නාමල්ගෙන් මිලදී ගත් රථය මුදාහරින්නට පියවර ගන්නැයි නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත්ව තිබී පසුව වෙනත් පුද්ගලයෙකු විසින් මිලදී ගත් බව කියන සුපිරි රථයක් මුදාහැරීම සඳහා සති 03ක් ඇතුළත මූලික කටයුතු සිදුකරන ලෙස නියෝග කර තිබේ.

ඒ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම නියෝගය ලබාදුන් අතර අද දිනයේ විත්තියේ නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත විසින් අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා ඇත්තේ මෙම මෝටර් රථය අව් වැසිවලට නිරාවරණයවී එක්තැනක දිරාපත්වෙමින් පවතින නිසා එය මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් එය මුදාහැරීමට විරෝධය දක්වන බව පැමිණිල්ලේ නීතිඥයින් එහිදී පවසා තිබේ.

කෙසේ වුවත් මේ දක්වා සිදුකරන ලද පරීක්ෂණවලට අදාළව හෝ මෝටර් රථයට නඩු පවරා ඇතත් වෙනත් කිසිවෙකු හෝ සැකකරුවෙකු ලෙස නම්කර නොමැති තත්ත්වයක් තුළ මෝටර් රථය පවා දිරාපත්වෙමින් පැවතීම කනගාටුවට කරුණක් බැව් විත්තියේ නීතිඥවරයා පෙන්වාදී තිබේ.

මේ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම මෝටර් රථය මුදාහැරීම සඳහා මූලික කටයුතු සති 03ක් ඇතුළත සිදුකරන ලෙස නියෝග කළ අතර අදාළ නඩුව යළි එළඹෙන 31 වන දිනට කැඳවීමට තීරණය කර තිබේ.

නාමල් රාජපක්ෂට අයත්ව තිබී පසුව වෙනත් පුද්ගලයෙකු විසින් මිලදී ගනු ලැබූ මෙම සුපිරි මෝටර් රථය කඩුවෙල ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සොයාගැනීමෙන් පසුව ඊට එරෙහිව නඩු පවරා තිබුණි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...