දකුණුලක සයුරු තෙර සිහින පාරාදීසය | දිනමිණ

දකුණුලක සයුරු තෙර සිහින පාරාදීසය

බුද්ධිකා  බ්‍රාහ්ම­ණගේ 

ඈතින් ඇසෙන මුහු­දෙහි හෝ හඬට මුසු වූ මුහුදු සුළඟ ගත දැව­ටෙ­මින් සිතට ගෙන එන්නේ‍ ­සැ­බ­වින්ම ආන­න්ද­යකි. නිරු­වත් දෙපා මතින් සයු­රු­තෙර වැල්ලෙහි අපි ඇවි­දීමු. වැල්ලෙහි  ඇවි­දින පිරිස් මෙන්ම බීචි වොලි­බෝල් ක්‍රීඩාවේ නිරත පිරි­සකි.

 බිංකළුවර අහවරවී නැත, හාත්පස තෙතබරිතය. මිහිඳුම් වළාවන් නිසා ඈත සිතිජය මෙන්ම මෑත සයුරු තෙරද තවමත් අපහැදිළිය. මිහිඳුම් තිමිර පටලය ඉරන්නට වෙරදරන හිරු නැ‍ඟෙනහිර අහසේ සිය රත්තවර්ණ සේලය උනා දමන්නට සැරසෙන සැටි සෙමින් නිරීක්ෂණය කරන විට හඳුනා ගත හැකිය.

දැන් දැන් මීඳුම කෙමෙන් පහවී ගොසිනි. ඈත සිතිජයෙන් කෙමෙන් ධීවර බෝටිටු එකකට පසු තවත් එකක් වශයෙන් මතුවෙයි. නැ‍ඟෙනහිර අහසේ රත්තවර්ණය කෙමෙන් වැඩිවී සිතිජය මතින් අඩකවයක් සේ හිරු අහසට එබෙයි. ඒ හිරු කිරණ සයුරු දියමත රත්තවර්ණ සෙවනැලි ඇද ඇත්තේ නෙතට නිම් හිම් නොමැති ආනන්දයක් ගෙන එමිනි.

අහුන්ගල්ල කඩපොළ තවමන් නින්දේය. ගාලුකොළඹ පාර දෙපස කඩසාප්පු විවෘත වීමට තවත් හෝරා කීපයක් පසුකළ යුතුය. එහෙත් උදෑසනින් විවෘත කිරීමට පුරුදු තේ කඩයක් දෙකක් තැන තැන විවෘතව ඇත්තේ ධීවර ජනයා වෙනුවෙනි. කඩපොළ පසුකර මදදුරක් ගිය තැනයි අපගේ අද දවසේ ගමනේ නිමිත්ත වෙත ප්‍රවේශ විය හැක්කේ.

කොළඹ සිට පැමිණෙන විට පාරේ දකුණු පසින් දැවැන්තව නැඟී සිටින පස්මහල් RIU හෝටල් සංකීර්ණය දැක ගත හැකිය. RIU හී සංකේතය ඔටුන්නයි. සැබවින්ම දකුණු සයුරුතෙර පළඳවන ලද රාජකීය ඔටුන්න RIU බව අත්දැකීමෙන් පසක් කර ගත් බව නොකියාම බැරිය. RIU හී දිනක් ගත කිරීම සයුරුතෙර සොබාදහම විඳිමින් ජීවිතය විඳින්නට ලැබෙනා අපූර්වතම අවස්ථාවකි.

අප එහි ප්‍රවේශ වන විටත් අප පිළිගැනීමට සුහඳව දෙපාර්ශ්වයක් සූදානමින් සිටියේය. පළමුව අප පිළිගැනීමට පැමිණියේ සිහින් හිරිපොද වැස්සකි. එහි සීතල පහසින් මිදී හෝටල් සංකීර්ණයේ පිළිගැනීමේ කවුන්ටරය වෙත ප්‍රවේශවීමේ දී අප තුළ පැවැති චකිතය නිමා කරමින් සුහද සේවාවකට සැදී පැහැඳුනු ආචාරශීලී සහෘදයන් පිරිසක් අතරට පැමිණි බවක් හැඟිනි.

සයුරු තෙරට මුහුණලා නිර්මාණය කර ඇති පස්මහල් හෝටල් සංකීර්ණයක් වන RIU හී හැඩය තමක් දුරට හෝ සමාන කළ හැක්කේ ඉංග්‍රීසි හෝඩියේ ඊ අකුරටය. ඊ අකුරේ මැද ඉර අමතක කළ විට RIU හී හැඩය මනසට න‍ඟා ගත හැකිය. දැනට ශ්‍රී ලංකාවේ ඇති කාමර 500 කින් යුතු කොළඹ නගරයෙන් පිටස්තරව පිහිටි එකම තරු පහේ හෝටලය වන RIU හී ගෘහ නිර්මාණයේ දී විශේෂ යෙන්ම සැලකිලිමත් වී ඇත්තේ සයුරු තෙර දසුන, සුළඟ එහි හඬ වඩාත් සමීපව විඳ ගැනීමට හැකි වන අන්ඳමින් එහි අංග නිර්මාණය කිරීමටයි. ඒ අනුව කාමරවල වටිනාකම් මෙන්ම මිල ගණන් තීරණය වීමේ දී කාමරයට පෙනෙන මුහුදේ දසුන පිළිබඳව විශේෂයෙන් සලකනු හඳුනා ගත හැකියි.

ස්පාඤ්ඤයට අයත් හෝටල් සමාගමක් වන RIU හෝටල් ජාලයේ පළමු වැන්න ආරම්භ කර ඇත්තේ 1953 දී මැලැක්කා හීදීයි. විශාලත්වය අතරින් ලොව තිස්වන තැන හිමිකර ගන්නා RIU ජාලය ඊටම ආවේණික සත්කාරක අනන්‍යතාවක් හිමි කර ගත් සුහද, මිත්‍රශීලී, යුරෝපියානු සංස්කෘතිය සුරකින දේශීය සංස්කෘතිය බැහැර නොකරන අන්දමේ හෝටල් ජාලයකි.

අහුන්ගල්ලෙහි පිහිටි RIU ආරම්භ වූයේ 2016 වසරේදීයි. RIU වෙත පැමිණෙන කෙනකුට තම අවශ්‍යතාවනට සරිලන අන්දමේ සේවාවක් තෝරා ගැනීමේ පහසුකම් සලසා ඇති බව පවසන්නේ එහි සාමාන්‍යාධිකාරී නන්දන ජයසූරිය මහතායි.

RIU හී සපයා ඇති පහසුකම් භුක්ති විඳීමේ දී ප්ලැටිනම්, රන්, රිදී, වශයෙන් පාරිභෝගික සේවාව වර්ගකිරීමකට ලක්කර තිබේ. ඒ අනුව ප්ලැටිනම්, වර්ගයේ පාරිභෝගිකයකුට හෝටලය තුළ දිනක් ගත කිරීමේ දී ආහාර අතිසුඛෝපභෝගී කාමර පහසුකම්වලට අමතරව , RUFIT, ජිම් ,Renava-Spa and wellness පහසුකම්, Gym and whirlpool bath ආදිය මෙන්ම රන් පාරිභෝගිකයන්ට දිනය තුළම හිමි වන බාර් පහසුකම් සුවිසල් නාන තටාක තුනක පහසුකම් මෙන්ම Flamingos-poolside Bar with Swim up Bar, පහසුකම් මෙන්ම සෑම මට්ටමකම පාරිභෝගිකයන්ට හිමි වන ළමයින් සඳහාම වෙන්වුණු වර්ග මීටර් 75 කින් යුතු නාන තටාකය මෙන්ම ,Riuland-Kids Clab පහසුකම් මෙන්ම සෑම රාත්‍රියකම දර්ශනය කෙරෙන විශේෂ නාට්‍ය හා විනෝද ප්‍රාසාංගික සංගීත හා නාට්‍යමය වැඩසටහන් මෙන්ම, සයුරු තෙර විවේකීව මෙන්ම ක්‍රීඩාමය අත්දැකීම් විඳගැනීමට අවස්ථාවන් ද සලසා තිබේ.

මේ වර්ග කිරීම හුදෙක් සත්කාරක සේවාවේ පහසුව පිණිසමය, කේවලව මෙන්ම යුවලක් වශයෙන්, පවුලක් වශයෙන් මෙන්ම කණ්ඩායමක් වශයෙන් පැමිණ අපූර්වතම අත්දැකීමක් විඳ ගැනීමට RIU සැබවින්ම සොඳුරුතම නිදහස් නැවුම් පාරාදීසයකි. වෙහෙසකාරී දිවියට විරාමයක් තබමින් වෙනසක් අපේක්ෂා කරන කෙනකුට RIU වෙත පැමිණ දිනක් වුව ගත කිරීම ප්‍රමාණවත් බව හැඟෙනුයේ එය සොඳුරුතම මතක ඉතිරි කරනා තෝතැන්නක් වන බැවිනි.

RIU හී තම මංගල රාත්‍රිය ගත කිරීමට පැමිණෙන මනාල යුවල සඳහාම වෙන් කෙරුණු කාමර කීපයක්ම ඇත. ඒවා තුළ නාන කාමර, නාන බේසම් ආදිය නිර්මාණය කර ඇත්තේ විවෘතවය. බටහිර අහසින් හිරු බැස යන සොඳුරු දසුන අතරින් ප්‍රේම ආලිංගනයකට මනස උද්ධීපනය වන අන්දමින් නිමවා ඇති මේ පෙම්වතුන් වෙනුවෙන්ම වෙන් වූ කාමර අති සුඛෝපභෝගීය සොඳුරුය. මනසෙහි සැහැල්ලුව, නිදහස් බව ඇති කිරීමට සමත්ය.

ඈතින් ඇසෙන මුහුදෙහි හෝ හඬට මුසු වූ මුහුදු සුළඟ ගත දැවටෙමින් සිතට ගෙන එන්නේ‍ සැබවින්ම ආනන්දයකි. නිරුවත් දෙපා මතින් සයුරුතෙර වැල්ලෙහි අපි ඇවිදීමු. වැල්ලෙහි ඇවිදින පිරිස් මෙන්ම බීචි වොලිබෝල් ක්‍රීඩාවේ නිරත පිරිසකි. RIU හී විවේකයෙන් පසුවන විදේශික සංචාරකයන් කීපදෙනකු ක්‍රීඩාවේ නිරතව සිටින්නේ හෝටල් සේවකයන් සමඟිනි. මේ සේවකයන් සැදී පැහැදී සිටින්නේ පාරිභෝගිකයන්ගේ විනෝදය සතුට සැහැල්ලුව විවේකය සඳහා සහාය දීම වෙනුවෙන්මය. මේ අතර හුදකලාව සිතුවම් අඳින පිරිස් සේම... නාන තටාකය අසල බීම හල අසල තම පාරිභෝගිකයන් සමඟ නොයෙක් අන්දමේ යුගල ක්‍රීඩාවන්හි නිරත ක්‍රීඩා සහායක RIU සේවකයන් දැක ගත හැකි විය. රාත්‍රියේ නැටුම් ගැයුම් වැයුම් ඉදිරි පත් කරමින් සැම තුටු කරනුයේත් එම සේවකයන් විසින්මය.

රියෝ පිළිබඳව සිහි කිරීමේ දී එහි ආහාර පිළිබඳව නොකියාම බැරිය. Riti Panna එහි ප්‍රධාන භෝජනාගාරයේ නමයි. පුද්ගලයන් 800කට පමණ එක වර ආහාර ගැනීමේ හැකියාවක් එහි ඇත. මීට අමතරව, Ceylon, Kaori-Asian restaurant, La Forchetta-Italian restaurant, Sauta-Beach restaurant භෝජනාගාර කීපයකි. හෝටලයේ සිටින පාරිභෝගික පිරිසට අනුව ඒවායේ සේවා සැපයෙයි. එදින RIU සිටි පිරිසට අනුව උදෑසන මෙන්ම දහවල් ආහාර සූදානම් කර තිබුණේ Kaori-Asion restaurant හීයි. දිනපතා දවසේ විශේෂ ආහාර වේලක් එහි හඳුන්වාදීම විශේෂත්වයක් වී තිබිණි. එසේම නිරතුරුවම දේශීය ආහාර සඳහා විශේෂ තැනක් එහි හිමිවී තිබිණි. විවිධ ආහාර වර්ග, මස් වර්ග, එළවළු වර්ගවලින් පිසින ලද නැවුම් ප්‍රනීත ආහාර මෙන්ම අතුරු පස හා පලතුරු ආදියෙන් සකස් කරන ලද රසවත් ආහාර යුරෝපීය ආහාරවල රසවත් බවත් දේශීය හා ආසියානු ආහාර රටාවන්ගේ අාභාෂයත් ඇතිව සැකසී පැවතිණි. ඒ රසය ඉහළට එසවීමට ආචාරශීලී සත්කාරය මහත් රුකුලකි. අනෙකුත් හෝටල්වල නොමැති රියෝ සඳහාම විශේෂ අංග කීපයකි. ඒ අතර රාත්‍රී ආහාරය සඳහා පිවිසීමේ දී සම්පූර්ණ ඇඳුමින් යුතුව සිටීම මූලික කරුණකි. එමෙන්ම RIU හි රාත්‍රියක් ගත කිරීම යනුවෙන් සඳහන් කෙරෙන්නේ උදේ, දවල්, රාත්‍රී ආහාර වේල් තුනක් සඳහා හිමිකමක් ලබා ගැනීමකි. රාත්‍රියක් යනුවෙන් RIU සලකනුයේ දිනයක් වශයෙන් වීම එහි විශේෂත්වයයි.

‍RIU හෝටල් ජාලය මෙරටට පැමිණිම මෙරට සංචාරක කේෂේත්‍රය අත්කරගත් ජයග්‍රහකවක් ලෙසයි ආර්ථික වි‍ශ්ලේශක මතය වූයේ . RIU හී සාමාන්‍යාධික‍ාරී ‍වන්නේ ශ්‍රී ලංකිකයෙකි.හෝටල් කේෂේත්‍රයේ වසර 25 ක පමණ අත්දැකීම් ඇති ඔහු නන්දන ජයසූරියයි. මෙරට හෝටල් කර්මාන්තය පිළිබඳව ඔහු පවසන්නේ මෙසේයි.

“අනාගතයේ අපේ රටේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ සංචාරක කර්මාන්තයයි. ඒසඳහා අප සූදානම් විය යුතුයි. මේ කේෂේත්‍රය සඳහා පුහුණ ශ්‍රමිකයන් හිඟයක් පවතිනවා. අපේ තරුණ තරුණයින් ඉතාමත් දක්ෂයි ඔවුන්ට කඩිනම්න් ඕනෑම දෙයක් පුරුදු පුහුණු වීමේ හැකියාවක් පවතිනවා. විදෙස් වෘර්තිකයින් සමඟ කටයුතු කිරීමේදී ඔවුන් ඉතා ඉක්මනින් ඉගෙන ගන්නවා. ඒ නිසාම අපගේ හෝටලයේ වුවත් විදෙස් සේවකයින්ට වඩා මෙරට සේවකයින්ටයි ප්‍රමුඛස්ථානය ලැබි තිබෙන්නේ. අපේ රටේ සුන්දරත්වය මෙන්ම සංස්කෘතික අන්‍යන්‍යතාව අනාගතය සඳහාත් සුරුකිය හැකිනම් සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වීමේ හැකියාව අප සතුයි. ”

අදහස් 1ක් ඇත

wiswasawantha bawa saha owunata araksawa thahawuru kirima, wiyagaruka wima pilibadawa wagakima rajaya wagakiwa yuthuya me thulin mema wiyaparaya rate diyunuwata mahath rukulak wannoya!

නව අදහස දක්වන්න