උමා ඔයට මොකද වෙන්නෙ?

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මේ කාලයේ වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාවකි. ඌවේ ජනතාවගේ අදහසට අනුව එය හැඳින්වෙන්නේ උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය ‍යනුවෙන් ය. පවතින තත්ත්වය කෙතරම් සංවේදී ද යත්; මේ ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණක් බිහිවී ඇත. එම සංවිධානය නිරන්තරයෙන් ම උමාඔය ව්‍යාපෘතිය ගැන අවධානය දක්වයි. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පසුගිය දිනෙක කියා සිටියේ මා ද ඔබලාගේ පැත්තේ යන්න ය. ජනතාව වැරැදි නැති බව එහි අර්ථය යි.

උමා ඔය ව්‍යාපෘතියට මුල්ගල තැබුවේ 2008 අප්‍රේල් 29 දා ය. එය ක්‍රියාත්මක වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන වැඩසටහනක් ලෙසට ය. එදා දේශපාලන වැඩසටහන්වලට නීතිය බලපෑවේ නැත. ශක්‍යතා වාර්තා, පරිසර ඇගයීම් වාර්තා, දේශීය ඉංජිනේරුවන්ගේ උපදේශන යන සියල්ලක් ද එම වැඩසටහනට බලපෑවේ නැත. එක ම අරමුණ වූයේ උමා ඔයේ ජලය වෙල්ලස්සට ගෙන යෑම ය. එහෙත් ප්‍රතිඵලය වූයේ අන් දෙයකි. ඌවේ ග්‍රාම සේවා වසම් විසිහයක නිවාස 7000ක් ඉරිතලා ඇත. භූමිය ගිලා බැස ඇත. තවත් ග්‍රාම සේවා වසම් තිස් එකක ස්වභාවික ළිං හා ඉදිකළ ළිං සියල්ල බින්දුවටම සිඳී ඇත.

උමා ඔය ව්‍යාපෘතිය ක්ෂණික විසැඳුම් අවශ්‍ය බරපතළ තත්ත්වයක් ඇති කළේ එහි ඇති වූ ජල කාන්දුවත් සමඟ ය. ජල කාන්දුවේ තරම කෙතරම් ද යත්; දින කිහිපයක ජල කාන්දුවේ ප්‍රමාණය පමණක් ජලය ලීටර් කෝටි 95 ක් විය. දිස්ත්‍රික්ක දාහතක පානීය ජල ගැටලුවක් පවතිද්දි මේ අයුරින් ජලය නාස්තිවීම බරපතළ ජාතික අපරාධයක් සේ සැලැකිය හැකි ය. ව්‍යාපෘතිය නිසා වින්දිතයන් බවට පත්වූවන්ගේ ගැටලු එක අතෙක පවතී. ඔවුනට වන්දි පවා නිසි ලෙස ලැබී නැත. ව්‍යාපෘතියේ අසාර්ථකත්වය තව අතෙක පවතී. මේ සඳහා ඉරානයෙන් ලබා ගත් ණය මුදල ද තවත් ගැටලුවක් ලෙස පවතී.

ජනාධිපතිවරයා මේ ගැටලුවට මැදිහත් වන්නේ මෙබඳු බැරෑරුම් තත්ත්වයක් මධ්‍යයේය. පළමුව උමගයේ කැණීම් කටයුතු තාවකාලික ලෙස නැවැත්විණි. දෙවනුව විදේශීය විශේෂඥ කණ්ඩායම් දෙකකට එහි නිරීක්ෂණ කටයුතු භාර කැරිණි. එක විශේෂඥ කණ්ඩායමක් ජර්මනියෙන්ය. අනෙක් විශේෂඥ කණ්ඩායම නෝර්වේ රටෙන් ය. මෙහි අදහස වන්නේ හානියකින් තොරව ව්‍යාපෘතියේ ඉතිරි ඉදිකිරීම් කරගෙන යෑම ය. වින්දිතයන් සඳහා නිසි වන්දි සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත. මේ ව්‍යාපෘතිය අතරමග නතර කළ‍ෙහාත් විශාල පාඩුවක් විඳීමටද සිදුවේ.

එක් විශේෂඥ කණ්ඩායමක වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාරදී තිබේ. එම වාර්තාවට අනුව ජල කාන්දු ඝන සිමෙන්ති පැලැස්තර මඟින් මකා ගත හැකි ය. උමං මාර්ගයේ ඉදිරි කැණීම් කටයුතු සඳහා විශේෂ තාක්ෂණයක් හා විශේෂ උපකරණ භාවිත කළ යුතු ය. ඊට අවශ්‍ය නිර්දේශ හා උපදේශන ද වාර්තාවේ සඳහන් ය. දෙවන විශේෂඥ කණ්ඩායමේ නිරීක්ෂණ වාර්තා ද ඉක්මනින් ලැබීමට නියමිත ය. මේ වාර්තා දෙක සැලකිල්ලට ගනිමින් දේශීය ඉංජිනේරුවන්ගේ ද උපදෙස් මත ව්‍යාපෘතිය පරෙස්සමෙන් ඉදිරියට ගෙන යෑම ජනාධිපතිවරයාගේ අදහස බව පැහැදිලිය. එය බුද්ධිමත් තීරණයක් බව ද කිව යුතු ය.

උමා ඔය ගැටලුවට විසඳුම් දීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වීම ගැනත්; පියවරෙන් - පියවර ගැටලු විසඳාගෙන යෑම ගැනත් ඌවේ ජනතාව සිය කෘතඥතාව පළ කර සිටිති. ජනමාධ්‍ය වාර්තා මඟින් එය පැහැදිලි වේ. උමා ඔය ව්‍යාපෘතිය නතර කරන්නැයි එම ජනතාව නො කියති. ඔවුන් ඉල්ලා සිටිනුයේ තමන්ට ද යුක්තියක් ඉටුකරන අතර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන ලෙස ය. ඔවුන්ගේ ඉඩම්, නිවාස, රැකියා ආදිය ගැන මෙහි දී සලකා බලන්නට සිදුවේ. ප්‍රදේශවල වැඩි දෙනකුගේ ජීවනෝපාය ගොවි තැන ය. එහෙත් ව්‍යාපෘතියෙන් පසු ගොවිතැන් අභාවයට ගොස් තිබේ. ඒ ජල හිඟය නිසා ය.

උමා ඔය ව්‍යාපෘතිය අපට කියා දෙන ප්‍රධාන පාඩම වන්නේ රටක භූගෝලීය සාධක අතහැර දේශපාලන අරමුණු පමණක් ජය ගැනීම සඳහා මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම භයානක බව ය. අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදේශනය වී ඇත්තේ ද භූගෝලීය සාධකවලට අනුව සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කරනු යන්න ය. පරිසර සංවිධාන පෙන්වා දෙන අන්දමට මුළු මහත් ලෝකයම දැඩි නියං තත්ත්වයකට මුහුණ දෙමින් සිටිති. මෙය බරපතළ තත්ත්වයක් බව වටහාගත යුතු ව තිබේ. ශ්‍රී ලංකාවේ අපිදු දැඩි නියඟයකට මුහුණ දෙමින් සිටින්නෙමු. එහෙත් අපේ දේශපාලකයන් ඒ ගැන දැනුම්වත් වී සිටිත් ද යනු ගැටලුවෙකි.

උමා ඔය ව්‍යාපෘතිය නිසා ඌවේ ජනතාවගෙන් කොටසකට විශාල හානියක් සිදුවී ඇති බව පිළිගත යුතුය. කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන් වී ඇත්තේ ද, තේ වතු විශාල ප්‍රමාණයක් විනාශ වී ඇත්තේ ද උක්ත ව්‍යාපෘතිය නිසා ය. ඒ නිවාස හානි, ඉඩම් හානි හා ජලය සිඳීයෑම යන සංසිද්ධිවලට අමතරවය. මේ අයගේ සාම්ප්‍රදායික හා පාරම්පරික ජීවිත විනාශ වී ඇති අතර අනාගත පරම්පරාවල ජීවිත ද අභියෝගයට ලක්වී ඇත. මේවා වෙනස් කළ හැක්කේ එම වින්දිතයන් සඳහා සාකල්‍යයෙන් ම සරු වූ ජීවිත ලබාදීමෙන් පසුව ය. ඒ සඳහා ක්‍රියාත්මක වැඩසටහනක් ඇති බව පෙනී යයි.

රටේ ඇති ප්‍රධාන ගැටලු බොහෝමයක් දෙස බලනවිට පෙනී යන්නේ ඒ සියල්ල අතීතයේ නිර්මාණ බව ය. උමා ඔය, සයිටම්, ලෝක ණය, කුණු කඳු මීට නිදසුන් ලෙස දැක්විය හැකි ය. මේ ගැටලු හමුවේ ගිය ආණ්ඩුව විවේචනය කරමින් සිටීමේ ප්‍රතිපත්තිය රජය අනුගමනය කරන්නේ නැත. වගකිව යුතු රජයකට එලෙස ක්‍රියා කළ නො හැකිය. මේ ආණ්ඩුව කෙරෙහි රටේ ජනතාව පමණක් නොව අන්තර්ජාතික ප්‍රජාව ද විශ්වාසයක් තබා ඇති බව පැහැදිලි ය. ලෝක බැංකුව පසුගිය අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාව සඳහා අමෙරිකන් ඩොලර් මිලියන 1340 ක ආධාර මුදලක් අනුමත කළේය. ඉන් පෙනී යන්නේ ලෝකය අප කෙරෙහි විශ්වාසයක් තබා ඇති බව ය.

කුමක් වුව ජනතාවට සවන්දීම නායකයන්ගේ යුතුකම බව කිව යුතු ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...