සයුරු තෙර සොඳුරුතම සැමරුම හික්කඩුව

මදාරා මුද­ලිගේ

අහසත් පොළොවත් එකට යා කරන සිතිජය සැබවින්ම මනස්කාන්තය. මුහුදු සුළ‍ඟේ දෝංකාරය පරද්දන සුළු රළ නැ‍ඟෙන හඬ සැබවින්ම ගෙන එන්නේ තරගකාරී බවකි. මහා සාගර ජල කඳ පතාක යෝධයකු පරිද්දෙන් හැසිරෙන්නේ පුරුදුකාරයකු මෙනි. සුදු පැහැති කුඩා සිප්පි කටු ‍මුහුදු වෙරළ පුරා පැතිරී ඇත්තේ කලාත්මක කැටයමක් පරිද්දෙනි. ඒ අතර සිහින් සිරුරුවලින් යුත් විදෙස් කාන්තාවන් වෙරළ ඉස්මත්තේ සුවෙන් සැතපී සිටියි. තව ද ළමා ළපටීන් කිහිප දෙනෙක් මුහුදු ජලය සමඟ කෙළි දෙළෙන් ගත කරන්නේ මින් පෙර නොවිඳි ආස්වාදයක් ලබමිනි. මේ සියල්ල සැබවින්ම වෙරළ ආශ්‍රීත පරිසරයේ දක්නට ලැබෙන සුලභ දසුන්ය. ජනී ජනයා බොහෝමයක් තම සිත් සතන් වින්දනය කිරීම සඳහා මුහුදු වෙරළට ගොස් ජල ක්‍රීඩා කරන්නේ ඒ දෙස බලන්නකුට වුව ද යම් පෙළඔවීමක් ඇති කරවමිනි. තවත් සමහර සුදු ජාතිකයන් මුහුද ආශ්‍රිතව ඉදිකර ඇති අවන්හල්වල හිදගෙන මුහුදු ආහාරයන්ගේ රස බලන්නේය. හික්කඩුව වෙරළ තීරයට පැමිණෙන සංචාරකයන් ඔවුනොවුන්ගේ ලෝකවලය.

ගාලු නගරයේ සිට වයඔ දිශාවට කිලෝ මීටර් 20 ක් පමණ දුරින් ගාල්ලට ආසන්නයෙන් පිහිටි හික්කඩුව දකුණු පළාතේ ප්‍රධානතම සංචාරක නගරයකි. සර්ෆ් ක්‍රීඩාව, හිරු රැස් වීඳීම සඳහාම සංචාරකයන් හික්කඩුව ප්‍රදේශයට පැමිණීමට පුරුදුව සිටින්නේය. සංචාරකයන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන කාල වකවානුවේදී හික්කඩුවෙහි අවන්හල්, නිවාඩු නිකේතන හිමියන්ට ලාභ ඉපැයීමේ අවස්ථා රැසක් හිමිවේ.

එසේනම් මේ හික්කඩුව ප්‍රදේශ‍යේ සංචාරක නිකේතන, අවන්හල් පවත්වාගෙන යන ව්‍යාපාරකයන් කිහිපදෙනෙක් තම ව්‍යාපාර පිළිබඳ දැක් වූ අදහස් තුළින් සැකසූ සටහනකි.

මම චෙෆ් කෙනෙක්, මම පොඩි කාලේ ඉඳන්ම හිතුවා කවදහරි දවසක මගේම කියලා අවන්හලක් පටන් අරගන්න ඕන කියලා. මම කොහොමත් කෑම වර්ග හදන්න හරිම කැමතියි. ඒක ‍ මගේ ඇගේම තියන දෙයක්. මම මීට අවුරුදු 04 කට උඩදී තමයි මගේම කියලා සී ෆුඩ් රෙස්ටුරන්ට් (sea food) එකක් පටන් ගත්තේ. දැනට මගේ යටතේ සේවකයෝ තුන් දෙනෙක් වැඩ කරනවා. මගේ අවන්හලේ වැඩිපුරම හදන්නේ ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, මාළු වර්ග තමයි. ඊට අමතරව අපි හදන්නේ චිකන් තමයි. ඉස්සෝ, කකුළුවෝ පෝෂන් එකක් අපි දෙන්නේ රු1000 කට වගේ තමයි. දැනට නම් මේ ව්‍යාපාරයේ අභියෝග කිසිම දෙයක් මට නෑ. ඉස්සරහට මොනව වෙයි ද දන්නේ නෑ. ම‍ට නම් මේ අවන්හලෙන් හොඳ ආදායමක් මේ වෙන කොට ලැබිලා තියනවා යනුවෙන් තම ව්‍යාපාරය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කළේ Get fresh restaurant හි හිමිකරු සුරංග විජේරත්නය. මුහුදු ආහාර සඳහා වැඩි ඇල්මක් දක්වන සංචාරකයන් සඳහා ඔහු තම අවන්හලින් සපයන සේවාව ඉමහත්ය. ඔහු තමන්ට ආවේණික වූ සූපශාස්ත්‍රයන්ට අනුකූලව දිව පිනවන ආහාර මවන්නෙක් බවට පත්ව ඇත.

මම මේ ව්‍යාපාරය පටන් අර ගත්තේ 2006 අවුරුද්දේ. අපේ පවුලේ කට්ටිය එකතුවෙලා තමයි මේක කරගෙන යන්නේ. අපි ගෙස්ට් හවුස් එකත් එක්කම හෝටලයත් කරගෙන යනවා. මේ දවස්වල නම් අපිට සංචාරකයෝ එනවා අඩුයි. කොහොමත් සංචාරකයෝ එන්නේ සීසන් එකට තමයි. ඒ කියන්නේ ඔක්තෝබර්- දෙසැම්බර් මාසවල. ශ්‍රී ලංකාවේ කෑමයි, වයිනීස් කෑම තමයි අපි හදන්නේ. රු 2000ට විතර වෙනකම් මිල ගණන්වලට අපි කෑම වර්ග ඇණවුම් කරනවා. අපි ඉස්සර බොහොම පොඩියට තමයි පටන් ගත්තේ. දැන් අපි ටික ටික ඉදිරියට ඇවිත් තියනවා. ඒ ගැන සතුටුයි.

අපිට තියෙන ලොකුම අර්බුදය තමයි විදේශිකයන්ගේ ආරක්ෂාව අපට දෙන්න බැරි වෙන එක. අපේ ගෙස්ට් හවුස් එක තියෙන්නේ මුහුදට යාබදව මහ පාර අයිනේ. පාර අයිනේ තියන හින්දා ඒක සංචාරකයන්ට අවදානමක්. පාරේ යන කොට සංචාරකයන්ට ආරක්ෂාව මදි. අනතුරක් කොයිවේලේ සිදුවෙයිද කියලා අපි නිතරම තැතිගැන්මෙන් තමයි ඉන්නේ. හික්කඩුව කොහොමත් ප්‍රසිද්ධ සංචාරකයන්ට නේ. විදේශිකයන් ශ්‍රී ලංකාව ගැන හොඳ ප්‍රතිචාර දරනවා. ඒ හින්දා අපට හරි ආඩම්බරයි. එලෙස තම අදහස් දැක්වූයේ හික්කඩුවේ The universal beach restaurant හි හිමිකරු සුමිත් නානායක්කාරය‍.මහ පාර අසල පිහිටි තම ව්‍යාපාරය පිළිබඳව ඔහුට ඇත්තේ තෘප්තිමත් බවක් මෙන්ම අවදානම් බවකි. එහෙත් ඔහු තම උපරිම කැපවීමෙන් සංචාරකයන්ගේ අවශ්‍යතා ලබා දෙන්නේය.

පරණ රෙස්ටුරන්ට් එකක් අලුත්වැඩියා කරලා 2013 දී තමයි අපි මේක පටන් ගත්තේ. 2013 අවුරුද්දේ අපි සෑහෙන්න මහන්සි වෙලා තමයි ව්‍යාපාරය ආරම්භ කළේ. අපි ශ්‍රී ලංකන් කෑම වර්ග විතරයි දෙන්නේ. අපිට Local Market එක අඩුයි. අපිට ඉල්ලුම තියෙන්නේ විදේශිකයන්ගෙන් තමයි. ශ්‍රී ලංකාවේ අය ආවොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ෆූල් එක ඕන. අපිට ෆූල් එකක් නෑ. අපි bed and meal දෙන්නේ 4500 කට තමයි.‍ විදේශිකයෝ එන්නේ මුහුද බලාගෙන. ඒ ගොල්ලෝ උදේට රෙස්ට්හවුස් එකෙන් පිට වුණාම ආයිමත් එන්නේ හවසට, ශ්‍රී ලංකාවේ අය ආවහම ඇතුළට වෙලා ඉන්නවා. ඒ හින්දා ශ්‍රී ලංකාවේ අයට දෙන්න අපි ළඟ extra activities නෑ.

මේ කාලේ නම් off season . විදේශිකයෝ වැඩිපුරම එන්නේ දෙසැම්බර් 15 සිට මාර්තු 30 දක්වා තමයි.

කොහොම වුණත් මේ දවස්වල අපේ In Take එක අඩුයි. දැනට අපිට බලාපොරොත්තු වුණු In come එක ගන්න බැරි වුණා.

හික්කඩුව කියන්නේ හැම දෙයක්ම තියන සංචාරක ප්‍රදේශයක්. ඒ හින්දා අපි සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය වටහලා දෙන එක තමයි කරන්නේ. අපේ ගොඩනැගිලි පරණයි. අපේ රෙස්ට්හවුස් එකට ආව කෙනෙක්ට ශ්‍රී ලංකාවේ මීට අවුරුදු 50 කට උඩ දී තිබුණු පරිසරයෙහි ස්වභාවය විඳ ගන්න පුළුවන්. සංචාරකයෝ හික්කඩුවට එන්නේ නැත්නම් අපි මුළු අවුරුද්දම පාලනය කරන්නේ අමාරුවෙන් තමයි. ශ්‍රී ලංකාවේ අය ‍ආවොත් ඒක ටිකක් පාලනය කරන්න පුළුවන් යනුවෙන් තොරතුරු දැක්වූයේ villa birdlike පාලනාධිකාරියයි. මෙහි වත්මන් හිමිකරු වන්නේ ට්‍රෙෂාන් වීරසුරිය පෙරේරාය. නුතනත්වය අමතක කර දමා පෞරාණික දේශයක් සංචාරකයන්ගේ සිත් තුළට කාවැද්දීම සඳහා ඔහු ගෙන ඇති සංකල්පය අපූරුය. සැබවින්ම මේ ස්ථානය සුවිශේෂී වන්නේ ද එනිසාය.

මම water sport කරලා තියනවා. ඉදිරියටත් කරනවා. මට surf school එකකුයි gust house එකකුයි තියනවා. මීට අවුරුදු 15 කට උඩදී තමයි මම මේ දේවල් කරන්න පටන් ගත්තේ. දැනට සේවකයෝ 10- 12 ක් ඉන්නවා. කාමරයක් පවතින සීසන් එක අනුව තමයි දෙන්නේ. සාමාන්‍යයෙන් $ 100ක් විතර වෙනවා. water sport තියෙන්නේ surf school එකේ. පිටරටවලින් පුහුණුකරුවන් ගෙන්නලා තමයි මම මේ ක්‍රීඩාවන් උගන්වන්නේ. ‍ කාමර පහසුකම්, කෑමබීම, ක්‍රීඩාවන් එකට එකතු වුණාම රු 60,000-70,000ක් අතර මිලක් අපි අය කරනවා. ශ්‍රී ලංකාවේ අයටයි විදේශිකයන්ටයි එක සමාන මුදලකට තමයි අපි ඒ දේවල් ලබා දෙන්නේ. අපි පිටරටකට ගියාම ඒවාවල මිල ගණනුත් සමානයිනේ.

අපිට තිබෙන ලොකුම අර්බුදය තමයි අපි වගේ ව්‍යාපාරිකයන්ට රජයෙන් අය කරන වැට් එක වැඩි කරන එක. ඒ වැට් එක අඩු කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. අපි එක තැනින් සංචාරකයන්ට බෝහෝ දේවල් ලබා දෙන නිසා අපේ මිල ටිකක් සැරයි. අපේ අවට තියෙන අපි වගේ ව්‍යාපාර කරන අයගේ මිල ගණන් අඩුයි. අපි එතනදීත් තරමක් අපහසුවට පත්වෙනවා. මගේ අනාගත බලාපොරොත්තුව තමයි 2020 ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට සර්ෆ් ක්‍රීඩාව හදුන්වා දීම යනුවෙන් ප්‍රකාශ කළේ සංචාරකයන් හට ශ්‍රී ලංකාවේ සර්ෆ් ක්‍රීඩාව පිළිබඳ නිරන්තරයෙන්ම උනන්දුවක් ඇති කරවන Mambo's Hikkaduwa හි අයිතිකරු තුෂාර ( Bamboo)ය.

වසර ගණනාවක් මුළුල්ලේ තම හැකියාවන් දක්ෂතාවන් මෙන්ම පලපුරුද්ද තුළින් හික්කඩුවේ අවන්හල් ව්‍යාපාරකයන් අද පැමිණ ඇති ස්ථාවරත්වය ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරයන්ට ද රුකුළක් වී ඇත. ඒ මන් ද යත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් හික්කඩුවට ඒමට අමතක නොකරන නිසාය. මේ ව්‍යාපාරික ප්‍රජාව තම ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් සංචාරකයන් සමඟ ගනු-දෙනු කරන්නන්ය. ඒ බව මනාව මා හට අවබෝධ වූයේ තුෂාර ( Bamboo) අවසානයට පැවැසූ ‘අපි මේ රෙස්ටුරන්ට් ජීවිතයට දැන් පුරුදුවෙලා ඉවරයි’ යන්නෙනි. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...