පාර්ලිමේන්තුවට විහිළු සැපයීම | දිනමිණ

පාර්ලිමේන්තුවට විහිළු සැපයීම

ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් ස්වකීය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන ආඩම්බර වෙති. එය බ්‍රිතාන්‍යයන් වෙතින් අප ලබාගත් දායාදයක් වන්නේ වුව; දකුණු ආසියාවේ පැරණිම පාර්ලිමේන්තු ක්‍රමය ඇත්තේ ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට ය.

ඒ ගැන අභිමානයක් ඇති කර ගැනීම වරදක් නො වේ. ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වූ ඉන්ද්‍රකුමාර් ගුජ්රාල් මහතා වරක් කියා සිටියේ අපේ රටවල දියුණුව සඳහා මේ ක්‍රමය රැකගත යුතු බව ය. අපේ හිටපු නායකයන් ද පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැකගැනීම සඳහා බලවත් කැපකිරීම් සිදුකර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ පාර්ලිමේන්තු ක්‍රමය හා එහි සම්ප්‍රදාය රැකගැනීම සඳහා හැදෑරීම් කළ යුතු බව ය.

මේ කාලය වනවිට පාර්ලිමේන්තුවේ ගෞරවය, අභිමානය හා එහි පැවැති රාජ්‍ය තාන්ත්‍රිකභාවය කෙමෙන් පිරිහෙන්නට පටන්ගෙන තිබේ. මහජන නියෝජිතයන්ගේ විනය බෙහෙවින්ම පිරිහීමකට පත්ව ඇත. සමහරු අශෝභන ලෙස කතා කරති. තව සමහරු පාර්ලිමේන්තු සම්ප්‍රදාය බිඳ දමමින් සභාවේ හැසිරෙති. තවත් සමහරු කඩාකප්පල් වැඩ කරති. වැදගත් සංවාදයක් මතුකර ගැනීමේ හැකියාව නූතන පාර්ලිමේන්තුව තුළ නැතැ’යි කියන්නට පුළුවන. මෙයින් අනතුරු හඟවා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ යන්න ය. ඒකාධිපති පාලකයකුට පාර්ලිමේන්තු ක්‍රමයෙන් පලක් නැත. එහෙත් ජනතාවාදී රජයක් නිත්‍ය ලෙසම මේ ක්‍රමයත් සම්ප්‍රදායත් යන දෙක ම රැකගත යුතු ය.

ඉහත පූර්විකාව ලියා තබන්නට සිදුවූයේ ගිය සිකුරාදා පාර්ලිමේන්තුව තුළ සිදුවූ සම්ප්‍රදාය විරෝධී, විහිළුකාර සිද්ධි මාලාව නිසා ය. එය සම්ප්‍රදාය විරෝධී පමණක් නො ව; නීති-විරෝධී, සදාචාර විරෝධී හා නිල නොලත් ක්‍රියාවලියක් ලෙස හැඳින්වීම නිවැරැදි ය. පාර්ලිමේන්තුව යනු රටේ උත්තරීතර ආයතනය යි.

එය ඇත්තේ විහිළු සැපයීමට හෝ කලහ කිරීමට නො වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වී ඇතැ’යි සලකනු ලබන මන්ත්‍රීවරුන් පිරිසක විසින් ඉහත නාටකය රඟදක්වන ලදී. මේ පිරිස ව්‍යවස්ථා සභාවේ ගෞරවය විනාශ කළහ. මහජන විශ්වාසය බිඳ දැමූහ. සම්ප්‍රදාය, සදාචාරය හා නීතිය උල්ලංඝනය කළහ. මේ සඳහා නීතිමය පියවරක් ගනු ඇතැ’යි සාමාන්‍ය ජනතාව විශ්වාස කරති. අප දන්නා හැටියට කතානායකවරයාට එම පියවර ගත හැකි ය.

එක මන්ත්‍රීවරයෙක් කතානායක ආසනයේ අසුන් ගත්තේ ය. තව මන්ත්‍රීවරයෙක් සභාව ආරම්භ කරන සීනුව නාද කළේය. ඉක්බිති නිල නොලත් කථානායකවරයා සභාව හැසිරවීය. මන්ත්‍රීවරු කිහිපදෙනෙක් දේශන පැවැත්වූහ. විනාඩි දහයක් පුරාවට නිල නොලත් සම්ප්‍රදාය විරෝධී ව්‍යවස්ථා සභාවක් පැවැත්විණි. අප දන්නා ඉතිහාසය තුළ මෙබඳු විහිළුවක් පාර්ලිමේන්තුවෙන් වාර්තා වී නොතිබිණි.

ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ගෙන් තොරව පාර්ලිමේන්තුව පවත්වන්නේ කෙසේද යනු ගැටලුවෙකි. මේ නාටකය දෙස ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සිනාසෙමින් බලා සිටි බවද වාර්තා වී ඇත. එය ද වරදක් ‍බව කිව යුතු ය. සමාජයක සිදුවන වැරැදි හමුවේ බුද්ධිමතුන් නිහඬවීම බලවත් අපරාධයක් බව පිළිගත් මතය වේ.

මෙදින සාකච්ඡාවට ගැනුණේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත ය. එය මහජනයා සම්බන්ධයෙන් ද රටේ සංවර්ධනය සම්බන්ධයෙන් ද වැදගත් වන පනතකි. එය සාකච්ඡාවට ගත් අවස්ථාවේම මන්ත්‍රීවරු පිරිසක් සභාව මැදට පැමිණ ඝෝෂා කළහ. එහෙත් පනත සම්මත විය. එහෙත් ගාලගෝට්ටිය නොනැවතිණි.

ඒ අනුව පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයාට සිදුවිය. කලහකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන්ගේ ඉලක්කය වන්නට ඇත්තේ පනත පරාජය කිරීම විය හැකිය. එය අසාර්ථක වීමෙන් පසු කළ හැකි අන් දෙයක් නොවූයෙන් විහිළුකාර නාට්‍යය රඟදක්වන්නට ඇතැ’යි සිතිය හැකි ය. මෙයින් පෙනී යන්නේ මහජන සේවා අඩාල කොට රට අස්ථාවර කිරීමේ ප්‍රයත්නයක් ද සිද්ධියට යටින් ඇති බව ය. මේවාට ඉඩ ප්‍රස්ථා ලබාදෙන්නේ නම්; රට කරවීම අපහසු වනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක විපක්ෂය හෝ විපක්ෂ කණ්ඩායම් හෝ ආණ්ඩු පක්ෂය තරම් ම වැදගත් හා ප්‍රධාන වන දේශපාලන කණ්ඩායමක් ලෙස සලකනු ලැබේ. ඔවුන් වෙත පැවරෙන වගකීම අති විශාල ය.

ආණ්ඩු පක්ෂය සේ ම මහජනයා වෙනුවෙන් පෙනී සිටීමේ යුක්තිය විපක්ෂය ද පවරා ගත යුතු ය. අද වනවිට නිලලත් විපක්ෂයක් මෙන් ම නිල නොලත් විපක්ෂයක් ද පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබේ. මේ නිල නොලත් විපක්ෂය දිගින් දිගටම පාර්ලිමේන්තු කටයුතුවලට බාධා එල්ල කර තිබේ. ඔව්හු දැන් එය පුරුද්දක් කරගෙන සිටිති. එක අතෙකින් රටට වැදගත් සාකච්ඡාවක් කිරීම අපහසු ය. තව අතෙකින් පාර්ලිමේන්තුවේ වටිනා කාලය විහිළු සඳහා නාස්ති කරයි. අපට හැ‍ඟෙන පරිදි මෙය ජාතික අපරාධයෙකි. බුද්ධිමත් ජනතාව මෙබඳු දෙවල් අනුමත කරන්නේ නැත.

අප දන්නා හැටියට රටක පාර්ලිමේන්තුව එම රටේ අනෙකුත් දේශපාලන ආයතනවලට ආදර්ශ සපයන තැනක සිටිය යුතු ය. එහෙත් අද එය සිදුවන්නේ නැත. එබඳු තැනකට පාර්ලිමේන්තුව පත්ව ඇත්තේ නිල නොලත් විපක්ෂය ගෙන යන සම්ප්‍රදාය විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියාකාරකම් නිසා ය. සිකුරාදා සභාව තුළ ද සෙංකෝලය පැහැර ගැනීමේ උත්සාහයක් පැවැති බව වාර්තා වී ඇත. උතුරු මැද පළාත් සභාවේ සිද්ධියක දී සෙංකෝලය පැහැරගෙන එය දෙකට කඩා දැමුණු බව වාර්තා වී තිබිණි. පාර්ලිමේන්තුවේ ඇතැම් දේවල් පහළ දේශපාලන ආයතන වෙත කාන්දු වී තිබේ. සමස්තයක් ලෙස ගත් කල දේශපාලන අවුලක් මෝදුවෙමින් පවතී. මෙය වහා නැවැත්විය යුතුය යන්න අපගේ පිළිගැනීමය.

වත්මන් රජය ඕනෑවටත් වඩා දේශපාලන නිදහසක් ලබා දී ඇතැ’යි තර්ක කරන්නට පුළුවන. නිදසුනක් ගතහොත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ විවේචනය කිරීමට කිසිදු බාධාවක් නැත. විවේචනයෙන් පසු විවේචකයා පසුපස සුදු වෑන් හඹා එන්නේ නැත. ජනමාධ්‍ය සඳහාද එබඳු නිදහසක් පවතී.

එහෙත් එම නිදහස සදාචාරාත්මක ලෙස භාවිතා කරන්නේ ද යනු ගැටලුවකි. ඇතැමුන් මේ වනවිට යහපාලනය විවේචනය කරන්නට පටන්ගෙන ඇත්තේ එහි ලිහිල්භාවය තව අය වැරැදි ලෙස භාවිත කරන නිසා ය. පාර්ලිමේන්තුවට සිදුවී ඇත්තේ ද එය ම යැයි කියන්නට පුළුවන. මේ සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් රටට වැදගත් බොහෝ දේවල් ගිලිහී යන්නට පුළුවන. මහජන නියෝජිතයන් වුව නීතිය හා සදාචාරය උල්ලංඝනය කරන්නේ නම්; ඔවුනට සමාවක් අවශ්‍ය නැත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...