රවීට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය බ්‍රහස්පතින්දා | දිනමිණ

රවීට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය බ්‍රහස්පතින්දා

විදේශ කටයුතු ඇමති රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවට කිසිවෙක් විරුද්ධත්වය ප්‍රකාශ කර නොමැති බවත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් කතානායකවරයාගේ තීන්දුව අනුව කටයුතු කළහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) පැවසීය.
 
විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් මේ වනවිට පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගෙන ඇති බවත් ඒ අනුව විනිවිද භාවයෙන් යුතුව කතානායක තීරණය පරිදි කටයුතු කළහැකි බවත් අගමැතිවරයා අවධාරණය කළේය.
 
ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව පිළිබඳව විවාද කරන්නේ කවදාදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කතානායකවරයාගෙන් සිදුකරන ලද විමසීමකට මැදිහත් වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
 
එමෙන්ම එක්සත් ජාතින්ගේ මහලේකම් කාර්යාලය ඉදිරිපිට‍ පැදුරක් දමාගෙන උපවාස කරන ආකාරයට විශ්වාස භංග ගෙන ආ නොහැකි බවත් අගමැතිවරයා පැවසීය.
 
ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව තමන්ට ලැබී ඇති බවත් එම යෝජනාව සම්බන්ධයෙන් ඊයේ උදෑසන පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කළබවත් උද්ගත නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බවත් සඳහන් කළේය.
 
විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා‍ තීරණයක් ලබාදිය හැකි බවත් යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමද ඒ අනුව සිදුවන බවත් කතානායකවරයා සඳහන් කළේය.
 
(ස්වර්ණා විජේකෝන්,රෝෂන් තුෂාර සහ චමීර ඇල්ලදෙණිය)

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...