හොරු ද !?

හොරුන් පිළිබඳ සංවාදය පවතින්නේ සැලැකිය යුතු කාලයක සිට ය. වත්මන් ආණ්ඩුව බලයට පත් කළ ජනතාවගේ ඉල්ලීමක් බවට පත් ව තිබුණේ මහා පරිමාණ දූෂණ හා වංචාවලට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට පමුණුවා වහා ම දඬුවම් දිය යුතුය යන්න ය. ජනතාව ඒ ගැන බලවත් උනන්දුවකින් පසු වූ බව රහසක් නොවේ. එහෙත් නීතිය ක්‍රියාත්මක වීමේ දී පවතින අඩුලුහුඬුකම් නිසා හැරෙන තැපෑලෙන් හොරුන් අල්ලා ගැනීමට නොහැකි විය. දඬුවම් ලබාදීම ද ඒ අනුසාරයෙන් ප්‍රමාද විය. ජනතාව ඒ ගැන උකටලීව සිටින අතර හොරුන් ද යම් උද්දාමයකින් පසුවන බවක් පෙනෙන්නට තිබේ. අප එසේ කියනුයේ ඇත්ත හොරුන් කවුරුදැ’යි ජනතාව දන්නා නිසා ය.

වත්මන් ආණ්ඩුවේ බලධාරීන් තුළ ම හොරුන් ඇල්ලීම පිළිබඳ විසංවාදයක් පවතින බව පසුගිය කාලය තුළ දක්නට ලැබිණි. එයින් පිට දේශපාලන ව්‍යාපාර තුළද, පුරවැසි සංවිධාන තුළ ද හොරුන් ඇල්ලීම පිළිබඳ සංවාදයක් දකින්නට ලැබේ. මෙයින් පෙනී යන්නේ වංචා, දූෂණ හා අක්‍රමිකතා ගැන වුව නිදහස් අදහස් දැක්වීමට ඉඩක් දැන් පවතින බව ය. වෙනත් අයුරකින් කිවහොත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අදහස් - හුවමාරුවට හා විවේචනයට දැන් ඉඩකඩ ඇති බව පෙනී යයි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ හොරකම් සිදුවුණේ වුව ඒ පිළිබඳ සංවාදයකට ඉඩ - ප්‍රස්ථා තිබුණේ නැත. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ යැයි කිව හැකි ය.

සංවාදය මෙසේ පවතින අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අපූරු ප්‍රකාශයක් කර තිබේ. එනම්; වත්මන් රජය කිසිවිටෙක හොරුන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය නොකරන බව ය. මෙතෙක් සිය දේශපාලන චාරිකාවේදී කිසිදු අයුරකින් දූෂණයකට සම්බන්ධ නොවූ වික්‍රමසිංහ මහතා හඳුන්වන්නේ ‘මිස්ටර් ක්ලීන්’ ලෙස ය. එබඳු නායකයකු පළමු කී ප්‍රකාශය කළ විට එය වඩාත් බලසහිත ය. තව අතෙකින් වහා ජනතාවගේ ආකර්ෂණය දිනා ගන්නාසුලු ය. ආණ්ඩුව හොරුන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවන්නා සේ ම තම පක්ෂය ද හොරකම් පිටු දකින බව අගමැතිවරයා කියා තිබේ. එහි අදහස වන්නේ තම පක්ෂයට අයිති වුව, ආණ්ඩුවට අයිති වුව හොරෙකුට සමාවක් නොලැබෙන බව ය.

මේ සමඟ ජනතාවගේ සිහියට නැ‍ඟෙන්නේ බැඳුම්කර සිද්ධිය යි. එය රටේ ආන්දෝලනයට ලක් වූ විශේෂ සිද්ධියක් ලෙස සැලැකිය හැකි ය. මේ සිද්ධියේදී ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය විමසා බැලීම වැදගත් ය. ආණ්ඩුව අදාළ සිදුවීම යට ගැසීමට උත්සාහ කළේ නැත. පියවර තුනක් ඔස්සේ ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්විණි. පළමු පියවර වූයේ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම ය. දෙවන පියවර වූයේ පොදු ව්‍යවසාය කාරක සභාව ඔස්සේ පරීක්ෂණ පැවැත්වීම ය. එම කාරක සභාවේ නායකත්වය දරන්නේ විපක්ෂ මන්ත්‍රීවරයෙකි. තෙවන පියවර වූයේ ජනාධිපති කොමිසමක් මගින් පරීක්ෂණ පැවැත්වීමය. මේ පරීක්ෂණ තවම අවසන් වී නැත. එය අවසන් වනතුරු සිද්ධිය පිළිබඳ ස්ථාවර මතයක් දැරීම ද අපහසු ය.

පරීක්ෂණ දෙස බලන විට ද, ආණ්ඩුවේ බලධාරීන් ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර දෙස බලන විට ද පෙනී යන්නේ සිද්ධිය දෙස විනිවිදභාවයකින් බලා කටයුතු කිරීමට ආණ්ඩුව උත්සුක වන බවය. ජනාධිපති කොමිසම හමුවේදී ආණ්ඩුවේ ඇමැතිවරුන් ප්‍රශ්න කිරීමේ අයිතිය නිලධාරීන්ට ලැබී තිබේ. විශේෂයෙන් රාජ්‍ය නිලධාරියකු ලෙස නීතිපතිවරයාට එම අයිතිය හිමිවේ. මීට පෙර මෙවන් සිදුවීම් දැකගත නොහැකි විය. මහා පරිමාණ දූෂණ හා වංචා පිළිබඳ කෝප් කමිටුවේ වාර්තා පවා යට ගිය බව අප දන්නා කරුණකි. එදා නිලධාරීන් මෙබඳු ප්‍රශ්න කිරීම්වලට ඉදිරිපත් වූයේ ද නැත. හේතුව පසුව ලැබීමට නියමිත ප්‍රතිඵලය දන්නා නිසා යැයි කිව හැකි ය. රටේ අග්‍රවිනිශ්චයකාරතුමියට එදා අත් වූ ඉරණම බොහෝ දෙනකුගේ මතකයේ ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන අග්‍රාමාත්‍යවරයා කියා ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන මහජන නියෝජිතයකු වුව සාධාරණ හේතුමත මහජනයාගේ සැකයට හා පිළිකුලට ලක්වන්නේ නම් ඔහු හෝ ඇය හෝ ස්වකීය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව ය. අමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය වැනි දියුණු දේශපාලන සංස්කෘතීන් පවතින රටවල මෙබඳු සංසිද්ධි දැකගත හැකි ය. අසල්වැසි ඉන්දියාවෙන් පවා එබඳු ආදර්ශ ලබාගත හැකි ය. බරපතළ දුම්රිය අනතුරක් සිදු වූ අවස්ථාවේ දුම්රිය කටයුතු භාර ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලා අස්විය. ඉන්දියාවේ මේ සංසිද්ධියට වැඩි කාලයක් ගත වී නැත. එබඳු දියුණු දේශපාලන සංස්කෘතියක් අපේ රටේ නැත. අග්‍රාමාත්‍යවරයාගේ අදහස වන්නේ අප එතැනට යා යුතු බව ය.

නීතියේ ආධිපත්‍යය පිළිබඳ කතා කිරීමේ දී අප අද පසුවන්නේ අලුත් තැනක බව කිව යුතුය. වත්මන් ආණ්ඩුව සාධක කිහිපයක් මත බලවත් රටවලද, අන්තර්ජාතික සංවිධානවල ද අවධානය දිනාගෙන තිබේ. පළමු සාධකය වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සමත්වීම ය. දෙවන සාධකය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සමත්වීම ය. තෙවන සාධකය වන්නේ ජාතීන් අතර සමඟිය හා සංහිඳියාව ගොඩනැඟීමට අවංක ප්‍රයත්නයක යෙදීම ය. මේවා රටක් ගොඩනඟන මූලික හේතු - සාධක ලෙස පෙන්වා දිය හැකි ය. ජිනීවා මානව හිමිකම් කොමිසමේ සම්මුති බිඳ හෙළන හා ඒකාධිපති ලෙස ක්‍රියා කරන රාජ්‍යවලට අන්තර්ජාතික සහයෝගය ලැබෙන්නේ නැත.

මේ කරුණු අතරින් ද නීතියේ ආධිපත්‍යය පිහිටුවීම අතිශයින් ම වැදගත් වේ. යුද සමයේ අපරාධ සිදුකළ ආරක්ෂක නිලධාරීන් සම්බන්ධයෙන් වුව පරීක්ෂණ පැවැත්වීමට ආණ්ඩුව අදි-මදි කළේ නැත. නිල ඇඳුමට මුවා වී අපරාධ සිදු කළ හැකි නම්; එතැන නීතියක් නැත. රණවිරුවා වුව නීති සමූහ දෙකකට යටත් බව හමුදාපතිවරයා පෙන්වා දෙයි. එක අතෙකින් රටේ දණ්ඩ නීති සංග්‍රහයට ඔහු යටත් ය. තව අතෙකින් හමුදා නීතියට ද ඔහු යටත් ය. කිසිවකු නිල ඇඳුමට මුවා වී අපරාධ සිදුකර ඇත්නම්; ඔහු තවදුරටත් රණවිරුවකු වන්නේ නැතැ’යි ද හමුදාපතිවරයා කියා සිටී. නීතිය කාටත් පොදුය. එය හරිහැටි ක්‍රියාත්මක විය යුතුය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ ද ඒ ටිකම ය. ඔහුට හොරුන් ආරක්ෂා කිරීමට වුවමනාවක් නැත. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...