුවක් පවතියි. ඒ සඳහා ඉක්මන් අනුග්‍රාහක දායකත්වයක් රජයෙන් ‍හෝ වෙනත් සංවර්ධනාත්මක ප්‍රවේශයකින් ලැබෙන්නේ නම් අත්‍යාවශ්‍ය ජාතික මෙහෙවරකට කරන උපකාරවක් වනු ඇති.

දැයේ පුතුණුවන්ගේ දැයේ දියණියන්ගේ කශේරුකා ශක්තිමත් කර, ඍජු දෘෂ්ටි කෝණයට පෞරුෂය සකස් කරන විනයගරුක යුක්තිගරුක හා නීතිගරුක පුරවැසියන් තනන්නට මෙහෙවරක යෙදෙන ජාතික ශිෂ්‍ය භට බළකා කඳවුරට මගේ ප්‍රණාමය පුද කරමි.

ආචාරිනී
උදේනි විතානගේ
අ/ වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විදුලහ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...