සුදු ලූනු වැටලීම! | දිනමිණ

සුදු ලූනු වැටලීම!

රටකට ඇති වටිනා ම වස්තුව මානව සම්පත බවත්; එම මානව සම්පත සෞඛ්‍යය අතින් ඉහළ මට්ටමක පවතින්නේ නම්; උපයුක්ත රාජ්‍යය දියුණු කිරීම පහසු බවත් කියනු ලැබේ. කියුබාව ස්වකීය ජනතාවගේ ශරීර සුවතාව ගැන ඉහළම අවධානයක් යොමු කරන රාජ්‍යයකි. අමෙරිකාව කුමන සම්බාධක පැනවුව ද කියුබාව වැටුණේ නැත. සාර්ථක සෞඛ්‍ය සේවයක් පැවැතීම ද ඊට ‍එක් හේතුවකි. ශ්‍රී ලංකාවේ ද නිදහස් සෞඛ්‍ය සේවයක් පවතී. එහෙත් අපේ රටේ ලෙඩුන්ගේ සංඛ්‍යාව වැඩි ය. රටෙන් සැලකිය යුතු ප්‍රමාණයක් බෝ නොවෙන රෝගවලින් පෙළෙති. මීට ප්‍රධාන හේතුව අපේ ආහාර රටාව බව කියනු ලැබේ. අපේ ජනතාව තුන් වේලට ම ගිල දමන්නේ වස-විෂ යයි කියති.

මාළුවල පෝමලින් ඇතැ’යි කියති. සහල්වල විෂ රසායන ඇතැ’යි කියති. ප්ලාස්ටික්වලින් තැනූ සහල් විශේෂයක් වෙළෙඳ පොළට පැමිණ ඇතැ’යි රාවයක් පැතිර ගියේ මෑතක දී ය. එළවළුවල කෘමිනාශක ඇතැ’යි ද, පලතුරුවල ඩයි හා තවත් රසායනික ඇතැ’යි ද කියති. මෑතක දී ප්‍රචාරය වූ රූපවාහිනී වැඩසටහනකදී ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියා සිටියේ කොමඩු ගෙඩියට ද ඩයි එන්නත් කර ඇති බව ය. මේ අනුව බලන විට රටේ පවතින කිසිදු ආහාර ද්‍රව්‍යයක් ගැන විශ්වාසයක් තැබිය නොහැකි ය. වෙළෙඳ පොළෙහි ඇති මයියොක්කා බැදුම්වලට ද ප්ලාස්ටික් මුසුකොට කල් තබා ගැනීමේ ක්‍රමයක් සොයාගෙන ඇතැ’යි කියති. මේ අපේ ආහාර සංස්කෘතියේ එක පැත්තකි.

මෙහි තවත් පැත්තක් තිබේ. ඒ නරක් වූ වියළි ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමය. පසුගියදා පැවැති ගංවතුර‍‍ට හසු වී විෂ මිශ්‍ර වී තිබූ සහල් තොගයක් නැවත වේලා අලෙවියට තැබීමට වෙළෙඳුන් සූදානම් වී තිබිණි. පණුවෝ සහිත හාල්මැස්සන් තොගයක් ගබඩාවක තිබී සොයා ගැනිණි. එය ද අලෙවිය සඳහා සූදානම් කර තිබිණි. ගුල්ලෝ සහිත පරිප්පු තොගයක් ද, කල් ඉකුත් වූ අර්තාපල් තොගයක් ද මේ අයුරින්ම සොයාගත හැකි විය. පාරිභෝගික සේවා අධිකාරිය මේවා සොයා ගත්තේ නැතිනම් නිසැක ලෙස ම ඒවා අලෙවි කරනු ඇත. මේ භාණ්ඩ පරිභෝජනයට ගත්ත ද, නොගත්ත ද අවසන් වශයෙන් අසීරුවට පත්වන්නේ අහිංසක පාරිභෝගිකයා ය.

ඊයේ පුවත්පත් හෙළිදරව් කර තිබූ අන්දමට මේ අයුරින්ම නරක් වූ සුදු ලූනු තොගයක් අලෙවියට සූදානම් කර තිබිණි. එය ප්‍රමාණයෙන් කිලෝ පනස්දහසක් පමණ වන බව කියති. කල් ඉකුත් වූ මේ සුදු ලූනු තොගය පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවෙන් ආනයනය කර තිබිණි. ජා ඇල ප්‍රදේශයේ ගබඩාවක තිබියදී පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලීම සිදු කර තිබේ. සිද්ධියට සම්බන්ධ ව්‍යාපාරිකයා උසාවියට ඉදිරිපත් කර ඇති අතර උසාවි තීන්දුවට අනුව මාසයක සිර දඬුවමක් ඔහුට නියම වී ඇත. නීතිය මේ අයුරින් ක්‍රියාත්මක වන්නේ නම් ව්‍යාපාරිකයන්ගේ කූට ප්‍රයත්න බොහෝ දුරට වළක්වාගත හැකි ය. එහෙත් මෙබඳු වැටලීම් නිතිපතා සිදුවන්නේ නැති බව ද කිව යුතු ය.

ජා ඇල වැටලීම පවා සිදුවන්නේ පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව බව සඳහන් වේ. ඔත්තු ලැබෙන තුරු නොසිට මෙබඳු ස්ථාන පරීක්ෂා කිරීමටත් අලෙවියට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අල්ලා ගැනීමටත් අදාළ අංශ උත්සුක විය යුතුය. සතොසට සීනි ගෙන් වූ කන්ටේනරයක තිබී කුඩු තොගයක් හසු වූයේ මීට ටික දිනකට ඉහත දී ය. එම කන්ටේනරය රේගුවේදී පරීක්ෂාවට ලක් කරන්නට ඇත. එහෙත් කුඩු තොගය හසුවූයේ නැත. එය සොයා ගත්තේ ද ලැබුණු ඔත්තුවකට අනුව ය. ඔත්තු ලබාදීම වැදගත් ය. එහෙත් ඔත්තු ලැබෙන තුරු බලා සිටින්නට සිදුවේ නම්; එය ඒ තරම් හොඳ තත්ත්වයක් නොවේ. පිටරටින් ආනයනය කරන භාණ්ඩ ද, වෙළෙඳ පොළට එන දේශීය භාණ්ඩද නිරන්තර පරීක්ෂාවකට ලක්විය යුතුය යන්න අපගේ පිළිගැනීම ය. නිලධාරීන් ප්‍රමාණවත් නැත යන්න හෝ පහසුකම් මදි යන්න හෝ ඊට පිළිතුරක් නොවේ.

කල් ඉකුත් වූ සුදු ලූනු තොගය වෙළෙඳ පොළට ගියේ නම්; ඒවා නැවත සොයා ගැනීම අපහසු ය. නිත්‍ය ලෙසම එම සුදු ලූනු තොගය ජනතාවගේ පරිභෝජනයට එකතුවීමට ඉඩ තිබිණි. සුදු ලූනු වැනි ද්‍රව්‍යයක කල් ඉකුත් වූ බව සොයාගැනීම ද අපහසු ය. සුදු ලූනු වැනි ද්‍රව්‍ය බෙහෙත් ඖෂධ සඳහා ද යොදාගන්නා බැවින් තවත් අනතුරක් සිදුවීමට ඉඩ තිබිණි. මේ වන විට රටේ සැලැකිය යුතු පිරිසකට අම්ල පිත්ත හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගය තිබේ. නරක් වූ ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීමත් කල් ඉකුත් වූ කුළු බඩු වර්ග භාවිත කිරීමත් මේ රෝගයට හේතුවක් බව සොයාගෙන තිබේ. මේ අනුව ඉහත කී වැටලීම සිදුකොට සුදු ලූනු තොගය සොයාගත් නිලධාරීන්ට ජනතාවගේ කෘතඥතාව හිමිවිය යුතුය. සුදු ලූනු තොගය විනාශ කර දමන්නැ’යි උසාවි නියෝගයක් නිකුත් වී ඇත.

කොයි අතින් බැලුව ද ව්‍යාපාරිකයන්ගේ ඉලක්කය වී ඇත්තේ ස්වකීය ලාභය උපරිම කර ගැනීම මිස පාරිභෝගික ජනතාවට සේවා සැපයීම නොවේ. ඕනෑම කුණු ගොඩක් වැඩි මිලකට විකුණාගැනීම ව්‍යාපාරිකයන්ගේ අරමුණ වී තිබේ. දියුණු රටවල ව්‍යාපාරිකයන්ට සදාචාරාත්මක සීමාවන් තිබේ. ඔවුන් ‍ඒවා උල්ලංඝනය කරන්නේ නැත. එහෙත් අපේ රටේ එබඳු දේවල් නැත. දැන් අපේ ගොවියන් පවා මේ තත්ත්වයට අනුගත වී ඇත. සමහර එළවළු ගොවියෝ තම ගොවිපොළ දෙකට බෙදාගෙන වගා කරති. එක කොටසක ඇත්තේ වස - විෂ නැති එළවළු ය. අනෙක් කොටසේ ඇත්තේ තෙල් හා රසායනික පොහොර යෙදූ එළවළු ය. එම එළවළු අලෙවියට තබන අතර වස - විෂ නැති එළවළු තමන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගනිති. අපේ සමාජයේ ඇති මමත්වය මෙයින් පැහැදිලි වේ. මෙබඳු ගොවීන් සාධාරණ ඉපැයීමක් කරන්නේ යැයි සිතිය නොහැකි ය.

මීට කලකට පෙර ප්‍රමිතියකින් යුතු හොඳම භාණ්ඩ අලෙවි කළේ සතොස ආයතන හා සමුපකාර වෙළෙඳ සැල් ය. එහෙත් අද ඒ තත්ත්වය වෙනස් වී ඇත. පෞද්ගලික අංශය මේ වනවිට ඉදිරියට පැමිණ තිබේ. ඒ සමඟ කරට කර සටනක් දීමට සතොස ආයතනය අසමත් වී ඇත. මේ ආයතනයට ද නැවත පණ දිය යුතුය. ආහාර පිළිබඳ ගැටලුවට එමඟින් විසැඳුමක් ලබාගත හැකි ය. තව අතෙකින් මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාව මීට වඩා කාර්යක්ෂම කළ යුතුය. මේ සේවාව ඔස්සේ හෝටල් හා වෙළෙඳ සැල් නිතිපතා පරීක්ෂා කළහොත් නරක් වූ පාරිභෝගික භාණ්ඩ වෙළෙඳ පොළෙන් ඉවත්කරගත හැකි ය. නිලධාරින්ට පගා දෙන ක්‍රමය ද මේ කාලයේ හැටියට ඒ තරම් ම ප්‍රචලිත නැති බැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාව සක්‍රීය කිරීම ගැටලුවට එක්තරා විසඳුමක් වනු ඇත. 


අදහස් 1ක් ඇත

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...