අපේ කාලයේ වීරයෙක් | දිනමිණ

අපේ කාලයේ වීරයෙක්

 කුරුණෑගලින් අසන්නට ලැබෙන මේ කතාව මුළු රටට ම ආදර්ශයකි. කතාවේ සාරය ගෙන බලනවිට මිනිස්කම ගැන ආඩම්බරයක් ද, ජීවත්වීම සඳහා උත්තේජකයක්ද ලැබේ. සැකෙවින් ගත් කල කතාව මෙසේ ය. කුරුණෑගල නගරයට සන්ධ්‍යාව පාත් වෙමින් තිබිණි. නගරය කලබලකාරී ය. එක්තරා වීදියක කලබලයෙන් නිවෙස් කරා ඇදෙන මැදිවියේ පිරිමියෙක් ද, තරුණ කාන්තාවක් ද සිටියහ. කාන්තාව ඉදිරියෙන් ගමන් කළ අතර ඊට අඩි කිහිපයක් පසුපසින් පිරිමියා ගමන් කළේ ය. සැණෙකින් කාන්තාව වෙත ඇදී ආ හැඩි - දැඩි තරුණයෙක් එකවරම තරුණ කාන්තාවගේ මාලය කඩාගෙන විදුලි වේගයෙන් ඉදිරියට දිව්වේ ය.

මෙවන් අවස්ථාවකට මුහුණ දුන් කල අප සිදු කරන්නේ කුමක් ද? අනේ අපොයි කියා හඬාවැටීම ය. නැතහොත් උදවු ඉල්ලා කෑගැසීම ය. එසේත් නැතහොත් කරබාගෙන තමන්ගේ වැඩක නිරත වීම ය. කාන්තාව පසුපසින් ගමන් කළ පුරුෂයා මේ කිසිවක් අනුමත කළේ නැත. ඔහු වහාම හොරා පසුපස ලුහු බැන්දේය. හොරා වෙට්ටු දමමින් දුවන විට පුරුෂයා ද වෙට්ටු දමමින් ඔහු පසුපස හඹා ගියේය. අන්තිමේ කිලෝ මීටර් එක හමාරක් හඹා ගොස් හොරාගේ බොටුවෙන් අල්ලා ගැනීමට පුරුෂයා සමත් විය. රුපියල් 87,000ක් වටිනා මාලය අයිතිකාරියට ලැබිණි. අපරාධ ගණනාවකට සම්බන්ධ සාහසික පුද්ගලයකු ද පොලිස් අත්අඩංගුවට පත් විණි.

බැලූ බැල්මට නම්; මෙය ක්‍රියාදාම චිත්‍රපටයක ආවේගකාරී දර්ශන පෙළක් මෙනි. එහෙත් විමසා බැලිය යුතු සාධක ගණනාවක් මේ දර්ශන පෙළ තුළ තිබේ. කෙටියෙන් කිවහොත් ඉහත කී පුරුෂයා වීරයකු සේ සලකන්නට පුළුවන. ඔහු තමන්ගේ ජීවිතය ගැන පවා නොසලකා මං පැහැරීමක් නතර කර තිබේ. අප ජීවත්වන්නේ අපරාධ සිදුවීම් දැක - දැක දෑස් පියාගන්නා සමාජයක ය. රටේ අපරාධ වැඩිවීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ සමාජය නිද්‍රාශීලී ලෙස හැසිරීම ය. තම-තමන්ගේ වැඩ කටයුතු බලා කියාගෙන සිටින්නට මිනිස්සු පුරුදු වී සිටිති. එය අතිශයින්ම භයානක බව දැනෙන්නේ අපරාධ මේ කියන අය වෙත ද බලපාන්නට පටන් ගත්විට ය. මාල කඩන හොරා අල්ලාගත් තැනැත්තාට වීර පදක්කමක් ප්‍රදානය කළාට වරදක් නැත.

මේ පුද්ගලයා පුවත්පතකට කළ ප්‍රකාශයක ද වැදගත් අදහස් කිහිපයක් තිබේ. අපරාධකාරයා මාලය කඩාගන්නා විට ද, වින්දිත තරුණිය දුටු විට ද තමන්ගේ වැඩිමහල් දියණිය සිහිපත් වූ බව ඉහත පුද්ගලයා කියා ඇත. ඉන් අදහස් වන්නේ අනුන්ගේ කරදරය තමන්ගේ කරදරයක් සේ සලකන්නට ඔහු පුරුදු වී ඇති බව ය. මෙබඳු මනුෂ්‍යයන් සමාජයේ අතිශයින් ම දුර්ලභ ය. ඔහු තවදුරටත් කියා ඇත්තේ මාලය කඩාගත් තරුණයා තමාගේ වයසින් අඩක් පමණ බාල පුද්ගලයකු බව ය. පුරුෂයාගේ වයස අවුරුදු හතළිස් හතක් බව පැවසේ. ඒ අනුව ඔහු පොර බදා ඇත්තේ අවුරුදු විසි ගණනක තරුණයකු සමඟ ය. ඔහුගේ ධෛර්ය ගැන ආඩම්බර විය යුතුය.

ප්‍රසිද්ධ ස්ථානවල මහ දවල් සිදුවන අපරාධ ගැන වාර්තා දිනපතා ම පුවත්පත්වල පළ‍ වේ. මේ අපරාධ වැළැක්වීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. අවම ලෙස අපරාධයක් සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂියක් සපයා ගැනීම ද අපහසු ය. මේ නිසා අපරාධකරුවන් නීතියේ රැහැනට ගැනීම අමාරුම කාර්යයක් බවට පත් වී ඇත. අපේ මිනිස්සු එක අතෙකින් අපරාධකාරයන්ට බිය වෙති. තව අතෙකින් නීතියට ද බිය වෙති. බොහෝ දෙනකුගේ අදහස වන්නේ පොලීසි ගණනේ ද, උසාවි ගණනේ ද රස්තියාදු වීමට තමන්ට කාලයක් නැති බව ය. අපරාධයක් වළක්වාගැනීමට සහාය වීම නැති කරදර ඇති කර ගැනීමක් සේ මිනිස්සු උපකල්පනය කර ගනිති. එය අපරාධකාරයාට හොඳ පසුබිමක් සකස්කර දී ඇතැ’යි කියන්නට පුළුවන.

කෝච්චියේ, බස්රියේ, මහ පාරේ අනන්තවත් අපරාධ සිදුවෙයි. මේවා සිදුවන්නේ සිය ගණනක් මිනිසුන් ඉදිරිපිට ය. එහෙත් කිසිවකු අපරාධයට එරෙහිව නැඟී සිටින්නේ නැත. මිනිස්සු ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම පවා ප්‍රතික්ෂේප කරති. බිය හා අනවශ්‍ය කරදරවලට පටලැවීමේ අකමැත්ත ඊට හේතු වී ඇතැ’යි සිතන්නට පුළුවන. එක අතෙකින් අපරාධකරුවෝ සංවිධානගත ය. තව අතෙකින් සන්නද්ධ ය. මේ නිසා ම ඔවුනට එරෙහිවන්නට සමාජය බිය වෙති. නීති - රීතිවල ඇති සංකීර්ණභාවය නිසා ද, යුක්තිය ඉටුවීමට සෑහෙන කාලයක් ගතවන නිසා ද නීති - පද්ධති ගැන විශ්වාසයක් මහජනයා තුළ නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ අපරාධ ශීඝ්‍රයෙන් වර්ධනය වීම ය. මීට කලකට පෙර දළුගම විශ්වවිද්‍යාලයය අසල දී බස් රථයක ගමන්ගත් තරුණ මහතකුගේ අත් ඔරලෝසුව හොරකු විසින් කඩා ගන්නා ලදි. හොරා ගමන් කරන බස් රථයෙන් බිමට පැන්නේ ය. තරුණයා ද බිමට පැන්නේ ය. හොරා විදුලි වේගයෙන් දිව්වේ ය. තරුණයා ද එම වේගයෙන් හොරා හඹා ගියේ ය. හොරා තරුණයාට පහර දුන්නේ ය. තරුණයාද පෙරළා හොරාට පහර දුන්නේ ය. අන්තිමේ හොරා මෙල්ල විය. හොරා මෙල්ල කළ තරුණයා කැලණිය විශ්වවිද්‍යාල‍යයේ කථිකාචාර්යවරයෙකි. මේ කථිකාචාර්යවරයා අන්තිමේ කියා සිටියේ අප නීතිගරුක නම්; අපරාධවලට එරෙහිව උපරිමයෙන් ක්‍රියා කළ යුතු බව ය. එය ඉතා හොඳ ආදර්ශයකි. නීතිගරුක සමාජය අපරාධ හමුවේ නිහඬ වී සිටීම යුක්ති සහගත නැත. කථිකාචාර්යවරයාගේ කියමන ප්‍රසිද්ධ ස්ථානවල අලවා තැබීම වැදගත් ය.

මීට කලකට පෙර සෑම ගමක ම, සෑම නගරයක ම පාහේ පුරවැසි සංවිධාන පිහිටුවා තිබිණි. මේ සංවිධානවල අරමුණු කිහිපයක් තිබිණි. එක; ප්‍රදේශයේ පොදු කටයුතුවලට සාමූහික ව මුහුණ දීම ය. දෙක; සමාජ ආරවුල් විසඳීම ය. තුන; අපරාධ වැළැක්වීමට ක්‍රියා කිරීම ය. මෙහි එන තුන්වන කාරණය ඉතා වැදගත් ය. කිසියම් ගමක හෝ නගරයක හෝ සිදුවන අපරාධ වැළැක්වීමට ඇති හොඳම ක්‍රමය වන්නේ එම ප්‍රදේශයේ ජනතාව සාමූහික ව ක්‍රියා කිරීම ය. එබඳු සාමූහික සමාජ ඇති ස්ථානවලට අපරාධකාරයන් රිංගන්නේ නැත. කුරුණෑගල අපරාධය වැළැක් වූ තැනැත්තා තැපැල් සේවකයෙකි. ඔහු වැහැර ගමේ පුරවැසි කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකයකු බව ද දැනගන්නට තිබේ.

වැහැර තැපැල් සේවක මහතා අපූරු පෞරුෂයකින් යුතුව සිද්ධියට මුහුණ දී ඇත. මිනිසුන් සමාජයට බිය විය යුතු නැත. විශේෂයෙන් අපරාධ වැළැක්වීමට බිය විය යුතු නැත. ඔහු අපට කියා දෙන පළමු පාඩම එය යි. රට පුරා සුළු - සුළු අපරාධවල වැඩිවීමක් දකින්නට ලැබේ. ගෙවල් බිඳීම්, මාල කැඩීම්, පොකට් ගැසීම් ඒ අතර ප්‍රධාන වෙයි. මේවායින් බියට පත්වන සමාජය පොලීසියට බැණ වදිති. නැතහොත් ආණ්ඩුවට බැණ වදිති. එසේත් නැතහොත් ආර්ථිකය විවේචනය කරති. මේ එකකින්වත් අපරාධ සිදුවීම් අඩුවන්නේ නැත. මීට එරෙහි ව ගත හැකි හොඳම උපාය මාර්ගය වන්නේ සමාජය සාමූහික ලෙස අපරාධවලට එරෙහි වීම ය. ඊට හොඳ උත්තේජනයක් කුරුණෑගල සිද්ධියෙන් ලබාගත හැකි ය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...