මහකනදරාවේ නියඟය උග්‍රයි

තඹුත්තේගම විශේෂ ඩබ්ලිව්. ප්‍රදීප්

* කන්න තුනකින් වී වගා කර නෑ
* ගොවි-ධීවර පවුල් ගණනාවකට දුෂ්කරතා

පිට පිට කන්න තුනකදීම වගාවන් අහිමිවීමෙන් මහකනදරාව ව්‍යාපාරයේ ගොවිතැන ජීවිකාව කොටගත් විශාල පිරිසක් අසරණව සිටින බව ගැමියෝ පවසති.

ඉකුත් යල මහ දෙකන්නය මෙන්ම මෙවර යල කන්නය ද මුළුමනින්ම අතහැර දැමීමට සිදුවීමෙන් මෙම තත්ත්වය මතුව ඇති බව ගොවීහු සඳහන් කරති. දිය සිඳුණු මහකනදරාව වැවේ මසුන් අස්වැන්න අඩු වීමෙන් ධීවරයින්ගේ මෙන්ම වැව් කරවල සහ මාළු වෙළෙඳුන්ගේ ජීවනෝපාය ද අවදානමට වැටී ඇති බව ගැම්වාසීහු පවසති. පිරිසුදු පානීය ජලය සපයා ගැනීම ද මහත් අභියෝගයක් වී ඇති බව ද ඔවුහු පැවැසූහ.

අනුරාධපුර වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාසයේ පිහිටි මහකනදරාව වැව යටතේ ඇති වාරි ඉඩම් ප්‍රමාණය අක්කර 2470ක් පමණ වේ. තුන්දහසකට ආසන්න ගොවි පවුල් ගණනක් ඒ මතින් සිය ජීවිකාව සරිකරති. වැවේ වම් ඇළ සහ දකුණු ඇළ මගින් කෙත් වතු වෙත මුදාහැරෙන දියවර මගින් කාලාන්තරයක්

මුළුල්ලේ වී, අතිරේක බෝග සහ එළවළු වගාවල නියැලෙමින් ඔවුහු සිය ජීවිකාව සිරිකොට ගනිති.

ටී.එම්. සිරිල් වික්‍රමසිංහ මහතා -

ආයේ ඉතිං කොයිකාලෙක කුඹුරක් කරලා ආදායමක් ගන්න පුලුවන් වෙයිද කියන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. දැන් අවුරුද්දකින් හමාරකින් ගොඩ ගොවිතැනක්වත් කරගන්ඩ ඉඩක් ලැබුණේ නෑ. ගෙවල් වල වී පුරෝගෙන හිටපු අපිට දැන් කන්න වී ඇටයක්වත් නෑ. ගමේ හැම කෙනාටම කඩෙන් හාල් කන්න වෙලා තියෙන්නේ. එහෙන් හාල් ගිනි ගණන්. හොදට කාල, බීලා කාටවත් කරදරයක් නැතිව හිටපු මිනිස්සුන්ට දැන් තුන් වේල කන්ඩ නැතිව අසරණ වෙලා ඉන්නේ.

එස්. සෝමසිරි මහතා -

දැන් හරකෙකුට කන්ඩ තණකොළ ගහක්වත් නැති තරමට පෑවිල්ල තදවෙලා තියෙන්නේ. කුඹුරු යායවල් පිටින් දාලා පිච්චිලා ගිහින් තියෙන්නේ. මිනිස්සු විතරක් නෙමෙයි සත්තුත් පුදුම විදිහට අසරණ වෙලා ඉන්නේ මේ ටිකේ. හරියට බැලුවොත් ගොවිතැන් කරන මිනිස්සුන්ට ගම් රටවල් දාලා යන්ඩ තරම්

අහේනියක් ඇවිල්ලා තියෙන්නේ. ඇයි ඉතිං මොනවා කියලා කරන්නද. වැස්සකුත් නෑ. වැවේ වතුරත් නෑ.

ඩබ්ලිව්.කේ. සුමනා ලක්ෂ්මි මහත්මිය -

මේ දවස්වල මාළු කිලෝ දෙක තුනක්වත් හොයාගන්ඩ නැතිතරම්. වැව හදන්ඩ වැවේ වතුර අයින් කෙරුවා. ඒ එක්කම පෑවිල්ලත් ආවා. දැන් කොහොම හරි මාළු අහුවෙන් නෑ. මිනිස්සු මාළු ගන්න ඇවිල්ලා ආපහු යනවා. යන්තන් අහුවෙන මාළු කිලෝ දෙක තුනක් පොරකාලා වගේ අරගෙන ලෑල්ලේ දාගෙන ඔහේ ඉන්න වෙලා තියෙන්නේ. අපි කාලයක් තිස්සේ මෙතැනට වෙලා මාළු, කරවලා විකුණලා කීයක් හරි හොයා ගත්තේ. දැන් අපට ජීවත් වෙන්න විදිහක් නෑ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...