සහන මල්ලක්! | දිනමිණ

සහන මල්ලක්!

 ආණ්ඩුව පොදු ජනතාවගේ ඇඟට දැනෙන සහන කිහිපයක් ලබා දී ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක වෙළෙඳ බද්ද අඩුකිරීම හා නියඟයට මුහුණ දෙන ජනතාවට ආහාර සලාකයක් නිකුත් කිරීම ද එම සහන අතර පවතී. වත්මන් ආණ්ඩුව දේශපාලනික වශයෙන් ජනප්‍රිය තීන්දු නොව; අර්ථාන්විත තීන්දු ගනු ලබන බව බුද්ධිමතුන්ගේ පිළිගැනීම වී තිබේ. නිදසුනක් ගතහොත් මෑත කාලයේ රටේ සංවර්ධනය සඳහා ගෙන ඇති තීන්දු හා තීරණ එතරම් ජනප්‍රිය ඒවා නොවේ. ජනතාව ඒවා ගැන හෘදයාංගම ලෙස කතා කරන බවක් ද පෙනෙන්නට නැත. එහෙත් මේවායෙහි දිගු කාලීන ප්‍රතිඵල ජනතාවට ලැබෙනු ඇත. ආණ්ඩුව රටේ අනාගතය ගැන අපේක්ෂා තැබිය හැකි ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වී ඇති අතර ජනතාවගේ කෙටිකාලීන අවශ්‍යතා ද මගහැර නොයන බව ඉහත තීරණවලින් පෙනී යයි.

ආනයනික සහල් කිලෝවක වෙළෙඳ බද්ද රුපියල් පහක් ලෙස දක්වා තිබිණි. එය ශත විසිපහ දක්වා පහත දමා ඇත. ආනයනික තිරිඟු පිටි කිලෝවක වෙළෙඳ බද්ද රුපියල් විසිපහක් ලෙස දක්වා තිබිණි. එය රුපියල් පහළොව දක්වා අඩුකර ඇත. තිරිඟු ඇට ආනයනය කිරීමේ දී අයකරන වෙ‍ළෙඳ බද්ද රුපියල් නමයක් ලෙස දක්වා තිබිණි. එය රුපියල් හය දක්වා අඩුකර ඇත. මේ අයුරින්ම ආනයනික මාළු සඳහා අය කරන වෙළෙඳ බද්දත් සෑහෙන ප්‍රමාණයකින් අඩුකර ඇත. මෙබඳු බදු අඩුකිරීමක් මෑත කාලයේ සිදු වී නැත. මෙහි අපේක්ෂාව වන්නේ පොදු ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම ය. අලුත් තත්ත්වයට අනුව සහල්, පිටි හා මාළු මිල පහත බැසිය යුතුය. පිටි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ද අඩු විය යුතුය.

නියඟයෙන් පීඩා විඳින දිස්ත්‍රික්ක දාහතක් පවතී. මේ දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ලක්ෂ දහයකට වැඩි පිරිසක් නියඟයෙන් දැඩි පීඩාවට පත් ව ඇතැ’යි කියති. ඔවුන්ගේ ප්‍රධාන මැසිවිල්ල වන්නේ කන්න තුනක් වගාව හානිවීම ගැන ය. අප දන්නා පරිදි මේ පළාත්වල ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ගොවිතැනය. කන්නයක් වැඩකොට එහි අස්වැන්නෙන් ලැබෙන ආදායම යොදවනුයේ ජීවත්වීමට හා ඊළඟ කන්නය වගා කිරීමටය. මේ වනවිට සුපුරුදු චක්‍රය අවුල් වී ගොවි පවුල්වල ජීවත්වීම අර්බුදයට ගොස් තිබේ. ජනාධිපතිවරයාගේ තීරණය වී ඇත්තේ ඉදිරි මාස දෙකක කාලය සඳහා අදාළ පවුල්වලට ආහාර සලාකයක් ලබාදීම ය. එය කා‍ලෝචිත පියවරක් ලෙස හැඳින්විය හැකි ය. නියඟයෙන් පීඩා විඳින ජනතාවට වහා ම ලබාදිය යුත්තේ පානීය ජලය හා ආහාර ද්‍රව්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.

නියඟය බොහෝ දෙනකුට අමතක වූ කාරණයක් බව ද සඳහන් කළ යුතුය. රටේ පවතින දේශපාලන ගැටුම්, අඛණ්ඩ වැඩ වර්ජන, ඩෙංගු උවදුර, ගංවතුර - නායයෑම්, සයිටම් ප්‍රශ්නය, කුණු කසළ අර්බුදය හා තවත් හේතු ගණනාවක් නිසා නියඟය අමතක වී ගිය මාතෘකාවක් බවට පත්වූයේ යැයි කිව හැකිය. එහෙත් ජනාධිපතිවරයා එය අමතක කළේ නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා නියඟය පවතින ප්‍රදේශ ගණනාවක නිරීක්ෂණ චාරිකා සිදු කළේය. සාමාන්‍ය ජනතාව හමු වී ප්‍රශ්න සාකච්ඡා කළේ ය. වැදගත් තීරණ රැසක් ගත්තේ එම නිරීක්ෂණ චාරිකාවලින් පසුව ය. නියඟය පවතින ප්‍රදේශවල කටයුතු නිරීක්ෂණය සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක හමුදා නිලධරයකු බැගින් පත් කිරීමටද පියවර ගෙන තිබේ. එය ද කාලෝචිත පියවරක් සේ හැඳින්විය හැකිය.

ජනතාවගේ ජීවන වියදම අර්බුදයට ගොස් තිබුණේ සැලකිය යුතු කාලයක සිටය. ආණ්ඩුව බලයට පත් වූ විගස රාජ්‍ය සේවක වැටුප් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැම්මේ ඊට පිළියමක් ලෙස ය. රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ මෙන් ම වතු අංශයේ ද වැටුප් වැඩි කිරීමට සිදු විය. මෙය අවිධිමත් රැකියා ක්ෂේත්‍රය කෙරෙහි ද බලපෑවේ ය. ඒ අනුව කුලීවැඩ කරන පුද්ගලයන්ගේ පවා දෛනික ගෙවීම් ඉහළ ගිය බව පිළිගත යුතුය. තත්ත්වය එසේ පැවතුණ ද භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ ගියේ ය. එය නිදහස් වෙ‍ළෙඳ පොළෙහි ස්වභාවය ලෙස පෙන්වා දිය හැකි ය. උද්ධමනයට මුහුණ දීමේ දී එහි වැඩි බර දැනෙන්නේ දුප්පත් ජනතාවට ය. අප මුලින් සඳහන් කළ සහන කෙළින් ම දුප්පත් ජනතාවට ලබාදුන් සහනයක් ලෙස සඳහන් කරන්නට පුළුවන.

මෙහි දී වෙළෙඳ ප්‍රජාව ජනතාවට අදාළ සහනය ලැබෙන පරිද්දෙන් ක්‍රියා කළ යුතුව තිබේ. සහල්, තිරිඟු පිටි හා මාළු යනු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුනකි. මේවායෙහි වෙළෙඳ බද්ද අඩු කිරීමේ අර්ථය වන්නේ සමස්ත වෙළෙඳ පොළෙහි ඉහත භාණ්ඩ සම්බන්ධයෙන් පවතින මිලෙහි අඩුවක් ඇති කිරීම ය. සතොස වැනි මහජන ආයතනවලට මේ සම්බන්ධයෙන් වැදගත් වැඩ කොටසක් ඉටුකළ හැකි ය. සාමාන්‍ය තත්ත්වයට අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් වෙළෙඳ මාෆියා ක්‍රියාත්මක වේ. සහල් වෙළෙඳ පොළ ගතහොත් එහි ඒකාධිකාරය ඇත්තේ පෞද්ගලික අංශය මත ය. ඔවුන් සහල් සඟවා මිල ඉහළ දමන බව ප්‍රසිද්ධ කාරණයකි. එහෙත් ආනයනික සහල් අඩුමිලට වෙළෙඳපොළට නිකුත් කළහොත් මේ ඒකාධිකාරය බිඳ දමා ජනතාවට සහන සැලැසිය හැකි ය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින වෙළෙඳුන්ගේ උපායමාර්ග ඉතා සංකීර්ණ ය. ඒවා ආණ්ඩුවකට අල්ලා ගැනීමට බැරිතරම් සූක්ෂ්ම ය. ඇතැම් විට භාණ්ඩවල මිල ඉහළ යන්නේ දේශපාලන උපාය මාර්ග ලෙස ය. ඒවා වළක්වාගැනීම ද අසීරු ය. ආණ්ඩුවක් මේවාට නොයෙක් ආකාරයෙන් මුහුණ දිය යුතුව තිබේ. වෙළෙඳ බද්ද අඩුකිරීමට තීන්දු කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය ය. මේ තීන්දුව ගැන ජනතාවගේ කෘතඥතාව පළවන බව නිසැක ය. සහල්, පිටි හා මාළු යනු ජනතාවගේ දෛනික අවශ්‍යතා ලෙස හැඳින්විය හැකි ය. මේවායෙහි මිල ඉහළ යන විට කෙළින් ම චෝදනා හා විවේචන එල්ලවන්නේ ආණ්ඩුවට ය. නිදහස් වෙළෙඳ පොළෙහි ආර්ථික හැසිරීම පිළිබඳ ක්‍රියාවලිය ජනතාවට අදාළ නැත. ඒවා විමැසීමේ වුවමනාවක් ද ජනතාවට නැත. සමස්තයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාව වැනි රටවල් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව දුප්පත්කම යැයි කිව හැකි ය. දුප්පත්කම තුරන් කිරීම සඳහා නිදහසින් පසු වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වී ඇත. දේශපාලන බල පෙරැළි අනුව එම වැඩසටහන්වල ස්වභාවයන් ද වෙනස් වෙයි. මේ වැඩසටහන් දෙස බලන විට පෙනී යන්නේ ඒවා ජයග්‍රාහී තැනකට පැමිණ නැති බවය. රටේ අද පවතින දුප්පත්කමෙන් එය පැහැදිලි වෙයි. අද කිසිදු රාජ්‍යයකට හුදෙකලා වී සංවර්ධනය සාක්ෂාත් කරගත නොහැකිය. ආර්ථිකය ගෝලීය ගනුදෙනුවලින් පිරී පවතී. රජය මේ තත්ත්වය වටහාගෙන ලෝක දැක්මක් ඇතිව ආර්ථිකය මෙහෙයවන බව පෙනෙයි. එහෙත් සමස්ත ප්‍රජාව එය වටහාගෙන ඇති බවක් පෙනෙන්නට නැත. කුමක් වුව දිගුකාලීන ආර්ථික සැලැසුම් ක්‍රියාත්මක කරන අතර කෙටිකාලීන සහන ද ජනතාවට ලබාදීම වැදගත් ය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...