උතුරේ සිදුවීම්

 අමිහිරි මතකයන් ද, අනියත බිය හා සැකය ද ජීවිතයෙන් අයින් කළ යුතු යැයි බුදු දහමේ සඳහන් ය. එය එක් අතකින් ජීවිතය විඳවීමකට ලක් කරයි. තව අතකින් පුද්ගලයා වැරදි ආස්ථානවලට පමුණුවයි. අමිහිරි මතකයන් අපට වේදනාවක් ගෙන එයි. එම වේදනා ඔස්සේ වෛරය හා පළිගැනීම ගොඩනැ‍ඟෙන්නට පුළුවන.

සාමයට හා සංහිඳියාවට එහි ඉඩක් නැත. අනියත බිය හා සැකය ඊටත් වඩා භයානකය. මේ ඔස්සේ සැලසුම්සහගත ගැටුම් ඇති වන්නට පුළුවන. අසත්‍ය ප්‍රචාර පැතිර යන්නට පුළුවන. කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන්නටත් පුළුවන.

ඉහත පූර්විකාව ලියා තැබුයේ උතුරේ ඇතැම් සිදුවීම් ඇසුරුකොටගෙන ද ඉහත කී ආකාරයේ සන්දර්භයක් ගොඩනැඟෙමින් පවතින නිසාය. උතුරේ සමහර සිදුවීම් දකුණ තුළ ප්‍රචාරය වන්නේ තවත් යුද්ධයක්, නැතහොත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් අත ළඟය කියන ආකාරයෙන් ය. උතුරේ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් නිරවද්‍ය වැටහීමක් බොහෝ දෙනෙකුට නැත. දේශපාලකයන් පවා උක්ත සිදුවීම් පිළිබඳ වැරදි අර්ථකථන සපයනු දක්නට ලැබේ.

ඇතැම් නිලධාරීහු ද එබඳු අර්ථකථන සමාජගත කරති. බොහෝවිට ජනමාධ්‍ය ඒවා වාර්තා කරන්නේ ද හැඟුම්බර විලාසයක් ඇතිවය.

දකුණේ මෙන්ම උතුරේ ද අපරාධ සිදුවෙයි. දකුණේ මෙන්ම උතුරේ ද පාතාලය ක්‍රියාත්මක වෙයි. කප්පම් ගැනීම් සිදුවෙයි. දකුණේ මෙන්ම උතුරේ ද කුඩු ජාවාරම පවතියි. දකුණේ මෙන්ම උතුරේ ද අපරාධ පසුපස සංවිධානාත්මක කල්ලි සිටිති. බරපතළ අපරාධ සිදුවන්නේ සංවිධානගත කල්ලි මතින් යැයි පිළිගැනීමක් ද තිබේ. මේ කල්ලි හා පොලිසිය අතර නිරන්තර ගැටුමක් ද පවතියි. එය දකුණට හෝ උතුරට හෝ කියා විශේෂයක් නැත. පොලිස් නිලධාරින් ඉලක්කකොට ක්‍රියාත්මක වන ප්‍රහාරයන් ද සිදුවේ. එහිද දකුණට හෝ උතුරට හෝ කියා වෙනසක් නැත.

අපරාධකරුගේ ජාතිය, භාෂාව හා ආගම ප්‍රශ්නයක් නොවේ. ඕනෑම අපරාධකාරයකු පොලිසියට කැමැති නැත.

2009න් පසු උතුරේ පාලනය මුළුමනින්ම ශ්‍රී ලංකා රජයට යටත් විය. ඊට පෙර එහි පැවැතියේ එල්. ටී. ටී. ඊ. පාලනයකි. එය කැලෑ නීතිය රජකළ කාලයක් බැවින් උතුරේ ජනතාව බලවත් පීඩනයකට ලක්ව සිටියහ. සමහරු රට හැර ගියහ. එහෙත්! අද වනවිට උතුරේ පවතින්නේ සාමාන්‍ය තත්ත්වයකි. ජන ජීවිතය යළි සක්‍රීය වී ඇති අතර, ජනතාව අතර යහමින් මුදල් ගැවසෙන්නට පටන්ගෙන තිබේ. මේ අතර උතුරේ තරුණ ප්‍රජාව සමාජ ක්‍රියාකාරකම්වලට අවතීර්ණ වී සිටිති. මේ පසුබිම තුළ තරුණ පිරිස් සිය ආධිපත්‍ය පැතිරවීමට ද උත්සුක වෙති. තරුණ පරපුර අපරාධවලට යොමුවීමේ ප්‍රවණතාවක් ද ඒ තුළ ගොඩනැඟේ. මෙය සැලකිය හැක්කේ සාමාන්‍ය තත්ත්වයක් හැටියට ය.

උතුරේ තරුණ කණ්ඩායම් සම්බන්ධයෙන් පොලිසිය සොයාගත් සත්‍ය කරුණු රාශියක් තිබේ. එක: මේ තරුණ කණ්ඩායම් අධ්‍යාපනය අතරමග නවතා සිටින නව යෞවනයේ පසුවන අය බව ය. දෙක: ඔවුන් බාල ගණයේ චිත්‍රපට නරඹමින් ආවේගකාරී ක්‍රියාවලට යොමුවී ඇති බවය. තුන: මේ තරුණ කණ්ඩායම් අතට මුදල් ලැබෙන මාර්ග ගණනාවක් ඇති බවය.

පිටරට ඥාතීන්ගෙන් ලැබෙන “පොකට් මනි” එක මාර්ගයකි. කප්පම් මුදල් ලබා ගැනීම් තව මාර්ගයකි. කණ්ඩායම් මෙහෙයවන දේශපාලන ව්‍යාපාරයක් ගැන තොරතුරු හෙළිවී නැති අතර ඔවුන් ක්‍රියාත්මක වී ඇත්තේ අහඹු සිදුවීම් මත බව ද සොයාගෙන තිබේ.

මේ සාධකවලින් පෙනී යන්නේ ත්‍රස්තවාදය හා උතුරේ තරුණ සිදුවීම් අතර සම්බන්ධ‍යක් නැති බවය. අදාළ සිදුවීම් නිසා පීඩාවට පත්වී ඇත්තේ උතුරේ සාමාන්‍ය ජනතාව මිස දකුණේ ජනතාව හෝ දේශපාලකයන් හෝ නොවේ යැයි කියන්නට පුළුවන. කප්පම් ගැනීම, ප්‍රහාර එල්ල කිරීම, කලබල ඇති කිරීම ‍ඔස්සේ අභියෝගයට ලක්වී ඇත්තේ උතුරේ ජන ජීවිතයයි. මේ පිළිබඳව අදහස් දක්වන උතුරේ සාමාන්‍ය ජනතාවගේ මතය වී ඇත්තේ, එහි පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වන බවයි.

ජනතාව සහනයක් අපේක්ෂා කරනුයේ පොලිසිය වෙතින්ය. මේ අනුව උතුරේ පාතාලය මර්දනය සඳහා පොලිසිය විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරමින් සිටියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංවිධානගත කල්ලි ගණනාවක නායකයන් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණ මේ සිදුවීම් දෙස දෘෂ්ටිකෝණ කිහිපයකින් බලන බව පෙනී යයි. එක දෘෂ්ටිකෝණයක ඇත්තේ තනිකර ජාතිවාදය යැයි කියන්නට පුළුවන. ඔවුන් ඒ පිළිබඳව මතවාද ‍ගොඩනඟනුයේ ත්‍රස්තවාදය හා බෙදුම්වාදය මූලික කරගෙනය. තව දෘෂ්ටිකෝණයක් දිගහැරෙන්නේ රජය අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ලිහිල් භාවයක් දක්වන බව ය. තවත් දෘෂ්ටිකෝණයකින් කියැවෙන්නේ අන්තර්ජාතික මෙහෙයවීම් ඔස්සේ මේවා සිදුවන බවය.

මේ මතවාද සමාජගත ‍කරන අය කොටි සංවිධානයේ හිටපු නායකයකු ද මීට සම්බන්ධ කරති. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ අලුත් සංවිධානයක් බිහි කරන බවට ද ප්‍රවෘත්ති පළ කර තිබේ.

අපේ දේශපාලන ඉතිහාසය ගවේෂණය කරන කෙනෙකුට මෙබඳු සිදුවීම් ඔස්සේ ගොඩනඟන සාවද්‍ය මතවාදවල භයානක ප්‍රතිඵල හඳුනාගත හැකිය. 1983 කළුජූලිය පවා ක්‍රියාත්මක වන්නේ සාවද්‍ය මත පැතිරවීම මූලික කරගෙන ය. බහුජාතික හා බහු ආගමික සමාජයක සිදුවීම් වාර්තා කළයුත්තේ ඉතා පරිස්සමින් වුව අප එය ගණනකට ගන්නේ නැත. අතීත සිදුවීම්වලින් පාඩම් ඉගෙනගන්නා බවක් ද අපේ සමාජයෙන් ප්‍රකට වන්නේ නැත. ඇතැම් දේශපාලකයින්ගේ කතාවලින් මැවෙන්නේ අනාගතය පිළිබඳව භයානක චිත්‍රයකි. එහෙත්! ඒවා සත්‍ය ගවේෂණය කිරීමෙන් පසු ගොඩනඟන කතා නොවේ.

මේ විග්‍රහයේ අරමුණ උතුරේ සිදුවීම් සාමාන්‍යකරණයට ලක් කිරීම නොවේ. ඒවා නොසලකා හැරිය යුතුයි යන්න ද අපගේ පිළිගැනීම නොවේ. අපගේ අදහස වන්නේ සිදුවීම් අතිශයෝක්තියට ගැනීම ද, ඒ ඔස්සේ සාවද්‍ය මතවාද සමාජගත කිරීම වැරදි බවය. එය වැරැද්දක් පමණක් නොව භයානක ප්‍රතිඵල මතුකරන සාපයක් ද විය හැකිය. උතුරේ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන හමුදාපතිවරයා කියා ඇත්තේ තරුණ ‍කල්ලි මුදල් උපයා ගැනීම සඳහා ඇතැම් අපරාධ ක්‍රියා සිදුකරන බවය. මෙබඳු සිදුවීම් මීට පෙර ද වාර්තා වූ බව හමුදාපතිවරයා පෙන්වා දෙයි. අප පිළිගතයුත්තේ උතුර පිළිබඳ අත්දැකීම් ඇති එබඳු නිලධාරින්ගේ ප්‍රකාශ මිස කටකතා පතුරවන අයගේ අදහස් නොවේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...