වත්තේගමට නව ජංගම පොලිස් මුරපොළක් | දිනමිණ

වත්තේගමට නව ජංගම පොලිස් මුරපොළක්

සහකාර පොලිස් අධිකාරිවරයා විසින් පොලිස් මුරපොළ විවෘත කළ අයුරු

වත්තේගම පොලිස් බල ප්‍රදේශයේ උඩුරාවන 598 ග්‍රාම නිලධාරි වසම මුල්කරගෙන පිහිටුවන ලද පොලිස් ජංගම මුරපොළ පසුගියදා උඩුරාවන ශ්‍රී රාමරාජ විහාර පරිශ්‍රයේදී විවෘත කරනු ලැබිණි.

නව පොලිස් ස්ථානයට උඩුරාවන, වත්තේගම, දොරගමුව, පුවක්ගහදෙණිය, දිගහවතුර, මිගම්මන, චීගමවත්ත, ඉහළයටවර, පහළයටවර, යටවරකන්ද යන ග්‍රාම නිලධාරි වසම් 10ක් අනුයුක්තකොට ඇත.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ‘ගමට පොලිසිය’ යන සංකල්පය මූලික කරගෙන ‍පිහිටුවනු ලැබූ මෙම නව ජංගම පොලිස් මුර ස්ථානය මාසයක කාලයක් ක්‍රියාත්මක වන අතර, එම කාලය තුළ පොලිස් ස්ථානයකින් කෙරෙන සාමාන්‍ය රාජකාරි කටයුතු සිදුකරනු ලැබේ.

ඊට අමතරව පොලිසියත් මහජනතාවත් අතර කිට්ටු සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමේ අරමුණ ඇතිව විවිධ ප්‍රජා සේවාවන් රැසක්ම ක්‍රියාත්මක කෙරේ.

මෙම ජංගම පොලිස් ස්ථානය විවෘත කිරීම තෙල්දෙණිය කොට්ඨාස I භාර සහකාර පොලිස් අධිකාරී ක්‍රිශාන්ත ජයවර්ධන මහතා අතින් සිදුකෙරිණි. වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර බණ්ඩාර නවරත්න මහතාගේ උපදෙස් මත වත්තේගම පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය මඟින් සංවිධානය කොට තිබුණි.

එහිදී අදහස් දක්වමින් සහකාර පොලිස් අධිකාරිවරයා කියා සිටියේ,

ගමේ තියෙන ප්‍රශ්න, සුළු පැමිණිලි දුරදිග ගිහිල්ලා මරණය දක්වා යන අවස්ථා තියෙනවා. ගමේ මිනිස්සු පොලිසියට ඇති බිය, පොලිසියත් සමඟ ඇති සුහදශීලී භාවය නැතිකම නිසා අපරාධ, දූෂණ වැඩිවෙලා තියෙනවා. ඒ හේතුව මුල්කරගෙන තමයි ගමට පොලිසිය වැඩ සටහන පොලිස්පතිවරයා විසින් ආරම්භකොට තියෙන්නේ.

එම නිසා අද සිට දෛනිකව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයාට සහ එම පොලිස් මුරපොළ භාර නිලධාරින්ට ඔබගේ සහයෝගය ලබාදී එම පරමාර්ථයන්ගෙන් 90%ක්වත් ඉෂ්ටකර ගැනීමට දායක වන ලෙස ඉල්ලා සිටිනවා. මෙම පොලිස් මුරපොළ විවෘත කිරීමේ උත්සවයේ අරමුණ පැහැදිලි කරමින් වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර බණ්ඩාර නවරත්න මහතා කරුණු දැක්වූ අතර, ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරි පොලිස් සැරයන් නවානගේ විශ්‍රාමලත් අධ්‍යාපන නිලධාරි නන්දසේන මුණවීර යන අය ද කථා කළහ.

පාතදුම්බර - යූ. එස්. නිමල්

 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...