හම්බන්තොට වරාය ව්‍යාපෘතිය 2010-2017 මිලියන හතලිස් හතරදහසක පාඩුවක් | දිනමිණ

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය 2010-2017 මිලියන හතලිස් හතරදහසක පාඩුවක්

ස්වර්ණා විජේකෝන්

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය 2010-2017 කාල සීමාවේදි රුපියල් මිලියන හතලිස් හතරදහසක පාඩුවක් ලබා ඇතැයි වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

2016 වසරේදී හම්බන්තොට වරාය රුපියල් මිලියන දහසක පාඩුවක්ද 2015 වසරේදී රුපියල් මිලියන දහඅට දහසක මුදලක පාඩුවක්ද ලබා ඇති බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

මේ වරාය ව්‍යාපෘතිය වෙනුවෙන් පසුගිය රජය ලබාගත් ණය ගෙවීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 9100ක මුදලක් වෙන්කිරීමට සිදුවන බවත් එය තව දුරටත් සිදුකළ නොහැකි හෙයින් මෙම වරාය නිවැරදි ලෙස යෙදවීම වෙනුවෙන් චයිනා මර්චන්ට් සමාගමට බදු දීමට තීරණය කළ බවත් ඇමැතිවරයා පැවැසීය.

ඇමැති මහින්ද සමරසිංහ මහතා මේ බව සඳහන් කෙළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති මහින්ද සමරසිංහ මහතා:-

පසුගියදා අත්සන් කළ හම්බන්තොට වරාය ගිවිසුම ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.ඒ වගේම මේ ගිවිසුම පිළිබඳ ඊයේ (01) කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළා. එහිදි මේ ගිවිසුම පිළිබඳ අධ්‍යයනය කිරීමට මැති ඇමැතිවරුන්ට සතියක කාලයක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මට දැනුම් දුන්නා.ඒ අනුව එම කාල සිමාව ලබා දිමට තීරණය කළා.එමෙන්ම මේ ගිවිසුමට අදාළ සංශෝධන කිහිපයක් සිදුකිරීමටත් කැබිනට් මණ්ඩලයේදී තීරණය වුණා.

මේ ගිවිසුමට අදාළ ඕනෑම වෙලාවක සංශෝධන සිදුකිරීමේ හැකියාව තිබිය යුතු බවත් ජනාධිපතිවරයා යොජනා කළා.එයත් මුදල් අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව යටතේ ලබාදුන් යෝජනා කිහිපයක්ද සංශෝධන ලෙස ඉදිරිපත් කරනවා.ඉන් පසුව මේ පිළිබඳ ලබන අඟහරුවාදා කැබිනට් මණ්ඩලයේදි නැවත මේ පිළිබඳ සාකච්ඡා කරන අතර ඉන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාද කිරිමටයි ආණ්ඩුව සැළසුම් කෙළේ.නමුත් මේ විවාදය පැවැත්වීමට නියමිතව තිබු පසුගිය සිකුරාදා ඒකාබද්ධ විපක්ෂය සභාව මැදට පැමිණ පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් කළා. ඇත්තටම ඔවුන්ට මේ පිළිබඳව විවාද කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ.ඔවුන් එදා සැළසුම් සහගත අයුරින් පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් කළා.පාර්ලිමේන්තු සම්ප්‍රදාය,ස්ථාවර නියෝග ආදි සියල්ලටම පටහැනි අයුරින් මේ අය කටයුතු කළේ.ඇත්තටම ඔවුන් මේ විවාදය මගහැරියා.ඒ අය මේ විවාදය අපේක්ෂාවෙන් සිටියනම් විවාදය සඳහා අවස්ථාව දෙන්න තිබුණා.නමුත් එසේ නොකර සභාවේ කටයුතු අවුල් කළා.

මේ ගිවිසුම අත්සන් කිරිමේන් පසුව හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තිරණය කර තිබෙනවා.ඇත්තටම මෙය හොද අවස්ථාවක්.අත්සන් කරන ගිවිසුම ඉදිරිපත් කළයුතු බවට නීතිමය එකඟතාවක් නැහැ.නමුත් මේ සියල්ල විනිවිද භාවයෙන් යුතුව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව නිසා අපි මෙය ඉදිරිපත් කරනවා.පසුගිය පාලන සමයේ වගේ නෙවෙයි.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සෑම දෙයක්ම විනිවිද භාවයෙන් යුතුව සිදු කිරීමේ අවශ්‍යතාව තිබෙනවා.ඒ තුළ වගකීම, වගවීම අත්තර්ගත වෙනවා.ඇත්තටම මෙය හොඳ සම්ප්‍රදායක්.

හම්බන්තොට වරාය ගිවිසුමේ අන්තර්ගතය ගැනත් අවධානය යොමුකළ යුතුයි.මේ වරාය ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ව්‍යාපෘතියක්.දළ වශයෙන් රුපියල් මිලියන 193ක ව්‍යාපෘතියක්.නමුත් පසුගිය රජය යටතේ මේ ව්‍යපෘතියෙන් සියයට විසිපහක වැඩවත් අවසන් කර තිබුනෙ නැහැ.නමුත් මේ ව්‍යාපෘතිය යම් තරමකට හෝ ආරක්ෂා කරගැනීමේ අපේක්ෂාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන තීන්දුවක් ගත්තා.එනම් වාහන රැගෙන කොළඹට එන නැව් හම්බන්තොටට ගෙන්වා ගැනීම වෙනුවෙන් දේශපාලන තීන්දුවක් ගත්තා.ඇත්තටම මේ තීරණය නිසා වාහන ගැණුම්කරුවන්ට අමතර මුදලක් ගෙවන්නට සිදුඋනා.වාහන ආනයනය කරන නැව් හම්බන්තොට වරායට ඇවිල්ලත් 2016 වසරේදී නැව් පැමිණ තිබෙන්නේ 14යි.2015 දී නැව් 17ක් ඇවිත් තිබෙනවා.හම්බන්තොට වරායේ ඇත්ත තත්ත්වය මෙයයි.හම්බන්තොට වරාය අයිනෙ හිටගෙන හිටියා කියලා නැව් එන්නෙ නැහැ.ඇත්තටම හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ආරම්භ කළේ ණයක් අරගෙන.නමුත් ආයෝජනයේ ප්‍රමාණයට කිසිම ලාභයක් ලබන්න බැරිඋනා.හම්බන්තොට වරාය ව්‍යාපෘතිය 2010-2017 කාල සීමාව තුළ අමෙරිකානු ඩොලර් බිලියන හතලිස් හතරක් හෙවත් රුපියල් මිලියන හතලිස් හතරදහසක මුදලක පාඩුවක් සිදුව තිබෙනවා. 2016 වසරේදී වරාය රුපියල් මිලියන දහසක පාඩුවක් ලබාතිබෙනවා.2015 වසරේදී රුපියල් මිලියන දහඅට දහසක මුදලක පාඩුවක් ලබා තිබෙනවා.සමහරු කියනවා.හම්බන්තොට වරාය ලාභ ලබනවලු.මම ඒ අයට කියනවා.ආදායම ලාභයට සමාන කරන්න බැරි බව.හම්බන්තොට වරාය 2016 වසරේදී රුපියල් මිලියන 2000ක ආදායමක් ලැබුවා.නමුත් එය ලාභයක් නෙවෙයි.වියදම්, ඇතුළු අනෙකුත් දේවල් වලට ගියාම ඉතිරිවුනේ මොනවද,

ඇත්තම කතාව නම් හම්බන්තොට වරාය වසරින් වසර පාඩු ලැබුවා මිස එකම අවුරුද්දක්වත් ලාභ ලැබුවෙ නැහැ.හම්බන්තොට වරාය අලාභයෙන් බේරාගැනීමට අමෙරිකානු ඩොලර් මිලියන 44 ක් වැය කරන්න වෙනවා.ඒ වගේම මේ වෙනුවෙන් ණය මුදල් ලෙසත් විශාල මුදලක් ගෙවන්නට සිදුවෙනවා.ඒ වගේම හම්බන්තොට වරායට ගත් ණය වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 9100ක් වෙන්කරන්න වෙනවා.ඒක කරන්න වෙන්නෙ වරාය අධිකාරිය යටතේ පවතින අනෙකුත් වරායන්වල ආදායමත් මේ ණය වෙනුවෙන් යොදවමිනුයි.එවිට සේවක සුභසාධනය, ඇතුළු අනෙකුත් කටයුතු කරන්නේ කොහොමද?ඒ නිසා තව දුරටත් මේ ණය ගෙවමින් කටයුතු කිරීම අපහසු නිසයි චයිනා මර්චන්ට් සමාගම සඳහා හම්බන්තොට වරාය වෙනුවෙන් මෙම ගිවිසුම අත්සන් කළේ.මේ ණය ගෙවන්න අපට භාණ්ඩාගාරය ශතයක්වත් දුන්නෙ නැහැ.වැඩිම ලන්සුව ඉදිරිපත්වූ චයිනා මර්චන්ට් සමාගමට මෙය ලබාදීමට රජය තීරණය කළා.

ඒ අය ලබාදුන් ලංසුව අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක්. ඒ වටිනාකමින් සියයට 80ක් කියන්නේ බිලියන 1.12ක්. මුලින් අපේ කොටස වුනේ සියයට 20ක්. මම ඇමැතිවරයා ලෙස පත්වී මේ සාකච්ඡාවලට සම්බන්ධ වූ පසු අපට සියයට 30ක් අවශ්‍ය බවට වන පදනමේ සිට සාකච්ඡා කළා. ඒ අනුව අපි ඒ කොටස දැන් ලබාගෙන තිබෙනවා.

මෙය භාණ්ඩාගාරයට රුපියල් මිලියන 973ක් දක්වා වැඩිකර ගත්තා. ඩොලර් මිලියන 146ක මුදලක් ආයෝජනයක් ලෙස ගෙනෙනවා. ඒ ආයෝජන කරන ආකාරයත් අපේ අනුමැතිය මත කළ යුතුයි. ඒ වගේම තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් මෙහි සංවර්ධන කටයුතු කර ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒමට සඳහා වසර 5ක් තුළ යොදවන්න සිදුවෙනවා.

එක් පැත්තකින් ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් භාණ්ඩාගාරයට එනවා මෙන්ම මෙහි ඉදිකිරීම් කටයුතු ආදියත් සිදුවෙනවා. මෙයට වරාය අධිකාරිය ආයෝජනයක් නොකළත් සියලූ සම්පත් අයිති වෙන්නේ වරාය අධිකාරියටයි. මෙහි කටයුතු කිරීම සඳහා ලාංකික සමාගම් දෙකක් ඇතිකර තිඛෙනවා. හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෘප් නම් ආයතනය මෙහි පර්යන්ය පාලනය කරනවා. මේවා චීන සමාගම් නෙවෙයි. පර්යන්තය පාලනයේදී ඔවුන්ට සියයට 85ක් හිමිවන අතර සියයට 15ක් වරාය අධිකාරියට හිමිවනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ කොළඹ වරායේ පර්යන්ත චීන සමාගම්වලට දුන්නේත් ඒ ආකාරයෙන්මයි. මුලින් අපට යෝජනා කර තිබුනේ සියයට 10ක් වුණත් මම එයට විරුද්ධ වුණා.

අනෙක් සමාගම වන වරායේ සේවා සපයන හම්බන්තොට ඉන්ටර්නැෂනල් පොර්ට් සර්විසස් සමාගමෙනුත් ඔවුන්ට සියයට 58ක් හා අපට සියයට 42ක් හිමිවෙනවා. මේ දෙක එකතු කළාම බිලියන 1.4ක් වෙනවා. මේ සමාගමේ සභාපතිධූරය දරන්නේ වරායේ අධිකාරියේ සභාපතිවරයායි. ඒ වගේම එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගෙන් 7න් 4ක් පත්කිරීමේ බලය ඇමතිවරයා ලෙස මට හිමිවෙනවා. මෙහිදී වරාය අධිකාරියේ පනත සංශෝධනයට මම විරුද්ධ වුණා. ඒත් ආයෝජකයින්ට පහසුකම් සපයන්න කටයුතු කළ හැකි බව කීවා. වරාය පනත යටතේ වරායේ සේවාවන් පෞද්ගලික අංශයට දෙන්න බැහැ. ඒ නිසා අපේ බලය තියාගෙන පනතට පටහැනි නොවන ලෙස සේවා සැපයීමේ ක්‍රමවේදයක් ලෙසයි අපි කටයුතු කර තිබෙන්නේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ 2014 සැප්තැම්බර් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ගිවිසුමට වඩා මෙහි ලොකු වෙනස්කම් තිඛෙනවා. එදා ගිවිසුම අනුව භාණ්ඩාගාරයට සතයක්වත් ලැබෙන්නේ නැහැ. අදාළ චීන සමාගම වසර 3ක් ඇතුළත වරායට ඩොලර් මිලියන 390ක ආයෝජනයක් කළ යුතු බව තිබෙනවා. ඒ වගේම සියයට 65ක කොටස් චීන සමාගමටත් සියයට 35ක කොටස් අපට ගන්නත් යෝජනා කර තිබුණා. අපේ ගිවිසුම ඊට වඩා වාසියි. භාණ්ඩාගාරයට විශාල මුදලක් ලැබෙනවා. ඒ මුදලින් අපේ විදේශ සංචිතය ශක්තිමත් වෙනවා. එයින් රුපියල පාලනය කිරීමේ හැකියාව ලබාගත හැකි නිසා ජීවන වියදම පාලනයට හැකියාව ලැඛෙනවා. මුදල් සැපයුම වැඩිවීමෙන් පොලී අනුපාතය අඩුවෙනවා. එයින් ආයෝජන වැඩිවී රැකී රක්ෂා අවස්ථා ඇතිවෙනවා. මේ අනුව අපේ ආර්ථීකය ශක්තිමත් වෙනවා. ඒ තමයි විදේශ සංචිතය වැඩිකිරීමේ මන්තරය. මෙවැනි ආයෝජනයක් කිරීමෙන් තවත් ආයෝජකයින් දිරිමත්වීමත් සිදුවෙනවා.

මේ සම්මුතිවාදී රජයට තුනෙන් දෙකක බලයක් තිඛෙනවා. මේ තුළ ඉදිරියේදී තවත් ආයෝජන රටට ලැඛෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපඬ මහතා ගෙනා යෝජනාවෙන් ණය බර අඩු නොවන නමුත් දැන් අපි තඹ ශතයක්වත් ගෙවන්න වෙන්නේ නැහැ. එයින් ඉතිරිවන රුපියල් මිලියන 9100න් අපිට සේවකයන්ගේ සුභසාධන කටයුතු නංවන්න, අනෙකුත් වරාය දියුණු කරවන්න යොදාගන්න පුළුවන්. එක වෘත්තීය සමිතියක් හැර අන් සියල්ල මෙයට එකඟ වුනේ ඒ නිසයි.මේ ගිවිසුමෙන් වරාය අධිකාරිය තවත් ශක්තිමත් වී තිඛෙනවා. මේ තුළ වරාය අධිකාරියේ ලාභය රුපියල් බිලියන 10ක් 11ක් කරගත හැකියි. ගිය වසරේ ලාභය වුනේ රුපියල් බිලියනයක් පමණයි. ඒ නිසයි වරායේ සේවකයින් වැඩ වර්ජන නොකළේ. ඔවුන්ට මේ ගැන ප්‍රශ්නයක් නැත්නම් අනිත් අයට කැක්කුමක් තිබිය යුතු නැහැ.ඒ වගේම මහින්ද රාජපක්ෂ රජයක් යටතේ හම්බන්තොට වරාය ජනසතු කරන බවට බැසිල් රාජපක්ෂ මහතා කියා තිබෙනවා මමත් දැක්කා.නමුත් එතුමා කියන දේවල් ජනතාව දන්නවා.හම්බන්තොට වරාය ජනසතු කරනව නම් ෆෝට් සිටි හා ෂැංග්‍රිලා ව්‍යාපෘතියත් ජනසතු කරන්න ඕන.

වරාය හා නාවික කටයුතු නියොජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා:- හම්බන්තොට වරාය ව්‍යාපෘතිය චීන සමාගමකට බදුදී සිදුකළ මෙම ව්‍යාපෘතිය ඇත්තටම ඉතා වැදගත්.එසේ නොකළානම් මේ ණය කන්දෙන් ගොඩ ඒමේ වෙනත් කිසිඳු ක්‍රමයක් නැහැ.මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු ඉදිරි සති දෙක තුළ ආරම්භ වේවි.මේ ගැටළුව කාලයක් තිස්සේ ඇදි ඇදී ගියා.මහින්ද රාජපක්ෂ රජය යටතේ මෙම ව්‍යාපෘතිය ලබාදීමටයි නියමිතව තිබුනේ.හම්බන්තොට යනු මහවැලි ව්‍යාපෘතියට පසුව මේ රටේ සිදුවූ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියයි.මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අපි ඉඩම් අක්කර 1154ක් ලබාදී තිබෙනවා.මේ ඉඩම්වල ආයෝජනයට ආයෝජකයො එනවා.ඒ ආයෝජන හරහා රැකියා ලැබෙන්නේ අපේ දරුවන්ට.ඒ වගේම පසුගිය කාලයේ හම්බන්තොට වරායේ සේවය සඳහා යෙදවූ 448ක් අපි ස්ථිර කළා.හම්බන්තොට වරාය මේ ආකාරයට ආයෝජනය කිරීම නිසා සමස්ථ වරාය පද්ධතියම ශක්තිමත් ලෙස නඟා සිටුවීම කල හැකියි. 

නව අදහස දක්වන්න