ලොව පස්වෙනියා ශ්‍රීලංකන් | දිනමිණ

ලොව පස්වෙනියා ශ්‍රීලංකන්

මදාරා මුදලිගේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගම Flightstats.com විසින් සිදු කළ නවතම සංඛ්‍යා ලේඛන වලට අනුව , ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කරන ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සමාගම් 40 අතරින් 5 වන ස්ථානයට හිමි කර ගෙන තිබේ.

මෙම වසරේ පළමු මාස හය තුළ අනිකුත් සමාගම් සමඟ සැසඳීමේ දී ස්ථාවර විශිෂ්ට තත්වයේ කාර්ය සාධනයක් වාර්තා කර ඇත. Flightstats නිරීක්ෂණ අනුව ශ්‍රීලංකන් ගුවන් යානා නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් සිදු කිරීමේ ප්‍රතිශතය 86.49% වන අතර අනෙකුත් ගුවන් සමාගම් 40 හි සාමාන්‍ය ප්‍රතිශතය වන 78.33% හා සැසඳීමේ දී එය ධනාත්මක වර්ධනයකි. මැද පෙරදිග, යුරෝපය, ඈත පෙරදිග, ඕස්ට්‍රේලියාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව සහ දකුණු ආසියාව වැනි ප්‍රධාන පෙලේ ගුවන් සේවා බොහොමයක් එයට ඇතුළත් වේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මෑතකදී ලෝක සංචාරක සම්මාන උළෙලේ දී "ඉන්දියන් සාගර කලාපයේ මෙහෙයුම් කටයුතු සඳහා ලොව ප්‍රමුඛතම ගුවන් සේවය" සඳහා සම්මාන රැසක් දිනා ගත්තේය. ශ්‍රීලංකන් ගුවන් සමාගම සිංගප්පූරුවේ දී පැවැත්වූ 2016 Future Travel Experience Asia සම්මාන උළෙලේ දී මධ්‍යම සහ දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම සමස්ත සේවා සපයන ගුවන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ගුවන් සමාගම විසින් අතිනවීන එයාර්බස් ගුවන් යානා වන A320neo, A321neo සහ A330-300 මෙහෙයුම් සිදුකිරිම සඳහා යොඳවා ඇති අතර සංචාරකයින්ට නවමු ගුවන් ගමනක අත්දැකීම ලබාදීමට ද ගුවන් සමාගම කටයුතු කර ඇත. ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ගමන් ජාලය රටවල් 47 ගමනාන්ත 104 දක්වා ව්‍යාප්ත වී ඇත.

වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් ගමන් ජාලයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් ශ්‍රීලංකන් ගුවන් මගීන්ට වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හා එක්ව රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ගුවන් ගමන් සිදුකිරීමේ අවස්ථාව හිමිවී ඇත.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේ ශ්‍රීලංකන් කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම කාර්ය සාධනය පිළිබඳව අතිශයින් සතුටට පත්වන බවයි.

 එසේම එවන් ස්ථාවර හා දිගුකාලීන සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා වෘත්තීය මට්ටමේ වෘත්තීය කුසලතාවයන් අද්විතීය මට්ටමින් ඉහළ නංවා තිබෙන බවද හෙතෙම පැවසීය. “මෙම උත්සහය නිසා අපගේ පාරිභෝගිකයින්ට වාසි බොහෝමයක් අත්වෙන බවත් ශ්‍රීලංකන් ගුවන් සමාගම නියමිත වේලාවට සිය මෙහෙයුම් කටයුතු කිරීම පිළිබදව ඔවුන් අතිශය සතුටට පත්වන බවට තමන් විශ්වාස කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

නව අදහස දක්වන්න