අනවසර විලා මිරිස්ස මළා | දිනමිණ

අනවසර විලා මිරිස්ස මළා

නන්දසිරි වැලිගමගේ

බොහෝ හෝටල් නමට ප්‍රාදේශීය සභාවේ හෝ ලේකම් කාර්යාලයෙන් ව්‍යාපාර ලියාපදිංචි වෙලයි තියෙන්නෙ. එහෙමත් සිදුකර ඇත්තේ අතළොස්සක් පමණයි. හොඳ සංචාරක කලාපයක් තුළ තිබිය යුතු කිසිදු නිර්ණායකයක් මේ කලාපය තුළ ක්‍රියාත්මක වෙන්නේ නෑ.

දකුණු දිග මුහුදු තීරය තුළ අලුතින්ම නිර්මාණය වූ සංචාරක පාරාදීසය වූයේ වැලිගම මිරිස්ස කලාපයයි. ලෝකයේ හොඳම මුහුදු තීරයන් දහයෙන් එකක් වූ උණවටුන මුහුදු තීරය කාබාසිනිය කරණයෙන් පසුව දිවයිනට පැමිණි බොහෝ සංචාරකයින් ඒ අඩුව පිරිමසා ගැනීම සඳහා ඇදී ගියේ මේ මිරිස්ස වෙත ය.

ඒ අන්කිසිවක් නිසා නොව සිහින් සිනිදු මුහුදු වැල්ල සමග අනවසර කඩ බක්කි නැති දිගුවන් වෙරළ තීරයක් නිසාත් ඒ අවටින් ලෝකයේ දුර්ලභ තල්මසුන් නැරඹීමට ආසන්නම මුහුදු තීරය මෙය නිසාය. අනෙක් අතට කොරල් නැරඹීමට තිබූ හොඳම උණවටුන හා හික්කඩුව කොරල්පර විනාශ වී යද්දී සජීවී සුන්දර කොරල්පර දැක්මෙහි දකුණේ එකම තෝතැන්න මෙය වූ නිසාත්ය. හික්කඩුවත් උණවටුනත් පරයා මේ මිරිස්ස මෙසේ නැගී ආවේ ඉතා කෙටිකාලයක් තුළ දී වීමද විශේෂ සිද්ධියක් වූයේ ය. නොසිතූ විලසකින් ඉස්මතු වී ආ මේ සුන්දර සංචාරක පුරවරයට ඒ තත්ත්වය තවදුරටත් රැක ගැනීමට හැකිවේද යන්න වර්තමානය විසින් මතුකර ඇති ඉතා දුක්මුසු පැනයක් වී දැන් අවසානය. මිරිස්සේ සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින පිරිස දැන් අපට හඬ ගා කියන්නේ මිරිස්සේ සංචාරක කර්මාන්තය දැන් අවරෝහණ ගමන් අරඹා ඇතිය යන්නය. ඉතා කෙටි කාලයක් තුළ මෙහෙම වූයේ ඇයිදැයි සොයා බලන්නට ගෙවී ගිය දා අප එහි සංචාරයක නියැළුණෙමු. මිරිස්ස සංචාරක පුරවරයෙ තෝතැන්න මිරිස්ස මිරය කන්ද හි සිට බංඩාර මුල්ල අවසානය දක්වා යයි ඔවුහු පෙන්නා දෙති. මේ කාලය සංචාරක සමයේ උච්චම කාලය යැයි ද මෙහි මිනිස්සු පෙන්නා දෙති. ගෙවී ගිය වසරවල තමන් හොඳ ආදායම් ලැබූ බවත් විදෙස් සංචාරකයින් බුරුතු පිටින් ආ බවත් පෙන්නා දෙන ඔවුන් අද අපිට අත් දිගුකොට පෙන්නා සිටියේ හෝන්දු මාන්දු ගතියකින් පෙලෙන වෙරළ තීරයකි. ඇයි මිරිස්සට මෙහෙම වූයේ යන්න අපි ඔවුන්ගෙන් විමසුවෙමු. එහිදී අපේ කතා බහට එක් වූයේ මේ ව්‍යාපාරයේ යෙදී සිටින මිරිස්ස සංචාරකයින්ගේ සංගමයේ මිරිස්ස බංඩරමුල්ලේ දීපිකා රිසෝට් අධිපතිනි දීපිකා දමයන්ති මහත්මියයි.

මහත්මයා මේ මිරිස්ස කියන්නේ සංචාරක ව්‍යාපාරයට සුදුසුම කලාපයක්. බලන්න අර දිගු වෙරළ දිහා උණවටුන වගේ අනවසර ඉදිකිරීම් මේ වැල්ලේ ඇත්තේ නෑ. සදා සිනිදු මුහුදු වැල්ලට විදේශිකයින් දක්වන්නේ පුදුම ඇල්මක්. ඒ භාග්‍යය අපි ලබා තිබෙනවා.

නමුත් අද මොකද වෙලා තියෙන්නේ මේ මිරිස්ස සංචාරක පුරවරය අයාලේ යන්නට පටන්ගෙන අවසානයි. මේ පුරවරය පිළිබඳව මධ්‍යම රජයෙ සංචාරක මණ්ඩලය මේ වනතෙක් අත තියා නෑ. අනිත් අතට දකුණු පළාත් සභාවේ සංචාරක කාර්යාංශයවත් අප දිහා බලා නෑ. මේ කාලය තුළ කිසිදු පාලනයක් නියාමනයක් ඇත්තේ නෑ. මා දන්නා පරිදි මෙතරම් හෝටල් ඇති මේ පුරවරයේ සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කර ඇති හෝටල් ගණන කීපයක් තරම්වත් නෑ කියාලයි. බොහෝ හෝටල් නමට ප්‍රාදේශීය සභාවේ හෝ ලේකම් කාර්යාලයෙන් ව්‍යාපාර ලියාපදිංචි වෙලයි තියෙන්නෙ. එහෙමත් සිදුකර ඇත්තේ අතළොස්සක් පමණයි. හොඳ සංචාරක කලාපයක් තුළ තිබිය යුතු කිසිදු නිර්නායකයක් මේ කලාපය තුළ ක්‍රියාත්මක වෙන්නේ නෑ. හිතු හිතූ මතේට හෝටල් හිමියන් සිය කටයුතු කරගෙන යනවා. කාමරවල තත්ත්වයන් ගැන කිසිදු ආයතනයක් මෙතෙක් සොයා බලා නෑ. මේ සියල්ලටම වඩා බරපතළ කාරණාවක් වී ඇත්තේ මෙම පළාත් තුළ ඉතා ශීඝ්‍රයෙන් ඇති වී ඇති අර විලා ක්‍රමයයි. මේ පැත්ත ගම් ඇතුළට වෙන්නට සිංහල මිනිස්සු තම ගෙවල් පරදේශක් කාරයින්ට විකුණා අවසානයි. ඉන් පස්සේ මොකද ඒ පිරිස කරන්නේ තම රටින් එන සියලුම සුද්දන් මේ විලාවලට බිලි බා ගන්නවා. අපේ ගමේ එකකටවත් මේ සෙල්ලමින් මෙතෙක් කිසිදු වගතුවක් වෙලා නෑ. තවත් පිරිස් මොකද කරන්නෙ බොහෝ සුද්දන් මේ විලා අරගෙන ඉවරයි. එයින් පස්සෙ ඒ ගොල්ල තමයි මේ ව්‍යාපාරය ගෙනියන්නේ. අපිටවත් රජයටවත් එයින් ලාබයක් වෙන්නේ නෑ . කිසිදු විනිමයක් අපේ රටට ලැබෙන්නේ නෑ. මා කියා සිටින්නේ ලබන වසර තුළ දී වත් අපිට හොඳට නැඟී සිටින්නට හැකි වන පරිදි දකුණු පළාත් සභාවත් මධ්‍යම රජයේ සංචාරක මණ්ඩලයත් එක්වී මිරිස්ස සංචාරක පුරවරයට හොඳ නියාමන පද්ධතියක් ඇති කර දෙන්න කියාලයි. මේ මිරිස්ස ඉස්සර වෙලා ප්‍රසිද්ධ වෙලා තිබුණේ පොල් ලෙලි කර්මාන්තය පිළිබඳවයි.

අපේ ආච්චිලා ඒ කාලයේ මේ වෙරළ අද්දර පුංචි පොල්ලෙලි තවාන් දාගෙන ඉන්නවා. කාලයක් ගිය පසුව මේවා කිතුල් පොල්ලකින් කොහු ඇතිකර ගන්නවා. ඔන්න ඔය සෙල්ලම දකින්න තමයි මේ පියසට විදේශිකයින් එන්නට පටන් ගත්තෙ.

මේ අර තියන ගිරාගල කියන තැන තමයි මෙහි මුල්ම හෝටලය යයි ඇය අපට අතීතය වර්තමානය හා අනාගතය ගැන කියා පා සිටියේ ය.

මෙහි සංචාරක මණ්ඩලයේ සභාපති ඩොනල් වීරසේන මහතා

මෙහි සංචාරක ව්‍යාපාරය පිළිබඳ දැන් අපට ඇත්තේ මහත් බියක්. අපිට බලපාන ගැටලුව තමයි කිසිදු නියාමනයකින් තොරව පවත්වාගෙන යන මේ විලා සංස්කෘතිය. ගමේ කොහේ හරි ගෙයක් සුද්දා ගන්නවා. ඊට පස්සේ එයා කරන්නේ එයාලගෙ රටේ ඉඳන් එන හැම එකාම ඒ ගෙදරට ගන්න එකයි. ඊට පස්සෙ හැන්දෑවට මේ මිරිස්ස වැල්ලට එනවා චූන් පාන් වෑන් එකෙන් මොනව හරි අරගෙන ගිහිල්ල කාල ෂේප් වෙනවා. මේක දැන් එළවටත් මෙලොවටත් නැති වැඩක් බවට පත්වෙලා. මේ විලා වලින් ප්‍රාදේශීය සභාවටවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටවත් කිසිම ආදායමක් එන්නේ නෑ. අන්තිමට ඉතා කෙටියෙන් අපට අද කියන්නට වෙලා තියෙන්නේ විලා නිසා අපි මළා කියන එකයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එම්.බැට්ටගේ මහතා.

මම හිතන්නේ මේ පළාතේ තියන ලොකු හෝටල් වලිනුත් එක තුන හතරක් පමණයි සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කරලා තියෙන්නේ. අනිත් එකක්වත් නෑ. සමහර ඒවාට ඇත්තේ ව්‍යාපාර නාම ලියාපදිංචියක් විතරයි. දැන් හැම ගෙයක්ම වාගේ විලා වෙලා. එයින් වෙන්නේ මේ මිරිස්ස සංචාරක පුරවරයත් ඉතා කෙටිකාලයක් තුළ විනාශ වෙලා යන එකයි. දැනටමත් ඒක වෙන්න පටන් ගෙන ඉවරයි.

මේ පියස පිළිබඳව ඉක්මනින් සංචාරක මණ්ඩලයේ අවධානය යොමු වෙන්න ඕන. දැන් බලන්න ලංකාවෙම තල් මස් රංගනයන් බලන්න තියන හොඳම ස්ථානය මේ මිරිස්ස අවට මුහුදු මායිම නේ. කෝ ඕන ඕන කට්ටියට ඕන ඕන විදිහට ඒවා කරගෙන යනවා. හැබැයි කිසියම් දවසක උසුල ගන්න බැරි ඛේදවාචකයක් වුණොත් මොකද වෙන්නේ මුළු රටේ හි සංචාරක ව්‍යාපාරයට මහා අවනම්බුවක් නැත්නම් මහා ඛේදවාචකයක් හෙතෙම පවසා සිටිය හැකි ඉක්මනින් මේ මිරිස්ස සංචාරක පුරවරයට රජයේ සැලසුමක් වහා දිය යුතුය යන්නය.

මෙයට අමතරව මේ වැල්ලේ පුංචි කඩ දාගෙන සිටින හා හෝටල් කීපයක් අරඹා ඇති ව්‍යාපාරික මහතුන් කිහිප දෙනකුම අප සමග අදහස් දැක් වූහ. එහෙත් ඒ අයවලුන්ගේ නම් ගම් හෙළි කරන්නට එපා යයිද ඉල්ලා සිටියහ. ඔවුන් කියන්නේ දැන් අලුත් සෙල්ලමක් සුරා බදු දෙපාර්තමේන්තුව පටන්ගෙන තියනවා. ඒක නිසා අපිට මේ ව්‍යාපාරයන් දාල වැල්ලටත් ආ‍යුබෝවන් කියන්නයි වෙලා තියෙන්නෙ. ඒගොල්ලන්ට මාසයකට නඩු ගාණක් ගේන්න ඕනලු. ඒක හදාගන්න හදන්නේ මේ අපේ බෙල්ල මිරිකලා. හැම මාසයකම මේ මිනිස්සු මේ වැල්ලට පාත් වෙනවා. කවුරු හෝ දාලා නඩුවක් දානවා. ඒ විතරක් නොවෙයි ලොකු ගාණකුත් දෙන්න ඕන. මේ වැඩේට ඉස්සර අවේ මාතරින් ගාල්ලෙන්. දැන් මේ සීසන් එකේ ඉඳල මේ අයට අමතරව කුරුණෑගලින් වැලිගමින් සුරාබදු නිලධාරින් කඩා පනිනවා. සමහර උදවිය එන්නේ කාකි ඇඳුම් ඇඳගෙන. ඒ ගොල්ල කඩා පනින්නේ හරියට මිනීමරුවන් අල්ල ගන්න වගෙයි. මේ කට්ටිය දැක්කම සු‍ද්දො සුද්දියො මාර භයෙන් පැනල දුවනවා. ඊට පසුවදාම මේ මිරිස්ස අතහැර දාලා යන්න යනවා. මේ වැටලීම්වලින් මිරිස්ස නොවේ මුළු ර‍ටේම සංචාරක ව්‍යාපාරයට වෙන්නේ මහා හානියක්. අපි දුටුවේ දිගින් පළලින් මනාසේ දිළිසෙන රන්වන් වැල්ලක්. ඒක හරි සිනිදු වැල්ලක්. මේ වැල්ලට විදේශිකයින් හරිම කැමැතියි. වෙනදා උණවටුනට මේ අය ආවේ මේ වැල්ල සොයාගෙන. ඒ නිසයි ලෝකයේ හොඳම වෙරළ දහයෙන් එකක් ලෙසට උණවටුන වෙරළ නම ගත්තේ. ඒක අවසන් වුණාට පස්සේ එහි හිඩැස පිරවුනේ මේ මිරිස්ස වෙරළ‍ ඒ වෙරළටත් ඒ සංචාරක පුරයත් අයාලේ යන්නට මේවාට වගකිව යුත්තන් මෙසේ ඉඩ හරින්නේ නම් උණවටුනට මිරිස්සට නෙවේ මුලු රටේම සංචාරක ව්‍යාපාරයටම දෙවියන්ගේම පිහිටයි කියන ග‍මේ කියමන මිස වෙනත් දෙයක් කියන්නට ලියන්නට අපට ඉතුරු නොවන බව පමණක් අදට මෙසේ ලියා තබන්නෙමු.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...