ටයිප් කරන සූරයා: ගූගල් Gboard | දිනමිණ

ටයිප් කරන සූරයා: ගූගල් Gboard

තඹරු විජේසේකර

ගූගල් සමාගම අන්තර්ජාලය තුළ අපේ එදිනෙදා අවශ්‍යතාවයන් රැසකට තාක්ෂණික විසඳුම් ලබා දෙන සුප්‍රසිද්ධ ආයතනයක්. Gmail, Google Docs, Maps, Drive, Photos, Blogger ආදී වූ නිෂ්පාදන රැසක් හරහා නොමිලේ සේවා සපයන මෙම සමාගම පසුව ඇන්ඩ්‍රොයිඩ් හරහා සහ Nexus, Pixel යන දුරකතන හරහා ද සමාජගත වූයේ දුරකතන අවශ්‍යතාවයන් ද සපුරාලමින්. මේ අතරතුර ස්මාර්ට් දුරකතන සඳහා වූ අනෙකුත් කීබෝඩ්වලට වඩා සුවිශේෂීතා රැසකින් සමන්විතව ගූගල් සමාගම විසින් කීබෝඩ් එකක් ඇන්ඩ්‍රොයිඩ් සහ අයිෆෝන් සඳහා හඳුන්වා දෙනු ලැබුවා. ජීමේල් මෙන් ම Googleහි G අකුර මුල් කොටගෙන මෙය ජීබෝඩ් (Gboard) ලෙස නම් කර තිබෙනවා.

මෙහි තිබෙන සුවිශේෂීතා මොනවාද? ඔබ මේ වන විටත් මෙය භාවිත කරනවා වුවත් මේ ලැයිස්තුව තුළින් ඔබ මෙතෙක් කල් දැන නොසිටි පහසුකම් කිහිපයක් ම තිබෙනු නොඅනුමානයි.

ක්ෂණික සෙවුම

දුරකතනය හරහා ම ලැබෙන Samsung හෝ Apple යතුරු පුවරු හෝ බහුලව භාවිත වන තෙවැනි පාර්ශවීය ඉංග්‍රීසි යතුරු පුවරුවක් වන SwiftKey කීබෝඩ්වල හෝ නොමැති මෙම පහසුකම නිසා ටයිප් කරමින් සිටිනා අතරතුරදීම ඉන් ඉවත් නොවී කීබෝඩ් එක මත ම ගූගල් සෙවීමක් කරන්නට පුළුවන්.

මෙම කීබෝඩ් එකේ වම්පස ඉහළින් ම තිබෙන ගූගල් සමාගමේ ලෝගෝව මත ටැප් කිරීමෙන් සෙවීම සඳහා පිවිසිය හැකියි. එවිට ලැබෙන text box එකෙහි අපට අවශ්‍ය දේ ටයිප් කර සෙවීම සිදු කළ හැකි අතර සෙවුම් ප්‍රතිඵල කීබෝඩ් එකේ අකුරු වෙනුවට දිස් වෙනවා. මෙහි අපි වැඩිපුර සොයන දෑ බ්‍රවුසර ඉතිහාසය පරිද්දෙන් සුරැකෙන අතර එය පසු අවස්ථාවලදී පහසුවක් වීම සඳහා අවසානයට සෙවූ දෑ තුනක් පමණ දක්වා සිටිනවා. එසේ ම අපි සොයාගත් දේවල් සෘජුවම පණිවිඩයකට හෝ අවශ්‍ය ස්ථානයට ලින්ක් එකක් වශයෙන් ලබා ගන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔබ අවන්හලක් සඳහා සෙවීමක් සිදු කළා නම් අසල ඇති හොඳම එක තෝරාගෙන පණිවිඩයක් වශයෙන් එහි නම, ලිපිනය, දුරකතන අංකය මෙන් ම එතැනට ළඟා වීමට ගූගල් මැප්ස් ලින්ක් එක ද යැවිය හැකියි.

තනි අතින් භාවිතය

තිරයේ ප්‍රමාණය විශාලවත්ම දුරකතනය තනි අතින් භාවිතයට ඇති අවස්ථාව නැතිව යනවා. එසේ ම බසයේ, කෝච්චියේ වගේ හිටගෙන යන්නට සිදු වුණොත් එක අතකින් එල්ලිලා අනිත් අතින් ටයිප් කරන්නට අවශ්‍ය වුණොත් මධ්‍යම ප්‍රමාණයේ දුරකතනයකින් වුවත් ටයිප් කිරීමේ අපහසුතාවයන් රැසකට මුහුණ දෙන්නට සිදු වෙනවා.

නමුත් ජීබෝඩ් හරහා ඊට හොඳ විසඳුමක් ලැබී තිබෙනවා. මෙහි කොමා (,) ලකුණ සහිත යතුර මඳ වේලාවක් තද කරගෙන සිටීමෙන් සැකසුම් සහ මෙම තනි අත් භාවිතය සඳහා වූ අයිකනය දිස් වෙනවා. එය තේරීමෙන් එක් පසෙකට බර වූ යතුරු පුවරු පෙනුමක් ලැබෙනවා. එහි තිබෙන තනි ඊතලයෙන් කීබෝඩ් එක බරව ඇති පැත්ත වෙනස් කර ගත හැකි අතර ඊතල හතරක් සහිත බොත්තමෙන් පෙර තිබූ ආකාරයේ විශාල යතුරු පුවරුව බවට පත් කරගන්නට පුළුවන්.

GIF සහ ඉමෝජි සෙවුම

සිය ගණනක්වූ ඉමෝජි අතරින් අපිට ඕන එක හොයාගන්න ගියාම ඊට වඩා ලේසියි යවන්න ඕන කෙනාගෙ ගෙදරටම ගිහිල්ලා හිනාවෙන මූණක්, මූණෙන් ම පෙන්නලා එන එක.

නමුත් ජීබෝඩ් තියෙනවා නම් එහෙම කරදරයක් නැහැ. එහි සැකසුම් හරහා වෙනම ඉමෝජි යතුරක් සක්‍රීය කරගැනීමෙන් හෝ කොමා (,) යතුර මඳ වේලාවක් තදකරගෙන සිටීමෙන් එන අයිකනයෙන් ඉමෝජි වෙත පිවිසිය හැකි අතර එහි ඉහළින් සෙවීම සඳහා පහසුකම් සලසා තිබෙනවා. එය හරහා “lol”, “sad” ආදී වශයෙන් ගැලපෙන වදන් යොදා සෙවීම් සිදු කරන්නට පුළුවන්. එසේ ම එහි පහතින් ම ඇති GIF අයිකනය මත ටැප් කිරීමෙන් Facebook Messenger එකේ මෙන් සහාය දක්වන ඇප් මතදී ගිෆ් සජීවීකරණ සොයා යැවීමට ද අවකාශ සැලසෙනවා.

අංක පුවරුව

පේළියකට තුන බැගින් වූ අංක සහිත අංකිත යතුරු පුවරුව ඕනෑම විටක ලබා ගන්නට බොහෝ යතුරු පුවරුවලින් අවස්ථාව සලසා දී නැහැ. ඇතැම් ඒවායේ මෙම අංක පුවරුව ගන්නට නම් අපි ටයිප් කරන ස්ථානය අංක සඳහා පමණක් වූ ස්ථානයක් වී තිබිය යුතු වෙනවා.

එහෙත් තනි පේලියක අංක තිබෙනවා වෙනුවට ඉතා පහසුවෙන් අංක ටයිප් කළ හැකි මෙම අංක පුවරුව ලබා ගැනීමට ජීබෝඩ් හි කළ යුත්තේ අංක සහ විරාම ලක්ෂණ සහිත කොටසට ගොස් එහි Space bar එකට වම් පසින් 1234 ලෙස ඇති බොත්තම මත ටැප් කිරීමයි. එමඟින් අංක පමණක් වැඩිපුර ටයිප් කරන්නට සිදුවන ස්ථානවලදී වඩාත් පහසුවක් ලැබෙනවා.

පුළුල් සැකසුම්

ජීබෝඩ්හි Settings ඉතාම පුළුල්ව කීබෝඩ් එකෙහි උපරිම වෙනස්කම් ප්‍ර‍මාණයක් සිදු කරමින් අපට අවශ්‍ය ම ආකාරයෙන් සකසා ගන්නට අවස්ථාව සලසා දෙනවා. ඇසට පහසු තේමාවන් රැසක් ගෙන එන එය, අවශ්‍ය නම් ඔබ සතු ඡායාරූපයක් වුවත් ඊට යොදන්නට අවස්ථාව සලසා තිබෙනවා. ඔබ වැඩිපුර භාවිත කරන ශබ්දකෝෂයේ නැති වචන, විශේෂයෙන් සිංග්ලිෂ් වචන මෙහි ගබඩා වන අතර ඒවා ජීබෝඩ් සහිත ඔබේ අනිකුත් දුරකතන හෝ උපාංග හරහා ද භාවිත කිරීමට අවස්ථාව සලසනවා. එය සිදුවිය යුතුද නැද්ද යන්න සැකසුම් හරහා යෙදිය හැකි අතර යතුරු පුවරුවේ ඇති විශේෂිත යතුරු දර්ශනය වීම පාලනය කරන්නට මේ හරහා හැකියි. ඔබ කටහඬ හරහා වැඩිපුර ටයිප් කරන්නේ නැතිනම් මයික්‍රොෆෝන අයිකනය සඟවාලීමට ද සැකසුම් හරහා අවස්ථාව ලබා දී තිබෙනවා.

නව අදහස දක්වන්න