කලම්බු මැරතන් 2017 වැඩි කොටස කොළඹට සීමා වෙයි

වර්නන් ගුණසේකර
ෆවුස් මොහොමඩ්
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, ශ්‍රී ලංකා ස්පෝට්රයිසන් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති උදය නානායක්කාර මහත්වරු මාධ්‍ය හමුවේදී. ඡායාරූපය - රුක්මාල් ගමගේ

දෙස් විදෙස් දුර දිවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනින් වාර්ෂිකව සහභාගි වන ‘කලම්බෝ මැරතන්’ තරගයේ වැඩි කොටසක් මෙවර ප්‍රථම වතාවට කොළඹ නගරයට සීමා වනු ඇත.

මේ අනුව මේ තරගයේ කිලෝමීටර් 5 සහ 10 ඉසව් කොළඹ නගරය තුළ පැවැත්වෙනු ඇත.

මීට අමතරව ප්‍රධාන තරගයේ ද මෙවර වෙනසක් සිදුකර තිබේ. මීට පෙර මීගමුවෙන් අවසන් වූ තරගය මෙවර අවසන් කෙරෙනු ඇත්තේ දුන්ගාල්පිටියෙනි.

ජාත්‍යන්තර මැරතන් ධාවන ක්ෂේත්‍රය තුළ ඉමහත් ජනප්‍රියත්වයට පාත්‍රවී ඇති ‘කලම්බෝ මැරතන්’ තරගය 17 වැනි වරටත් ලබන ඔක්තෝබර් මාසයේ දෙවැනි සතිඅන්ත ඉරිදා දිනය වන 8 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසළින් (බී.එම්.අයි.සී.එච්) ආරම්භ කිරි‍්මට නියමිතය.

‘විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාව තෝතැන්නකි’ යන පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යමින් මේ ‘කලම්බෝ මැරතන්’ තරගය සංවිධානය කරන්නේ ජලාශ්‍ර හා ස්වභාසෞන්දර්ය ආශ්‍රිත ක්‍රීඩාවන් පැවැත්වීමෙන් ජනාධිපති සම්මාන දිනා ගත් ‘ලංකා ස්පෝට්රයිසන්‘ ආයතනයයි. මේ තරගයට අමතරව ‘ශ්‍රී ලංකා T-Cup’ ජාත්‍යන්තර පාපැදි තරගය, ‘රම්බ්ල් ඉන් ද ජංගල්’ කඳු නැගීමේ පාපැදි තරගය, ‘විටෙල් ඇමසන්‘ වීරක්‍රියා අභියෝගය, ඔස්ට්‍රේලියානු සර්ෆින් ප්‍රමුඛතමයන්ගේ WQS සර්ෆින් තරගාවලිය හා ‘ශ්‍රී ලංකන් ගොල්ෆ් ක්ලැසික්’ තරග සංවිධාන කරන්නේද ‘ලංකා ස්පෝට්රයිසන්’ ආයතනයයි.

මෙවර ‘කලම්බෝ මැරතන්’ තරගයට දෙස්විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දසදහසකට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි තරගය පිළිබඳ පෙරේදා පස්වරුවේ ඔලිම්පික් නිවහනේ පැවැති මාධ්‍ය හමුවේදී ‘කලම්බෝ මැරතන්’ තරගයේ නිර්මාතෘ සහ එහි සංවිධායකයන් වන ලංකා ස්පෝට්රයිසන් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ (IAAF) මැරතන් සහ දිගුදුර ධාවන තරග සංගමය (AIMS) යටතේ ලියාපදිංචි වූ එකම ශ්‍රී ලාංකික මැරතන් ධාවන තරගය වන ‘කලම්බෝ මැරතන්’ තරගය එහි සාමාජික රටවල් 110ක් අතරින් ඡන්ද හිමි රටවල් 56න් 54 වැනි සාමාජිකයා බවට පත්වී තිබේ.

සුපුරුදු පරිදි උදෑසන 6.00 ට ආරම්භ වන ‘කලම්බෝ මැරතන්’ තරගය ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය විසින් සම්මත කරනු ලැබූ නවතම ධාවන මාර්ගය වන බෞද්ධාලෝක මාවත, ආර්.ජී.සේනානායක මාවත, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, හෝර්ට්න් පෙදෙස, කොල්ලුපිටිය ශ්‍රී ජයවර්ධනපුර පාර, ශ්‍රීමත් මාකස් ෆර්නැන්ඩස් මාවත, ඇල්බර්ට් චන්ද්‍රවංකය, නිදහස් පටුමග, ෆිලිප් ගුණවර්ධන මාවත, තුන්මුල්ල හන්දිය, බෞද්ධාලෝක මාවත, ජාවත්ත පාර, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාවත, ටොරින්ටන් පටුමග, බෞද්ධාලෝක මාවත, මේට්ලන්ඩ් පෙදෙස, නිදහස් පටුමග, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, මේට්ලන්ඩ් පෙදෙස, විද්‍යා මාවත, විජේරාම මාවත, බෞද්ධාලෝක මාවත, බොරැල්ල කනත්ත හන්දිය, බේස්ලයින් පාර, පෑලියගොඩ නවලෝක වටරවුම, මීගමුව-කොළඹ පාර, හේකිත්ත හන්දිය, හේකිත්ත පාර, ඇල පාර, බෝපිටිය පාර, පමුණුගම පාර ඔස්සේ දුන්ගාල්පිටියට පැමිණ අවසන් වෙයි. තරගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 42.195කි.

කිලෝ මීටර 5 දිවීම හා කිලෝ මීටර 5 පාසල් විනෝද දිවීමේ තරග බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසලින් ආරම්භ වී බොරැල්ල හන්දිය, ආර්.ජී.සේනානායක මාවත, මේට්ලන්ඩ් පෙදෙස හරහා පැමිණ පැරණි තුරඟ තරග පිටියෙන් අවසන් වන අතර කිලෝ මීටර 10 තරගය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසලින් ආරම්භ වී කිලෝ මීටර 5 තරග මෙන්ම තුරඟ තරග පිටියට පැමිණ ඉන්පසුව රාජකීය විදුහල, තුන්මුල්ල හන්දිය, බෞද්ධාලෝක මාවත, ජාවත්ත පාර ඔස්සේ නැවත තුරඟ තරග පිටියට පැමිණ අවසන් වීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා පොලීසියේ සහයෝගිතාව මැද පැවැත්වෙන මෙවර තරගයට රුපියල් මිලියන 24.2කට ආසන්න මුදලක් වැය වනු ඇතැයි මාධ්‍ය හමුවේදී වීරසිංහ මහතා සඳහන් කළේය. එම මුදලින් රුපියල් මිලියන 2.5ක මුදලක් තරගයේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වෙන් කෙරෙනු ඇත.

ක්‍රීඩා ක්ෂේත්‍රය තුළින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් ‘කලම්බෝ මැරතන්’ තරගය පළමුවරට ජාතික ක්‍රීඩා කැලැන්ඩරයට ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි ප්‍රධාන ආරාධිතයා ලෙස මාධ්‍ය හමුවට සහභාගි වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

‘අපේ රටේ දැන් ක්‍රීඩා ආර්ථිකයක් බිහිවෙමින් තිබෙනවා. ජාත්‍යන්තරය තුළ තිබෙන වැදගත් ක්‍රීඩා ඉසව් ගණනාවක් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරමින් පැවැත්වෙමින් තිබෙනවා. පසුගිය දිනවල දකුණු ආසියානු පිහිනුම් ශූරතාවලිය, දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය අපේ රටේ පැවත්වුණා. කලම්බෝ මැරතන් තරගය මෙවර පැවැත්වෙන්නේ 17 වැනි වතාවටයි. එය මෙරට සංචාරක ව්‍යාපාරය හා බද්ධවුණු තරගයක් ලෙසයි මා දකින්නේ.’ අමාත්‍යවරයා කීවේය.

කලම්බෝ මැරතන් තරගය සඳහා සහභාගිවීමට දැනටමත් අයැදුම්පත් 4000ක් පමණ ලැබී ඇත. තරගයට ලියාපදිංචි වීමේ අවසන් දිනය මේ මස 20 වැනිදාය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති උදය නානායක්කාර, ශ්‍රී ලංකන් ගුවන් සේවා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත, බස්නාහිර පලාත් මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ හා ‘ලංකා ස්පෝට්රයිසන්’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඩී.කේ.ආර්.ධර්මපාල යන මහත්වරුද මෙහිදී කතා කළහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...