අවුරුදු 18න් පහළ සත් සාමාජික පාසල් රගර් ශූරතාව ත්‍රිත්ව විදුහලට | දිනමිණ

අවුරුදු 18න් පහළ සත් සාමාජික පාසල් රගර් ශූරතාව ත්‍රිත්ව විදුහලට

ෆවුස් මොහොමඩ්

විශිෂ්ට තරග රටාවක නිරතවූ ත්‍රිත්ව විදුහල් කණ්ඩායම සාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 22-12කින් පරාජය කරමින් අවුරුදු 18න් පහළ සත් සාමාජික පාසල් රගර් තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනමන සිංගර් කුසලානය අත්පත් කරගත්තේය.

කොළඹ තුරඟ තරග පිටියේදී පෙරේදා නිමාවට පත්වූ මේ තරගාවලියේ කුසලාන වටයේ අවසන් මහා තරගයේ පළමු භාගය අවසානයේ ලකුණු 12-5කින් ඉදිරියෙන් පසුවූ ත්‍රිත්ව විදුහල් පිල තරගය පුරා ගෝලයක් සහ උත්සාහක දිනුම් ත්‍රිත්වයක් රැස් කළ අතර පරාජිත සාන්ත ජෝශප් විදුහල් පිල ගෝලයක් සහ උත්සාහක දිනුමක් රැස් කළේය.

අවසන් තරගයේ ආරම්භයේ සිටම සිය ප්‍රතිවාදීන් ඇද බැඳ තබාගත් ත්‍රිත්ව විදුහලට පළමු උත්සාහක දිනුම ලබාදීමට නායක වොරන් වීරකෝන් සමත්විය. තරගයේ තුන්වැනි මිනිත්තුවේදීම වාර්තා වූ මේ උත්සාහක දිනුම ප්‍රභාත් විමල් ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු 7-0කින් පෙරමුණ ගැනීමට ත්‍රිත්ව විදුහල සමත්විය. එහෙත් ඊළඟ මිනිත්තුවේදී ත්‍රිත්ව විදුහල් පිලේ නායකයා නීතිවිරෝධි ක්‍රීඩා රටාව මත කහ කාඩ් පතෙන් දඬුවම් ලබා පිටියෙන් ඉවත්වීමට සිදුවිය. ඒ වනවිටත් එවැනිම වරදකට හසුවී ත්‍රිත්ව විදුහලේ අමිත් කුලතුංග කහ කාඩ් පතෙන් දඬුවම් ලබා පිටියෙන් ඉවත්වී සිටි බැවින් ක්‍රීඩකයන් 5 දෙනකු දක්වා අඩුවූ ත්‍රිත්ව විදුහල් පිලේ පසුබෑමෙන් උපරිම ඵල නෙලා ගත් සාන්ත ජෝශප් විදුහල් පිලේ නිහාන් පෙරේරා උත්සාහක දිනුමක් තබමින් සිය කණ්ඩායමට ලකුණු 5ක් ගෙනදුන්නේය. එහෙත් පළමු භාගය නිමාවට පෙර නැවත පිටියට පිවිසි අමිත කුලතුංග අනගි උත්සාහක දිනුමක් තබමින් ත්‍රිත්ව විදුහලේ පිලේ ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ දැමුවේය.

දෙවැනි භාගයේ ආරම්භයේදීම මොහොමඩ් සොයිබ් තැබූ උත්සාහක දිනුමකින් ලකුණු 17-5කින් ඉදිරියට ගිය ත්‍රිත්ව විදුහල් පිලේ ජයග්‍රහණය තහවුරු වූයේ නායක වොරන් වීරකෝන් තැබූ ඔහුගේ දෙවැනි උත්සාහක දිනුමත් සමගිනි. ප්‍රභාත් විමල් එය ගෝලයක් බවට පත් කළේය.

ශ්‍රී ලංකා පාසල් රගර් සංගමයේ සංවිධායකත්වයෙන් සහ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පැවැති මේ තරගාවලියේ පළඟ ශූරතාව ලකුණු 22-12කින් රාජකීය විදුහල පරාජය කළ සාන්ත අන්තෝනි විදුහල දිනාගත් අතර ලකුණු 27-10කින් ලුම්බිණි විදුහල පරදවා බඳුන ශූරතාව අත්කර ගැනීමට විද්‍යාර්ථ විදුහල සමත්විය. පළිහ ශූරතාව දිනාගනු ලැබුවේ ඇහැලියගොඩ මැදි විදුහල් පිල ලකුණු 26-0කින් පරාජය කළ රිච්මන්ඩ් විදුහල් පිල විසිනි. 

 

නව අදහස දක්වන්න