නායකයකුගේ භූමිකාව...

නායකයන් නිර්මාණය කළ නොහැකි බවද ඔවුන් කාලයේ හා ද්වීපයේ අවශ්‍යතාව මත පහළ වන බවද පර්සියන් ජාතිකයෝ විශ්වාස කරති. මේ කියමන අපට ද ගළපා ගත හැකිය. අපේ ඉතිහාසය විමසන විට විශාල පිරිසක් දේශපාලනයට එක්වී සිටියහ. එහෙත් ඒ සියලු දෙනා මතකයේ රැ‍ඳෙන නායකයෝ නොවෙති. එහි අර්ථය වන්නේ මේ අය අනාගතයේ කතිකාවතට සුදුසු දෙයක් ඉතිරි කර නැති බවය. වෙනත් ආකාරයකින් කිවහොත් සමාජ ප්‍රගමනයට අවශ්‍ය ගතිකයන් ඔවුන් අතින් නිර්මාණය වී නැත. සැබෑ නායකයකුගේ භූමිකාව හා කාර්යභාරය වටහාගැනීම සඳහා ඉහත වචන ස්වල්පය ප්‍රමාණවත් යැයි හැ‍‍ඟේ.

අද අපගේ මාතෘකාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු පිළිබඳ විග්‍රහ ඉදිරිපත් කරන බොහෝ දෙනකුගේ මතය වන්නේ නූතන ශ්‍රී ලංකාවේ ගෝලීය සාධකය රනිල් වික්‍රමසිංහ මහතා බවය. වර්තමාන රාජ්‍යවල සංවර්ධනය, දේශපාලන ස්ථාවරත්වය, සාමය ආදී සාධක තීන්දු කරන ප්‍රධාන බලවේගය බවට පත්ව ඇත්තේ ගෝලීය සම්බන්ධතාය. ගෝලීය තත්ත්වය වටහාගැනීම, ගෝලීය තත්ත්වයට අනුගතවීම හා ගෝලීය ගනුදෙනු පවත්වාගැනීම යන ලෙසින් මේ තත්ත්වය විශ්ලේෂණය කරනු ලැබේ. රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය තත්ත්වය වටහාගෙන ඒ අනුව රටේ ඉදිරි ගමන සැලැසුම් කරන නායකයෙකි. එබැවින් ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමෙන් රටට සාර්ථක අනාගතයක් උදාවන බව විශ්වාස කළ හැකිය.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බිහි වූ පරිණත දේශපාලකයා ජේ.ආර්. ජයවර්ධන යැයි කියන්නට පුළුවන. රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ගුරුවරයා ද ඔහු යැයි කිව හැකිය. මා ජයවර්ධන මහතාගෙන් බොහෝ දේශපාලන පාඩම් ඉගෙනගත්තා යැයි වික්‍රමසිංහ මහතා කියා ඇත. ජයවර්ධන මහතා දැයෙන් සමුගෙන දස වසරක් සපිරෙන දිනයේ අනුස්මරණ දේශනය කළ වික්‍රමසිංහ මහතා මෙසේ සඳහන් කර ඇත. ‘ජේ.ආර්. ජයවර්ධන මහතා මේ රටේ නව පරිවර්තනයක් ඇති ‍කළේය. එය මහා විප්ලවයක් බඳුය. මේ විප්ලවය ආරක්ෂා කොට ඉදිරියට ගෙන යන්නේ නම් රටේ සකල ජනතාවගේ ප්‍රශ්න විසඳී රට දියුණු වනු නිසැකය. මේ වනාහී අපේ දේශපාලකයන් උගත යුතු අගනා ප්‍රකාශයකි.

වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයට වසර හතළිහක් හෙවත් දසක හතරක් සම්පූර්ණ වී ඇත. ඔහු මේ කාලය තුළ ඉටු කළ සමාජ මෙහෙවර මෙන්ම ඔහුගේ දේශපාලන දැක්ම ගැනත් විශ්ලේෂණයක යෙදීමට හොඳම කාලය හා අවස්ථාව පැමිණ ඇතැයි සිතන්නට පුළුවන. දේශපාලන වශයෙන් ගතහොත් ඔහුට ඇත්තේ ලිබරල් චින්තනයක් බව කියති. ඔහුගේ ආර්ථික දැක්ම නව ලිබරල් දර්ශනය ඔස්සේ සංවිධානගත වී ඇතැයි ද කියති. මෑත කාලයේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගත් රටවල් බොහොමයක ශ්‍රේෂ්ඨ නායකයන් ක්‍රියා කර ඇත්තේ ද ඉහත කී දර්ශනයට හා ප්‍රතිපත්තිවලට අනුකූලවය. මහතීර් මොහොමඩ්, ලීක්වාන් යු, ෂී ජෙයා පෙන්ග් නිදසුන් ලෙස දැක්විය හැකිය.

වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඔහු සතු ආර්ථික දර්ශනයයි. ශ්‍රී ලංකාවේ පිහිටීම, භූ දේශපාලනය, ස්වභාවික සම්පත් ආදිය නිරීක්ෂණය කරන ඔහු ඉන්දියන් සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රය ශ්‍රී ලංකාව යැයි කියයි. එය අපේ අනාගතය දකින අපූරු ප්‍රකාශයක් ලෙස හැඳින්විය හැකිය. අපේ අනාගත ආර්ථික සමෘද්ධිය ඇත්තේ ද ඒ මත යැයි කියන්නට පුළුවන. නූතන ලෝකය ගෝලීය වශයෙන් ද කලාපීය වශයෙන් ද එකට ගැට ගැසී ඇත. වික්‍රමසිංහ මහතා එය වටහා ගත්තේ මීට බොහෝ කලකට පෙර යැයි සිතන්නට පුළුවන. ඔහු මේ සඳහා තරුණ පරපුර සන්නද්ධ කළ කාලයක් ද තිබිණි. තරුණ පරපුර ලෝකය සමඟ ගනුදෙනු කළ යුතුය යන්න ඔහුගේ අදහසය.

වික්‍රමසිංහ මහතාගේ හතළිස් වසරක දේශපාලන ජීවිතය දෙස ආපසු හැරී බැලුවහොත් ඔහු කළ විශිෂ්ට මෙහෙවර ක්ෂේත්‍ර හතරක් ඔස්සේ තහවුරු කළ හැකිය. පළමු ක්ෂේත්‍රය වන්නේ ආර්ථික කටයුතුය. දෙවන ක්ෂේත්‍රය වන්නේ තරුණ කටයුතුය. තෙවන ක්ෂේත්‍රය වන්නේ අධ්‍යාපන කටයුතුය. හතරවන ක්ෂේත්‍රය වන්නේ කාර්මික අංශයේ කටයුතුය. මේ ක්ෂේත්‍ර හතර තුළ විශාල ප්‍රබෝධයක් ඇති කිරීමට වික්‍රමසිංහ මහතා සමත් වූ බව කව්රුත් පිළිගනිති. තරුණ සේවා සභාව නොවන්නට තවත් කැරලි කිහිපයක් රටේ ඇතිවනු නිසැකය. බියගම වෙළෙඳ කලාපය නොවන්නට ඒ ප්‍රදේශය තවම කැළෑවකි. වික්‍රමසිංහ මහතා එදා හඳුන්වා දුන් අධ්‍යාපන සැලැසුම් හා නව කාර්මික ප්‍රතිපත්තිය අදටත් වලංගුය.

එක්තරා ප්‍රසිද්ධ හිමිනමක් වික්‍රමසිංහ මහතා හඳුන්වා ඇත්තේ නිහඬ ගැඹුරු මිනිසකු ලෙසය. එය බෙහෙවින් අර්ථාන්විත ප්‍රකාශයක් බව වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු හැසිරීමෙන් පෙනී යයි. ඔහු හැමවිටම සම්ප්‍රදායට ගරු කරන අතර කිසිවිටෙක කලබල නොවෙයි. මහා ගාලගෝට්ටි මැද්දේ ප්‍රශ්නවලට තාර්කික පිළිතුරු ලබා දෙන්නට වික්‍රමසිංහ මහතා සමත් වෙයි. රටේ ඉතිහාසය ගැනත් දේශපාලන සිදුවීම් ගැනත් ලෝක දර්ශනවාද ගැනත් ප්‍රාමාණික දැනුමක් ඔහු සතුය. ජේ.ආර්. ජයවර්ධන මහතාට මෙන්ම වික්‍රමසිංහ මහතාටද බෞද්ධ දර්ශනය පිළිබඳ ගැඹුරු ඥානයක් තිබේ. එබැවින් ඔහු බාල හා ජනප්‍රිය දේශපාලනයක යෙදෙන්නේ නැත. ඇතැම් විට එය කෙනකුගේ විවේචනයට ලක්වන අයුරු ද දැකගත හැකිය.

වික්‍රමසිංහ මහතාගේ චරිත ලක්ෂණ ප්‍රකට කරන ප්‍රසිද්ධ නොවූ සත්‍ය කතාවක් අප සිහියට නැ‍‍ඟේ. එවකට එක්සත් ජාතික පක්ෂය හැඳින්වූයේ පරාජිත පක්ෂය ලෙසය. වික්‍රමසිංහ මහතා හැඳින්වූයේ පරාජිත නායකයා හැටියටය. එදා මේ පක්ෂය දිගින් දිගටම පැරදුණේය. එක් මැතිවරණයකට පසුදා එක්තරා මන්ත්‍රිවරයෙක් සිරිකොතට ගියේය. ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමටය. පක්ෂ කාර්යාලයේ වෙනත් කිසිවකු නැති මුත් නායකයා තනිව වැඩ කරමින් සිටියේය. මන්ත්‍රිවරයා බලවත් කේන්තියකින් යුතුව ලිපිය ඉදිරිපත් කළේය. එය කියවා බැලූ නායකයා ‘මන්ත්‍රීතුමා අස්වීම උත්තරයක් නෙමෙයි, පිස්සු නැතිව ගමට ගිහින් වැඩ කරන්න! අපට මේ රට හදන්න ඕනෑ’ යැයි කියා ඇත.

ඔහු අපරාජිත නායකයකු ලෙස හැඳින්විය හැකිය. දිගින් දිගටම පරාජය වූ එක්සත් ජාතික පක්ෂය අද පසුවන්නේ ජයග්‍රාහී තැනකය. රටේ දේශපාලන වෙනසක්ද ආර්ථික වෙනසක්ද කිරීමට එම පක්ෂය මුල් විය. එහි ගෞරවය හිමි විය යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටය. ඔහුගේ දැනුම ඉවසීම හා විචක්ෂණය ඕනෑම නායකයකුට ගත හැකි පාඩමක් ලෙස පවතී. අවසන් ලෙස කිව යුත්තේ මෙබඳු නායකයන් ජාතියේ පිනට පහළ වන බවය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...