නියඟය....! | දිනමිණ

නියඟය....!

 නියඟය අප බොහෝ දෙනකුට අමතක වූ මාතෘකාවක් බවට පත් ව තිබේ. දිස්ත්‍රික්ක දාහතක දස ලක්ෂයකට අධික ජනතාවක් පීඩා විඳිමින් සිටිති. පානීය ජල හිඟය, වගා හානිය, වන අලින්ගේ කරදර හා ජීවත්වීමේ ආර්ථික අපහසුව ද මේ ජනතාවට තිබේ. විශේෂයෙන්; නියඟයට හසු වූ ප්‍රදේශවල කන්න තුනක් වගා කර නැත. මෝසම් වැස්ස, අන්තර් මෝසම් වැසි මේ ප්‍රදේශවලට ලැබී නැත. වැව් පද්ධති සිඳී ඇත. අපට අමතක වුව ජනාධිපතිවරයාට මේ පිරිස අමතක වූයේ නැත. ජනාධිපතිවරයා නියඟය පවතින ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වී ජනතාව කැටුව සාකච්ඡා කර ඇත. සහන ලබාදීම සම්බන්ධයෙන් නිලධාරීන්ට උපදෙස් ද ලබා දී ඇත. ජනතාව මේ ගැන කෘතඥතාව පළ කර සිටිති.

දේශපාලන ගැටුම්, වැඩ වර්ජන, ගංවතුර උවදුර, නායයෑම් වැනි අර්බුද රැසක් නිසා නියඟය පිළිබඳ සිද්ධිය යට ගියේ යැයි සිතන්නට පුළුවන. දකුණට, බස්නාහිරට හා සබරගමුවට අධික වර්ෂාපතනයක් ලැබී ස්වභාවික විපත් උත්සන්න වෙමින් පවතින අවස්ථාවක ද, උතුර, උතුර මැද හා නැ‍ඟෙනහිර පළාත් ද නියඟයෙන් බැටකමින් පැවැතිණි. දැන් එය වයඹ පළාත තුළ ද පැතිර තිබේ. නිදසුනක් ගතහොත් නියඟයෙන් වැඩි ම පිරිසක පීඩාවට පත් ව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ය. මේ හැරෙන්නට අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව හා පුත්තලම යන දිස්ත්‍රික්කද නියඟයෙන් දැඩි ලෙස බැටකන තත්ත්වයක පවතී.

නියඟය පැතිර ඇති බොහෝ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත්තේ ගොවිතැන ය . මේ අතරින් වී ගොවිතැන විශේෂ ය. වතුර නැතිව වී ගොවිතැන සිදු කළ නො හැකිය. ඇතැම් පළාතක වී ගොවිතැන සිදුකරන්නේ අහස් වැස්සෙන් ය. ප්‍රමාණවත් අහස් වැස්සක් අදාළ ප්‍රදේශවලට ලැබී නැත. තව ප්‍රදේශවල වී වගාව සිදු කරන්නේ ප්‍රධාන ජලාශවලින් ලැබෙන ජලයෙන් ය. ප්‍රධාන ජලාශ බොහොමයක ජල ධාරිතාව 25%ක පහළ මට්ටමක පවතී. තවත් ප්‍රදේශවල වී වගාව සිදු කරන්නේ සාම්ප්‍රදායික වැව් අමුණවලින් ය. ඒ සියල්ල පැවැති නියඟයත් සමඟ සිඳී ගොස් ඇත. ඇතැම් වැව් මුළුමනින්ම සිඳීගොස් ඇත. ඉදිරි මෝසම් වැස්ස සක්‍රීය නොවුණහොත් මේ පළාත්වල ජනතාව තවදුරටත් අසීරුවට පත්වීම නොවැළැක්විය හැකි ය.

දැන් පවතින්නේ නියඟය පවතින ප්‍රදේශවල ජන ජීවිතය කඩා වැටෙන තත්ත්වයකි. මේ අනුව සහන ලෙස ආහාර සහනයක් ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. මේ වනවිටත් බොහෝ ප‍්‍රදේශවලට පානීය ජලය සපයන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයයි. රජය මේ වෙනුවෙන් රුපියල් දස ලක්ෂ හතළිහක් වැය කර ඇතැ’යි කියති. නියඟය පවතින ප්‍රදේශවල ප්‍රධාන ගැටලුව පානීය ජලය පිළිබඳ ප්‍රශ්නය යැයි කියන්නට පුළුවන. දැනට ජලය සැපයෙන්නේ බවුසර් මඟින් ප්‍රවාහනය කිරීමෙන් ය. මේ සඳහා යොදාගත හැකි වෙනත් විකල්පයක් නැත. වගා හානිය සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. එසේ නියං සහනාධාර ලබා දෙන්නේ නම්; කන්න තුනක් සඳහා ආධාර ලබාදීමට සිදු වනු ඇත.

සහල් හිඟයක් පිළිබඳ ආරංචි පැතිර යමින් පවතින අතර වෙළෙඳුන් මේ තත්ත්ව‍යෙන් අයුතු ප්‍රයෝජන ලබන්නටත් පුළුවන. රජය අදාළ කරුණු ගවේෂණය කොට පිටරටින් සහල් ආනයනය කිරීමට තීන්දු කර තිබේ. එය බුද්ධිමත් තීරණයකි. මේ අනුව ඉන්දියාව, තායිලන්තය, පාකිස්ථානය හා මියන්මාරය යන රටවලින් සහල් ආනයනය කිරීමට නියමිත ය. වෙළෙඳ පොළෙහි සහල් හිඟ තත්ත්වයක් දකින්නට ලැබුණහොත් කූට වෙළෙඳුන් තමන්ගේ සහල් තොග සඟවා කෘත්‍රීම හිඟයක් මවන්නට පුළුවන. ඒ අනුව අධික මිලක් අය කරන්නටත් පුළුවන. මිල ඉහළ දැමීමට පෙර සහල් වෙළෙඳ‍පොළ  ශක්තිමත් කිරීම වැදගත් ය. සැලැකිය යුතු කාලයක් සඳහා සහල් තොග පැවතුණ ද වෙළෙඳුන් ක්‍රියා කරනුයේ වෙළෙඳ පොළ තත්ත්වය සැලැකිල්ලට ගනිමින් ය. සහල් තොග පිටරටින් ආනයනය කිරීම වැදගත් වන්නේ ඒ නිසා ය.

පවතින නියඟය නිසා තවත් ප්‍රශ්න ගණනාවක් මතුවිය හැකිය. ඉන් ප්‍රධාන වන්නේ විදුලිය සැපයීමය. ජල විදුලිය නිෂ්පාදනයට අදාළ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ප හළ බැස ඇත. ඒවායෙහි පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා වරින් වර විදුලිය කැපීමට ද සිදුවේ. තවම රටට දැනෙන විදුලිය කැපීමත් සිදුවන්නේ නැත. එහෙත් ජලය ඉතා සුරක්ෂිත ලෙස භාවිත නොකළහොත් අනාගතයේ විදුලිය පිළිබඳ ප්‍රශ්නය පමණක් නොව; පානීය ජලය පිළිබඳ ප්‍රශ්නය ද උග්‍ර වන්නට පුළුවන. බස්නාහිර, දකුණ වැනි පළාත්වල කැපී පෙනෙන ජල හිඟයක් නැතත්; ඉදිරියේදී එවැන්නක් මතු විය හැකි ය. නියඟය අප රටට බලපාන්නේ සැලැකිය යුතු කාලයක සිට වුව මේ ගැටලුවට මුහුණ දිය හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් තවම සකසාගෙන නැත.

මෑත ඉතිහාසය ‍දෙස ආපසු හැරී බැලුවද: උගත හැකි පාඩම් ගණනාවක් තිබේ. ‍තෙත් කලාපය පෝෂණය වූයේ ගංගා නිම්නවලින් හා ස්වභාවික කුඩා ජලාශවලින් ය. ඇතිතරම් පිරිසුදු පානීය ජලය ද, කෘෂිකර්මයට අවශ්‍ය ජල සැපයුම ද ‍තෙත් කලාපයට එමඟින් ලැබිණි. වියළි හා ශුෂ්ක කලාපවලට ජලය සපයන ප්‍රධාන මාර්ග දෙකක් තිබිණි. එක; පාරම්පරික වැව් පද්ධතිය යි. දෙක අලුතින් ඉදිකළ වාරිමාර්ග පද්ධතිය. මහවැලි වැනි යෝජනා ක්‍රම ඊට ඇතුළත්ය. එහෙත් මේ වනවිට වැව් පද්ධති මුළුමනින්ම පාහේ අබලන් ය. තව අතෙකින් ඒවා ඉතා ඉක්මනින් සිඳී යයි. නව යෝජනා ක්‍රමවල ජලාශද වෙනදා තරම් සරු නැත. මෝසම් වැස්ස හා අන්තර් මෝසම් වැසි රටාවකට අනුව නොලැබීම නිසා ජලාශවල සශ්‍රීකභාවය පිරිහෙමින් පවතී. මේවා ගැන සමාලෝචනයක් සිදු කොට ප්‍රතිසංස්කරණ ක්‍රියා මාර්ග ගත යුතුව තිබේ.

පවතින නියඟයේ තවත් භයානක ප්‍රතිඵලයක් වන්නේ වන සතුන් ගම්වැදීම ය. ජල හිඟය හා ආහාර හිඟය නිසා වන අලින් ගම්වලට කඩා වදින්නට පටන්ගෙන තිබේ. ඔවුන් ගම් ආක්‍රමණය කොට ගෙවල් - දොරවල් කඩා දමන බවක් ද වාර්තා වෙයි. මෙයින් මතුවන්නේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි තත්ත්වයකි. පොළොන්නරුව, අනුරාධපුරය වැනි දිස්ත්‍රික්කවල වන අලි ගම් වැදීම පිළිබඳ ප්‍රශ්නය උග්‍ර වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයාට ද ‍මේ සම්බන්ධයෙන් වාර්තා ලැබී ඇති බවක් දැනගන්නට ඇත. මේ ගැටලුව ඉදිරියේ දී තවත් උග්‍රවන්නටත් පුළුවන. නියඟයේ සමස්ත ප්‍රතිඵලය ගෙන බලන විට එය තරමක සාහසික බව පෙනී යයි. ‍මේවාට විසැඳුම් සෙවීමේ දී සංකීර්ණ ගැටලු සමූහයක් මතු වෙයි.

නියඟය පිළිබඳ මීට වැඩි සැලකිල්ලක් අප සියලු දෙනා වෙතින් පළවිය යුතුය. සාමුහික ක්‍රියාවලියක් ඔස්සේ ගැටලු විසඳාගැනීම පහසු ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...