සතු­ට රැගෙන එන සණස

මෙරට සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවමින් ඔවුන්ගේ ජීවිතවල සතුට සහ ආත්ම තෘප්තිය උදා කරන සමාගමක් ලෙස සණස රක්ෂණ සමාගම මෙරට සමාගම් අතර කැපී පෙනෙයි. රක්ෂණයක් යනු ජීවිතයේ පවතින ගැටලු රැසකින් පුද්ගලයාට සහනය සලසන මුල්‍ය සේවාවක් බව ක්‍රියාවෙන් ඔප්පු කළ එම සමාගම, ප්‍රජාවගේ අභිවෘද්ධිය සලසමින් ඒ හරහා සිය සාර්ථකත්වයත්, කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ආත්ම තෘප්තියත් ළඟා කර ගන්නා ප්‍රජා මූලික ආයතනයකි.

‘රක්ෂණ ප්‍රතිලාභ ලබන පිරිස මෙන්ම, අප සමඟ සේවය කරන පිරිස පිළිබඳවත් සැලකීමේ දී වැඩිම සතුටින් ජීවත්වන පිරිස සිටින්නේ අප සමඟ බව ඉතා සතුටින් දැනුම්දීමට කැමැතියි. රක්ෂණයක් බලාපොරොත්තුවෙන් අප වෙත පැමිණෙන්නේ විශාල ගැටලු රැසකින් පීඩා විඳින පුද්ගලයෙක්. නමුත් රක්ෂණ හිමිකමක් ලබාගෙන සණස ශාඛාවෙන් ඔහු පිටව යන්නේ ඉතා සැහැල්ලු මනසකින්. ඒ වගේම, ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීම සහ ඔවුන්ගේ හිමිකම් පියවීම මගින් අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් ද විශාල ආත්ම තෘප්තියක් ලබනවා’ යනුවෙන් සණස රක්ෂණ සමාගමේ සාමාන්‍යාධිකාරී ඉන්දික කිරිවන්දෙණිය මහතා සඳහන් කළේය.

සණස රක්ෂණ සමාගම යනු, ජාතික සහ ආගමික සහජීවනය සඳහා ද කදිම නිදසුනක් බව ඉන්දික මහතාගේ අදහසයි. ‘සණස යනු මේ රටේ සියලු ආගම් සහ ජාතීන් නියෝජනය කරන ආයතනයක්. ඔවුන් සංවිධානය කරන ඕනෑම ආගමික උළෙලක් සඳහා ආගම් භේදයෙන් තොරව සියලු සාමාජිකයන් සහභාගී වනවා’

ඕනෑම පවුලක සතුට රඳා පවතිනුයේ කාන්තාව මත බව සණස රක්ෂණ සමාගම දැඩි ලෙස විශ්වාස කරන බව ද ඒ මහතා අවධාරණය කළේය. ‘සණස ව්‍යාපාරයේ වැඩි පිරිසක් කාන්තාවන් වීම විශේෂත්වයක්. ඕනෑම පවුලක සහ ප්‍රජාවක අරපිරිමැස්ම සහ දියුණුව සඳහා කාන්තාව අවියෝජනීය සාධකයක් බව අපගේ විශ්වාසයයි. වියදම් සහ පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතාවන් සමබර කරමින් සියලු දෙනාගේ සතුට සහ පවුලේ තිරසර බව පිළිබඳ වගකීම දරන්නේ මවුවරුන්’

ජනතාවගේ සතුට වෙනුවෙන් සණස රක්ෂණ සමාගම විවිධ පියවර රැසක් අනුගමනය කරයි. සෑම සති අන්තයකම මසකට වරක් සණස සමිතියේ මහ සභා රැස්වීම පැවැත්වෙන අතර, එහි දී ණය ලබා දුන් පිරිස, ඔවුන්ගේ ගැටලු, එම ගැටලුවලට විසඳුම්, ණය අනුමත කිරීම් සහ සුබසාධක වැඩසටහන් ඇතුළු ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා වැදගත් වන කරුණු රැසක් එහි දී සාකච්ඡාවට ලක් කෙරේ. ‘අපගේ කාර්යය වන්නේ එම ජනතාවගේ සතුට වෙනුවෙන් අවදානම ගැනීමයි. 1991 දී රු. 5ක් වැනි මුදලකින් ආරම්භ කෙරුණු මේ ආයතනය ඉන් වසර 27කට පසුව බිලියන දෙකක වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන්නේ හුදෙක් ඔවුන්ගේ සතුට පදනම් කරගෙනයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ක්‍රියාකාරී රක්ෂණ ඔප්පු අතරින් ලක්ෂ 3.5කට අධික ප්‍රමාණයක් අප සමඟ පැවැතීම එම සාර්ථකත්වය මැනවින් පිළිබිඹු කරනවා. තව ද ගෙවුණු වසර තුළ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පමණක් අප රු. ලක්ෂ 1000කට අධික ප්‍රමාණයක හිමිකම් පියවා තිබෙනවා. එලෙස, ඔවුන්ගේ ජීවිතවල ගැටලු රැසකට පිළියම් ලබා දීමට හැකි වීම පිළිබඳ අප සමාගම ලබන්නේ මිල කළ නොහැකි තෘප්තියක්’ යනුවෙන් ඉන්දික මහතා සඳහන් කළේය.

රක්ෂණයක් යනු මුල්‍යමය වශයෙන් මිනිසාගේ අනාගතය සවිබලගැන්වීමක් බවත්, එලෙස අනාගතය තහවුරු කිරීම මගින් මෙරට සණස සමිති 8000කට අධික ප්‍රමාණයකට අයත් පවුල්වල දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වන බවත්, එහි පූර්ණ ගෞරවය සමිති සභාපතිවරුන්ට හිමිවිය යුතු බවත් ඉන්දික කිරිවන්දෙණිය මහතා සඳහන් කළේය.

‘මේ අනුව ප්‍රජාවගේ සතුට ළඟා කර දීමේ පුරෝගාමී මෙහෙවර සිදු කරන්නේ සණස සමිතිවල අභිමානවත් සභාපතිවරුන්, කාරක සභා නියෝජිතවරුන් හා කාර්ය මණ්ඩලයයි. සණස ප්‍රජාව අතර අපරාධ, පවුල් ආරවුල්, සියදිවි නසා ගැනීම් සහ බාල අපරාධ වැනි සමාජ පිලිල ඉතා අවම බව මා ඉතා සතුටින් දැනුම්දීමට කැමතියි. එවැනි මෙහෙවරක් සිදු කරන සභාපතිවරුන්ටත්, අප සමඟ අත්වැල් බැඳ ගනිමින් ප්‍රීතිමත් සමාජයක් ගොඩනැඟීමට දායක වන සියලු දෙනාටත් අපගේ කෘතඥතාව පුද කරනවා’ යනුවෙන් ඒ මහතා අවසාන වශයෙන් සඳහන් කළේය.

ආර්ථික අගහිඟකම්වලින් පෙළෙන ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවමින් ඔවුන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක සණස රක්ෂණ සමාගම මෙරට ප්‍රමුඛතම ක්ෂුද්‍ර රක්ෂණ සේවා සම්පාදකයකු වෙයි. තිරසාරත්වය පවත්වා ගැනීමට සහ සංවර්ධනය කිරීම සඳහා එම සමාගම වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත. ක්ෂුද්‍ර රක්ෂණ ක්‍රම හරහා එම ජනතාවගේ ජීවන තත්ත්වය සංවර්ධනය කරන අතරතුර සමාගම එම ප්‍රජාවගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා විවිධ වැඩසටහන් දියත් කර ඇත. සමාජය වැඩි දියුණු කිරීම සඳහා සණස රක්ෂණ සමාගම සණස ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරයි. 

 

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...