ඇත් ගොව්වෝ සහ වෙන ගොයියෝ | දිනමිණ

ඇත් ගොව්වෝ සහ වෙන ගොයියෝ

 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පශු රෝහලේ අධ්‍යක්ෂ මහාචාර්ය අශෝක දංගොල්ල

 

මෙරට බෞද්ධ සංස්කෘතිය හා බද්ධව පවත්නා පෙරහර මංගල්‍ය තුළ අලි ඇතුන් සඳහා හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් සම්බන්ධ වන මහනුවර ඇසළ පෙරහර දිවයිනේ පෙරහර මංගල්‍යයන් අතරින් ප්‍රමුඛතම හා සුවිශේෂිත පෙරහර වන්නේ එහි ගැබ්ව ඇති විචිත්‍රත්වය හේතුවෙනි. මංගල ලක්ෂණ සහිත දළ ඇතකු දෑලේ ගමන් කරන තවත් දළ ඇතුන් දෙදෙනකු සමඟ සධාතුක කරඩුව පාවාඩ මතින් වඩමවත්දී පෙරහරේ විචිත්‍රත්වය අභිබවා යමින් තේජාන්විත බවක් ඊට එක් වන්නේ ඇතුන්ගේ ගාම්භීරත්වය හේතුවෙනි. සධාතුක කරඬුව වැඩමවද්දී බැතිමතුන්ගේ වැඳුම් පිදුම් ලබන්නටද පින් මහිමය ඇති දළ ඇතුන් ඇත්තෙන්ම පෙරහරට එක් කරන්නේ අභිමානයකි. එදා මෙදාතුර මහනුවර ඇසළ පෙරහරට අලි ඇතුන් සිය ගණනක් සහභාගී වී ඇත. පෙරහරේ ගමන් කරන අලි ඇතුන් ගණන් කිරීම කුඩා දරුවන් පමණක් නොව ඇතැම් වැඩිහිටියන්ද සිදු කරන්නේ පෙරහරේ හොඳ නරක තීරණය කෙරෙන ප්‍රධාන සාධකයක් බවට අලි ඇතුන් පත්ව සිටිනා බැවිනි. අලි වැඩි නම් පෙරහර හොඳය. මේ නිසාම පෙරහරට අලි ඇතුන් වැඩි සංඛ්‍යාවක් එක් කරන්නට නිළමේවරු සෑම විටම වග බලා ගනිති. පෙරහරේ අලි ගමන් කරනු බලන්නට ජනතාව කෙතරම් රිසි වුවද හිටි හැටි‍යේ අලියකු කුලප්පු වුවහොත් ඔවුනට දුවන්නට පාර මදි වේ. කුලප්පු වූ අලි පහර දීම්වලින් බොහෝ විට මිය යන්නේ ඇත් ගොව්වන්ය. කුලප්පු වූ විට අලියා පහර දෙන්නේ ඌ ආසන්නයේම සිටින පුද්ගලයාටය. මේ නිසා සෑම විටකම පාහේ ඊට ගොදුරු වන්නේ අලි බාස්ය. අලි පහරදීම්වලින් අලි බාස් උන්නැහේලා සෑහෙන පිරිසක් මියගොස් තිබේ. පෙරහරවලදී මෙන්ම බාහිර ස්ථානවලදී ද අලි කුලප්පු වෙති. අලි සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ‍යොමු කරමින් පසුගිය කාලය පුරා ගෙවී ගිය වසර 20 ක පමණ කාලය තුළ එවැනි අලි කුලප්පු වීම් 35 ක පමණ අත්දැකීම් මා සතුව ඇත. මේ අතර මිනිස් ජීවිත හා දේපොළ බේරා ගැනීම පිණිස අලියා නිර්වින්දනය කර ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සිදු වූ අවස්ථා 20 ක් පමණ තිබේ. බොහෝ විට නොසන්සුන්කාරී හැසිරීම් ප්‍රදර්ශනය කරමින් කුලප්පු වන්නේ පිරිමි අලිය. මඳ කිපී සිටින විටත් එසේ නොවී වෙනත් හේතු නිසාවෙන්ද අලි කුලප්පු වෙති. කුලප්පු වූ විට එක් එක් අලියා හැසිරෙන විදිහ වෙනස්ය. එකෙක් එක තැන කැරකෙත්දී තවකෙක් ජීවිත හා දේපොළවලට හානි කරන්නට පෙළඹෙති. සමහර අලි පිම්මේ ඉවක් බවක් නැතිව දිව යත්දී තවත් අලි අලි ගාල වෙතම දිව යන්නට වෑයම් කරති.

මඳ කිපීම සිදුවූ විට අලි පෙරහර සඳහා සහභාගි කරවන්නේ නැත. මද කිපුණු අලියා ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට වැඩි ඉඩක් පැවතීම මෙයට හේතුවයි. අලි බොහෝ විට මද කිපෙන්නේ සෑම වසරකම එකම කාල වකවානුවකදීය. අලි හිමිකරු හා අලි බාස් මෙම දින වකවානු හොඳින් දන්නා නිසා එම කාලයට සතා බැඳ තැබීමට වග බලා ගනිති. එනමුත් මඳ කිපීම ප්‍රථම වරට සිදු වන අවස්ථාවේ යම් අවධානමක් පවතී. සාමාන්‍යයෙන් අලියකුගේ මද කිපීම ආරම්භ වන්නේ වයස අවුරුදු 10-15 ත් අතර කාලයේදීය. ප්‍රථම මද කිපීම සිදු වන අවස්ථාව ඉතා වැදගත්ය. අපේ පාරම්පරික අලි බාස්ලාට අලියා මද කිපෙන කාලය දැන ගැනීමේ හැකියාවක් තිබිණි. නවීන විද්‍යාවෙන් දැන් සොයා ගන්නා කරුණු එකල ඔවුන් දැන සිටිය බවට සාක්ෂි තිබේ. පාරම්පරික එම දැනුම ක්‍රමයෙන් අභාවයට යමින් තිබෙන අතර එය රැක ගැනීම පිණිස විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත.

මද කිපී ඇති බවට සියලු ලක්ෂණ පහළ වීමට සති දෙකකට පමණ පෙර සිට අලියාගේ රැධිරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය ඉහළ යයි. මේ අවස්ථාවේ කිපීම ඇවිත් සුළු වෙලාවක් තිබී යළිත් පහව යන තත්ත්වයක් පෙන්නුම් කරයි. ප්‍රථම අවස්ථාවේදී නම් අලියාටද මේ සම්බන්ධව නිසි අවබෝධයක් නොමැති නිසා උගේ හැසිරීම් රටාවේ ක්ෂණික වෙනස්කම් දක්නට නොලැබෙයි. මෙම තත්ත්වයේ පසු වන අලියෙක් නොදැන පෙරහරේ ගමන් කරවීමෙන් අලියා කුලප්පු වීම සඳහා වැඩි අවස්ථාවක් පවතී. එමෙන්ම මද කිපීම අවසන් වූ පසුද දෙසතියක පමණ කාලයක් අලියා පිළිබඳ පූර්ණ විශ්වාසයක් තබා කටයුතු කළ නොහැකිය. සතාගේ හෝමෝන මට්ටම අඩුව යන්නේ ක්‍රමානුකූලවය. සතා මද ගතියෙන් මිදුණද හෝමෝන රුධිරයේ රැඳී තිබීය හැකිය.

මහනුවර ඇසළ පෙරහරේ සාමාන්‍යයෙන් පශු වෛද්‍ය කණ්ඩායම් දෙකක් හදිසි අවස්ථාවක් සඳහා ඕනෑම වෙලාවක මුහුණ දීමට සූදානමින් සිටිති. අලියකු කුලප්පු වූ අවස්ථාවක පශු වෛද්‍යවරයකු සිටීම ඇත් ගොව්වාට ශක්තියකි. නිවැරදි ලෙස හෙණ්ඩුව භාවිත කරන්න, දම්වැල් දාන්න, ටෝරෝප් දාන්න එවිට අලි බාස්ට විශ්වාසයක් හා ශක්තියක් ලැබේ. මෙවැනි අවස්ථාවක සෙසු අලි බාස්ලා‍ කටයුතු කරන ආකාරයද ඉතා වැදගත්ය. ඔවුන් තමන්ගේ අලියා ක්ෂේත්‍රයෙන් පිටත ස්ථානයක බැඳ කුලප්පු වූ අලියාගේ ඇත්ගොව්වාට උපකාර කරන්නට පෙරමුණට එති.

බොහෝ විට අලියා ගැන කතා කරනු මිස අලි බාසුන්නැහේලාගේ කාර්යභාරය පිළිබඳ එතරම් කතා කරන බවක් දක්නට නොලැබෙයි. එය ඇත්තෙන්ම සමාජ අවධානයට යොමු විය යුතු ඇගයුමට ලක් විය යුතු වෘත්තියකි. කුලප්පු වූ අලියකු නිර්වින්දනය කරන්නේ වෙනත් කරන්නට කිසිදු දෙයක් නොමැති විටය. අලියකු කුලප්පු වීම හා මිනිසකු නොසන්සුන්ව හැසිරීම දෙකකි. අලියකු කුලප්පු වූ ස්ථානයක නායකයකු සිටියද ලොක්කෙකු නොමැත. මද කිපුණු අලින්ගේ මද පොළෙන් මද ශ්‍රාවය පිටට ගලයි. මද කිපී අවසන් වේගෙන එන අවස්ථාවේ මද ශ්‍රාවය ස්වල්පයක් හෝ ඉතිරිව තිබුණහොත් ප්‍රශ්නයක් ඇති විය හැකිය. නොයකුත් වර්ගයේ රසායනික ද්‍රවයය මද ශ්‍රාවයේ අඩංගුය. මද කිපුණු අලියකු සිටින විට අනෙක් අලි ඌව සලකන්නේ අභියෝගයක් ලෙසිනි. මේ නිසා තරුණ හා ජ්‍යෙෂ්ඨ අලි මද කිපුණු අලියාට පහර දීමට පුළුවන. මෙය වනයේ සිද්ධාන්තයයි. මද කිපුණු අලියා වෙතින් නිකුත් වන ගන්ධයට ප්‍රතිචාර දක්වමින් ගැහැනු සතුන් ඌ වෙත ඇදී ඒමට පුළුවන. අකමැති සතුන් ඉවත්ව යෑමට උත්සාහ කරනු ඇත. මේ නිසා කලබලයක් ඇති වීමට ඉඩක් තිබේ. මද නොකිපී වුවද අලි කුලප්පු වෙති. පෙරහරේ ගමන් කරන විට තම ඇත් ගොව්වා පෙනෙන්ට නොසිටීම, ඇඳුම තරමක් හිර හෝ බුරුල් වීම, ඉදිරියෙන් යන නැටුම් කණ්ඩායමක නැටුමට හෝ එහි සාමාජිකයකු සමඟ පරණ කෝන්තරයක් තිබීම වැනි දේ අලි කුලප්පුවට හේතු වෙයි.

ඇතින්නියක් පෙරහරේ ගමන් කරමින් සිටින අතර තුර මළ පහ කිරීමේදී මළ සමඟ කොයෙක් සංඥා නිකුත් කරයි. එම සංඥා තේරුම් ගැනීමේ හැකියාව ඇත්තේ අලි ඇතුන්ට පමණි. ඇය ඇතින්නියක් බවට වන සංඥාව මළ සමඟ පිටවීමෙන් අනතුරුව පෙරහරේ පසුපසින් ගමන් ගන්නා අලියකු ලබාගත හොත් ඌ පෙරහර බිඳගෙන ඈ සොයා ඉදිරියට ඇදෙන්නට පුළුවන. මෙය හැකිතරම් අවම කිරීම සඳහා අලි මළපහ කළ විගස එම බෙටි පෙරහර මාර්ගයෙන් ඉවත් කරනු ලබයි. එකිනෙක පසුපසින් පෙරහර කිහිපයක් ගමන් ගන්නා නිසා නුවර පෙරහර තුළ මෙය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව දුෂ්කරය.

අලියා විශාල මතක ශක්තියක් ඇති සතෙකි. මොළයේ හයිපොතැලමසයේ ප්‍රමාණය අනුව මෙය විද්‍යාත්මකවද තහවුරු කර තිබේ. බුද්ධිය හා මතක තබා ගැනීමේ ශක්තිය දෙකකි. මතක තබා ගැනීමේ ශක්තිය වැඩි වීමට ඉපදෙන විට මොළයේ ධාරිතාව පරිණත මොළයෙන් කොපමණද කියන කාරණය බලපායි. මිනිසා උපදින විට මොළයේ ඇති එම ප්‍රමාණය අඩුය.

උපත ලද පසු සමාජයෙන් පවුල් පසුබිමෙන්, මවුපියන්ගෙන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් මිනිසා එම අඩුව සපුරා ගනී. මෙලෙස අධ්‍යයනය තුළින් මිනිසා 60 % -70 % පමණ එකතු කර ගනිමින් පරිණත මොළයේ ධාරිතාව සම්පූර්ණ කර ගනී. නොදියුණු සතුන්ගේ උපතේදීම හයිපොතැලමස කොටස 60 %-70 % ක් පමණ පිරී ඇත. පරිණත මොළයක් තත්ත්වයට පත් වීමට පරිසරයෙන් දැනුම ලබා ගැනීමට එහි ඉතිරිව ඇත්තේ 30 % ක තරම් කොටසකි. අලියාගේ මෙම අගය 35 % කි. මේ නිසා 65% ක් පමණම ඉගෙන ගත හැකිය. උපතින්මද ධාරීතාවක් තිබේ. මෙය අලියාට හොඳ මතක ශක්තියක් පිහිටීමට හේතු වී ඇත.

මිනිසුන්ට නොයෙකුත් හේතු නිසා කැලේ සිටි සතුන් තමන් ළඟ හදා වඩා ගැනීමට සිදු විය. ඉන් එක් ප්‍රධාන කරුණක් වූයේ ආහාර අවශ්‍යතාවයයි. එලෙස මිනිසා ළං කරගත් සතෙකු වන්නේ ඌරාය. ඊළඟට දඩයටමට මෙන්ම ආරක්ෂාවටද මිනිසා තමන් වෙත සතුන් ළංකර ගත්තේය. තනිකම කාන්සිය බෙදා හදා ගැනීමේ අරමුණද මේ තුළ විය. බල්ලා හා පූසා එවැනි සතුන් දෙදෙනෙකි. ලස්සන, සැර, උස, පාට ආදි නොයෙකුත් ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරමින් මිනිසා විවිධ අත්හදා බැලීම් ඔස්සේ බල්ලන් හා බළලුන් බෝ කර ගත්හ. ඒ ඔස්සේ අද බිහිව සිටින බල්ලා ඇත්තෙන්ම අතශයින්ම කෘත්‍රිම සතෙකි. මිනිසා තම අවශ්‍යතාව පමණක් සලකා මෙම සතුන් නිර්මාණය කරගෙන ඇත. උස බල්ලෝ දෙන්නෙක් එකතු කර ඊටත් වඩා උස බල්ලෙක් සදා මිනිසා මෙම සතුන්ගේ ස්වභාවික ලක්ෂණ සියල්ල යටපත් කරමින් කෘත්‍රිම සත්වයකු නිර්මාණය කර ඇත.ලස්සන බල්ලා සැර නෑ කියා පැමිණිලි කරන අවස්ථාද දක්නට ලැබෙයි. බල්ලාව ‍රැගෙන ගොස් කැලෑවක දැම්මහොත් ඌට ජීවත් විය නොහැකිය.

අලියා කැලෑ සතෙකි. එකම පරම්පරාවක් හෝ ගෘහාශ්‍රිතව ජීවත්ව නැත. එහෙත් කුමක් හෝ හේතුවක් නිසා අලියාත් අශ්වයාත් මිනිසා සමඟ ජීවත් වෙති. බල්ලා මෙන් ගෘහාශ්‍රිත සත්ත්වයකු නොවන අලියා යම් නොසන්සුන් හැසිරීමක් ප්‍රදර්ශනය කළ හොත් එය ප්‍රබල මාතෘකාවක් කර ගැනීම කොතෙක් දුරට සාධාරණද යන්න අප සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකි.

වන අලියාගේ ආයුෂ අවුරුදු 70 ක් පමණය. එහෙත් හීලෑ අලියකුගේ ජීවිත කාලය වසර 90 ඉක්මවයි. අලියාගේ ජීවිත කාලය තුළ හය වරක් දත් හැළෙයි. සාමාන්‍යයෙන් වසර 08 කට පමණ වරක් දත් කුට්ටමක් වැටෙන අතර අවුරුදු 65 පමණ විට අවසන් දත් කුට්ටම මතු වෙයි. එය හැළීමෙන් පසු අලියාට කෑමට යමක් ලබා ගැනීම අසීරු වී මරණයට පත් වෙයි. එහෙත් හීලෑ අලින්ගේ අවසන් දත් කුට්ටම අලි හිමියන් මෙන්ම ඇත් ගොව්වන්ද පරිස්සම් කරන්නේ අලියාගේ ජීවිතය රැඳී තිබෙන්නේ ඒ මත බව ඔවුන් දන්නා නිසාය. අවසන් දත් කුට්ටමට පෙර ගැලවී යන දත් සමඟ ඇති කොටස අලි හක්කය. කම්මුල්ගාය වැනි රෝගවලදී උරච්චි කර ගාන්නේ මේ අලි හක්කයි.

මහනුවර ඇසළ පෙරහර ඇතුළු දිවයිනේ පෙරහර මංගල්‍යයන් දහසකට වැඩි ප්‍රමාණයකට සම්බන්ධ වී අලි පිළිබඳ වසර විස්සකට වැඩි කාලයක් අත්දැකීම් ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පශු රෝහලේ අධ්‍යක්ෂ මහචාර්ය අශෝක දංගොල්ල මහතා සමඟ කළ සාකච්ඡාවකින් සැකසිණි.

සටහන - අසේල කුරුළුවංශ
ඡායාරූප - කුණ්ඩසාලේ සමූහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...