සාක්ෂි නැත!

රතුපස්වල සිද්ධිය කළු පැල්ලමක් ලෙස මෙරට දේශපාලන ඉතිහාසයෙහි සටහන් ව තිබේ. එය පොදු ජන මනසින් ගලවා ඉවත් කිරීම කළ නොහැකි දෙයකි. ආණ්ඩුව මේ සිද්ධියේ දී හැසිරුණු ආකාරයද, හමුදාව ක්‍රියා කළ ආකාරය ද ජාත්‍යන්තර ආයතනවල පවා අවධානයට ලක් විය. පිරිසුදු ජලය ඉල්ලා විරෝධතාවක යෙදුණු ජනතාවට සිදුවූයේ ජීවිතයෙන් වන්දි ගෙවන්නට ය. සිද්ධිය නිසා ජීවිත තුනක් අහිමි විය. විශාල පිරිසක් තුවාල ලැබූහ. ජනමාධ්‍යවේදීන්ට පවා එළව - එළවා පහර දෙනු ලැබිණි. මානව හිමිකම් කඩකිරීම, උද්ඝෝෂකයන් ඝාතනය කිරීම, විශාල පිරිසකට තුවාල සිදුකිරීම හා වාර්තාකරණයට බාධා සිදු කිරීම යන චෝදනා එදා ආණ්ඩුවටත්, හමුදාවටත් එරෙහිව ඉදිරිපත් විය.

මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් හා හමුදා පරීක්ෂණයක් ද සිදු විය. දැන් ඊට අදාළ නඩු විභාගයක් ද පවතී. නඩු විභාගයේදී හෙළිදරව් වන ඇතැම් කරුණු දෙස බලන විට රටේ නීතිය ගැනත්; එම නීති පවත්වාගැනීම සඳහා ක්‍රියාත්මක වන ආයතන ගැනත් පුදුම සිතෙයි. පසුගිය දා පැවැති නඩු වාරයක දී රහස් පොලිසිය කියා ඇත්තේ මේ නඩුවට අදාළ සාක්ෂි විනාශ කර ඇති බව ය. නැතහොත් විනාශ වීමට ඉඩ හැර ඇති බව ය. එම චෝදනාව එල්ලවන්නේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු කළ පොලිස් ස්ථානයට හා ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට ය. අදාළ නිලධාරීන් පරීක්ෂණ නිසි ලෙස මෙහෙයවා නැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මතය වේ.

රතුපස්වල වෙඩි තැබීම හා පහරදීම සිදුවූයේ 2013 අගෝස්තු 01 දා ය. උද්ඝෝෂණයට වැලිවේරිය ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් දහයක ගම්මු එකතුවී සිටියෝ ය. ‍මේ හැරෙන්නට, දේශපාලකයන්, විවිධ සංවිධානවල නියෝජිතයන් හා මාධ්‍යවේදීන් අදාළ අවස්ථාවට ඒකරාශී වූ බව රහසක් නොවේ. කලබලයෙන් එනම්; පහරදීමෙන් පසු පිරිස විසිර ගිය අතර පසුව ‍බොහෝ දෙනෙක් පොලිසියට කටඋත්තර ලබා දුන්හ. ඒවා ඇසින් දුටු සාක්ෂි ලෙස හැඳින්විය හැකි ය. ‍මේ හැරෙන්නට නඩු භාණ්ඩ ද එහි තිබිය යුතුය. හමුදාවේ වෙඩි තැබීම්වලට හා පහරදීම්වලට අදාළ නඩු භාණ්ඩ තිබිය යුතු ය. අප දන්නා හැටියට ද, රහස් පොලිසියේ ප්‍රකාශවලට අනුව ද දැන් මේ කිසිවක් දකින්නට නැත. ඒවා අතුරුදන් වූයේ ද යන්න ‍සොයා බැලිය යුතු ය.

මෑතකදී විමර්ශනයට ගත් බොහෝ නඩුවලට අදාළ වැදගත් සාක්ෂි අතුරුදන් වී තිබේ. තාජුදීන් නඩුවට සම්බන්ධ වැදගත් සාක්ෂි ගණනාවක් ද මෙලෙස අතුරුදන් වී ඇත. තවත් නඩු ගණනාවකට අවශ්‍ය සාක්ෂි අතුරුදන් වී ඇතැ’යි ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. නිලධාරින් ඇතැම් තොරතුරු ලබා දෙන්නේ නැත. සමහර ලිපිගොනු ආයතන තුළදී අතුරුදන්වීම පුදුම සහගත ය. නීතිපති දෙපාර්තමේන්තුවට පවා මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ. පොලිස් දෙපාර්තමේන්තුව මෙබඳු චෝදනා ලබන තවත් ආයතනයකි. නඩු විභාග සාධාරණ වීමට මෙන් ම ඒවා කාර්යක්ෂම ලෙස අවසන් කිරීමටද සාක්ෂි අවශ්‍ය වේ.

අපරාධ සිද්ධියක සාක්ෂි අතුරුදන් කිරීම හෝ ඒවා විනාශ වීමට ඉඩ හැරීම හෝ සුළු සිද්ධියක් ලෙස සැලැකිය නො හැකිය. ර‍ටේ ආන්දෝලනාත්මක සිදුවීම් පසුපස ඇති දේශපාලනයත් මේ මඟින් ‍හෙළිදරව් කරගත හැකි ය. අපගේ විෂයයට අදාළ සෑම නඩුවක්ම පාහේ මහින්ද රාජපක්ෂ පාලනයටත්, එම පාලනයේ ප්‍රකට චරිතවලටත් සම්බන්ධ ය. මෙලෙස චෝදනා ලැබූ බොහෝ අය අද උද්දාම‍යෙන් අදහස් දක්වති. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ තවදුරටත් ඔවුන් සැකකාරයන් හා චුදිතයන් පමණක් වීම ය. හොරුන් හා අපරාධකාරයන් වෙනුවෙන් උපරිම දඬුවම් ලබා දිය යුතු යැයි කියන්නේ’ මුත් තවම එය ඉටු වී නැත. එක අතෙකින් අධිකරණ කටයුතු අකාර්යක්ෂම ය . තව අතෙකින් පරීක්ෂණ මන්දගාමී ය. සාක්ෂි අතුරුදන්වීම, තොරතුරු ලබා නොදීම ආදී සාධක ද මේ ක්‍රියාවලියේ එක පියවරක් ලෙස හඳුනාගත හැකි ය.

රටේ පවත්නා ආයතන ගරා වැටෙන්නට පටන්ගෙන ඇත්තේ කාලයක සිට ය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ එය ඉතා තීව්‍ර ලෙසින් සිදු විය. ‍බොහෝ ආයතන ක්‍රියාත්මක වූයේ මහජන අවශ්‍යතා සඳහා නොව; දේශපාලන අවශ්‍යතා සඳහා ය. ඊට අවශ්‍ය නිලධාරීන් හා ආයතන ප්‍රධානීන් එදා දේශපාලන අධිකාරිය විසින් පෙළ ගස්වා තිබිණි. හමුදාව හා ‍පොලිසිය වැනි ආයතන පවා දැඩි ලෙස දේශපාලනීකරණයට ලක් වී තිබිණි. ඇතැම් දේශපාලන සිදුවීම්වලට මේ ආයතන ඍජු ලෙස සම්බන්ධ කර ගැනිණි. රතුපස්වල විරෝධතාව මර්දනය කිරීම සඳහා හමුදාව යොදා ගැනීම ඊට හොඳම නිදර්ශනයක් ලෙස දැක්විය හැකි ය. ලෝකයේ කිසිදු ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයක් මහජන විරෝධතා මර්දනය සඳහා හමුදාව යොදා ගන්නේ නැත.

රතුපස්වල මහජන විරෝධතාව මර්දනය කිරීම සඳහා හමුදාව ක්‍රියා කළ අන්දම ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලදී. විරෝධතාකරුවන්ට ‍වෙඩි තැබීම හා පහරදීම ගැනද හමුදා නිලධාරීන් එම අවස්ථාවේ භාවිත කළ වචන ගැන ද මේ වාර්තාවල සඳහන් ය. මහජන උද්ඝෝෂණ වැළැක්වීම සඳහා බරපතළ අවි ආයුධ සහිත හමුදාවක් යෙදවීම ශිෂ්ට සමාජය කිසිසේත් ම අනුමත කරන්නේ නැත.

මේ වැරැද්ද නිවැරැදි කළ හැක්කේ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරී‍මෙන් පමණි. නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම ගැන අන්තර්ජාතික වශයෙන් එල්ල වූ චෝදනා රැසක් ශ්‍රී ලංකාවට ති‍බේ. ඒවා නිවැරැදි කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයන් ද අභියෝගයට ලක් වී ඇති බව පසුගිය කාලය පුරාවට වාර්තාවූ සිදුවීම්වලින් පෙනී යයි. ඝාතන හා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක හමුදාවලට එල්ල වී ඇති චෝදනා ගණනාවක් තිබේ. මේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට දේශපාලන බාධාවන් පවතී. නිලධාරීන්ගෙන් එල්ල වන බාධාවන්ද පවතී. ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදන් කිරීමට අදාළ තොරතුරු අදාළ අංශ වෙතින් ලබා ගැනීමට නොහැකි විය. තවත් බො‍හෝ පරීක්ෂණ මන්දගාමී ‍ලෙස සිදුවෙයි. ‍හේතුව අවශ්‍ය තොරතුරු හා සාක්ෂි නිසි ‍අයුරින් ලබා ගැනීමට නොහැකි වීම ය.

නිලධාරීන් හා ආයතන තවදුරටත් පරණ දේශපාලන අධිකාරි යේ වහලුන් ලෙස ක්‍රියා කරන්නේ නම්; නීතියේ ආධිපත්‍යය ගොඩනැඟීම දුෂ්කර වනු ඇත. රතුපස්වල නඩුවේ සාක්ෂි විනාශ වීමට ඉඩ හැරී‍මෙන් ‍හෝ ඒවා අතුරුදන් කිරීමෙන් හෝ පෙනී යන්නේ අපරාධ සිදුවීම් යටගැසීම සඳහා බලවත් ප්‍රයත්නයක් ක්‍රියාත්මක වන බවය . ආණ්ඩුව ‍මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ගයක් ගත යුතුව තිබේ. එසේ නොවුණහොත් තවත් වැදගත් දේවල් අතුරුදන්වීමට ඉඩ තිබේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...