වතුපිටිවල මූලික රෝහලේ අපහරණ පද්ධතියේ කොටස් අබලන්

මහර ගණිදු රෝචන සමරතුංග
අපහරණ පද්ධතියේ සමහර කොටස් අබලන්ව පවතින අයුරු

වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ වසර පනහකට පමණ පෙර ඉදිකර ඇති බව කියන අපහරණ පද්ධතියේ සමහර කොටස් අබලන් තත්ත්වයෙන් පැවතීම හේතුවෙන් එම රෝහලේ කාර්ය මණ්ඩලය විවිධ කරදරවලට මුහුණපා සිටිති.

මෙය එංගලන්ත සමාගමක් මඟින් ඉදිකර ඇති අතර මෙහි ක්‍රියාකාරිත්වය සඳහා කිසිදු මුදලක් වියදම් නොවන බව රෝහල් කාර්ය මණ්ඩලය පෙන්වා දෙති. එහෙත් මෙය මේ වනතෙක්ම ක්‍රියාකරන අතර මෙහි පවතින විවිධ කොටස් දිරායාම හේතුවෙන් මෙහි ක්‍රියාකාරිත්වය ඉදිරියට ඇනහිටීමේ අවදානමක් මතුව පවතියි. මේ වනවිට රෝහලේ සමහර ගොඩනැඟිලිවල බිත්ති බොල්වී පුපුරා අබලන් තත්ත්වයෙන් පවතින බව එහි රෝගීහු පෙන්වා දෙති.

කොරනේලියා ගෙන්යේටා බණ්ඩාරනායක ඔබේසේකර මහත්මිය විසින් සිය ස්වාමිපුරුෂයා වන ජේ. පී. ඔබේසේකර මහතා මිය යෑමෙන් පසුව ඔහු සිහිවීම සඳහා මෙම රෝහල 1910 වසරේ ඉදිකර එවකට හිටපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාට පවරා තිබේ. මෙහි විශේෂඥ වෛද්‍යවරුන් දහනවදෙනෙක් ද, ශ්‍රේණිගත වෛද්‍යවරුන් එකසිය පනස්පස් දෙනෙක් ද සීමාවාසික වෛද්‍යවරුන් විසිහතර දෙනෙක් ද හෙද කාර්ය මණ්ඩලය තුන්සිය දහතුන්දෙනෙක් ඇතුළු කනිෂ්ඨ කාර්ය මණ්ඩලය දෙසීයක් පමණ වන බව එහිදී හෙළිවිය.

‍මෙහි සමහර ගොඩනැඟිලි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලේඛනගත කර තිබේ. මීට අමතරව මෙම රෝහල ආරම්භ කළ අවධියේ ඉදිකර තිබූ මෙරට පැරණි ජල ටැංකිය ලෙස සැලකෙන ඉපැරණි ජල ටැංකිය මඟින් රෝහලට අවශ්‍ය පානීය ජල පහසුකම් ලබාදෙති. මෙම රෝහල පිහිටි අක්කර විස්සක පමණ භූමිභාගයේ පොල් ඇතුළු අනිකුත් දුර්ලභ ශාක විශේෂ රැසක් රෝපණය කර තිබෙන අතර, මුල් කාලයේ මෙම රෝහල ආරම්භ කළ කාලයේ සිට මේ දක්වා පැරණි සහ නවීන ගොඩනැඟිලි රැසක් මෙම භුමියේ පිහිටා ඇත. මෙහි ඇඳන් හයසීයක් රෝගීන් සඳහා වෙන්කර ඇති බව එහි කාර්ය මණ්ඩලය පෙන්වා දෙති. මෙම ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනකට රෝගීන් තුන්දහසකට ආසන්න පිරිසක් පැමිණෙන බව එහි ගිය අපට දැනගැනීමට හැකි විය.

වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සිසිර විජේසුන්දර මහතා මෙම රෝහලේ පවතින සම්පත් උපයෝගි කරගෙන මෙය සාර්ථකව පවත්වාගෙන යාමට ඉමහත් සේවයක් ඉටුකරති. ඒ අනුව මෙම රෝහලේ පවතින අඩුපාඩු නිසි පරිදි ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීහු අදාළ අංශවලින් ඉල්ලා සිටිති.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...