හම්බන්තොට වරාය...!

හම්බන්තොට වරායට අදාළ අතීත කතාන්දර අසනවිට අපට ඇතිවන්නේ උද්දාමයකි. එම කතාවලට අනුව මේ වරාය විවෘත කිරීමෙන් පසු සේද මාවත යළි පණගැන්වෙයි. දිනකට නැව් 200ක් හෝ 250ක් හෝ හම්බන්තොට වරායට සේන්දු වෙයි. ඒවාට තෙල් වතුර හා තවත් භාණ්ඩ සැපයීමෙන් අපට විශාල විදේශ විනිමයක් ලැබෙයි. මීට අමතරව මුල්‍ය ගනුදෙනු, සේවා සැපයුම් ආදී විවිධ ක්‍රියාකාරකම් නිසා ද අපේ ආදායම් තරවෙයි. රැකියා සම්පාදනය ඉහළ යයි. දකුණ පමණක් නොව; සමස්ත ශ්‍රී ලංකාවම මේ වරාය ඔස්සේ දියුණුවට පත්වෙයි. ඒ අනුව දකුණු ආසියාවේ දියුණුම රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. අප එදා කල් යැවූයේ එම සිහිනයේ ය. නැතහොත් ආසියාවේ ආශ්චර්යය යන සිහින සාප්පුවේ ය.

2008 ජනවාරි 15 දා සුමනදාස අබේගුණවර්ධන නම් ප්‍රකට ජ්‍යෝතිෂවේදියාගේ සුබ නැකතකට අනුව වරායේ පළමු අදියර විවෘත විය. 2010 දෙසැම්බර් 18 දා තවත් සුබ නැකතකට අනුව පළමුවන නැව හම්බන්තොට වරායට සේන්දු විය. ඒ සියල්ල උත්සවශ්‍රීයෙන් සමරනු ලැබිණි. එහෙත් එතැන් සිට එම වරායට කණ කොකා හඬන්නට පටන් ගත්තේ ය. සැලැසුම් කළ ආකාරයට වරායට නැව් පැමිණියේ නැත. මෙහි ඉදිකිරීම් වෙනුවෙන් ලබාගත් විශාල ණය මුදල පොලියත් සමඟ ගෙවන්නට සිදුවිය. වැඩිකල් නොයාම හම්බන්තොට වරාය සුදු අලියකු බවට පත් විය. මේ අභිනව වරාය රජයට බරක් විය. වරාය අධිකාරියට බරක් විය. අවසන් ලෙස එය මහජනයාගේ හිස මතට පාත් වූ හෙණ ගෙඩියක් ලෙස පැවැතිණි.

පාලකයන්ගේ හා නායකයන්ගේ වැරැදි උපකල්පන නිසා ජනතාව අසීරුවට පත්වන බව අමුතුවෙන් කිව යුතු නැත. මත්තල ගුවන් තොටුපොළ , උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය පවතින්නේ ද මේ තත්ත්වයේ ය. එදා ආරම්භකොට ක්‍රියාත්මක වන තවත් මෙබඳුම මහා ව්‍යාපෘති ගණනාවක් තිබේ. ඒවා ඉදිකිරීම සඳහා ලබාගත් ණය මුදල් ඇතැම් විට අපතේ ගොස් ඇත. ඇතැම්විට දූෂණයට හා අක්‍රමිකතාවලට ගොදුරු වී ඇත. මේවා නිවැරැදි කිරීමේ කාර්යයද, ඒවායෙහි කටයුතු ප්‍රතිසංස්කරණයට ලක්කොට ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ කාර්යය ද දැන් වත්මන් ආණ්ඩුව වෙත පැවරී තිබේ. ඒ සඳහා අලුත් ආර්ථික උපායමාර්ග සෙවීම ද වත්මන් රජයේ වගකීමක් බවට පත් ව තිබේ.

මේ වගකීම ඉටුකරන්නේ කෙසේ ද? අලුත් ආර්ථික උපාය මාර්ගවලට අනුව කළ යුත්තේ රටේ මුදල් පිටරටට ඇදී යාමට සැලැස්වීම නොව; පිටරට මුදල් රටට ගලා ඒමට සැලැස්වීම ය. එක අතෙකින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම සඳහා ප්‍රමාණවත් මූලධනයක් අපට නැත. තව අතෙකින් රටේ සම්පත් විකිණීම ද කළ නොහැකි ය. අපට කළ හැක්කේ ධනවත් විදේශීය සමාගම් සමඟ ඒකාබද්ධ වී මේ ව්‍යාපෘති ඉදිරියට කරගෙන යෑම ය. සිංගප්පූරුව, ඩුබායි, මැලේසියාව, හොංකොං වැනි රාජ්‍යයන් මෙබඳු ආර්ථික කටයුතුවලදී වඩාත් ප්‍රායෝගික ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත. එම ආදර්ශ ශ්‍රී ලංකාව ද ලබාගත යුතුය. රටේ අනාගතය හා අනාගත සංවර්ධනය ගැන කල්පනා කරන නායකයන් එම රටවලින් ආදර්ශ ලබාගත යුතුය.

හම්බන්තොට වරාය දියුණු කිරීමේ වගකීම රජය භාරගෙන ඇත්තේ චීන සමාගමක සහයෝගයද ලබා ගනිමින් ය. මේ චීන සමාගම අවශ්‍ය මුදල් හා උපදේශනය ලබාදෙන අතර කළමනාකරණය රටවල් දෙකෙහිම ඒකාබද්ධතාවෙන් ගොඩනැඟුණු සමාගමක් විසින් භාරගනු ලැබේ. හම්බන්තොට වරාය දියුණු කළ හැකි වෙනත් මාර්ගයක් පෙනෙන්නට නැත. මේ ක්‍රියාවලිය දේශපාලන වශයෙන් විවේචනයට ලක්වෙයි. එහෙත් වරාය දියුණු කළ හැකි විකල්ප ක්‍රියාමාර්ග කිසිවකු ළඟ නැත. චීන සමාගම සමඟ අදාළ ගිවිසුම අස්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ද ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි. අද මීට අදාළ ගිවිසුම අස්සන් කිරීමට නියමිතය. ඊට අදාළ විරෝධතා ගණනාවක් නවතා දමා ඇති අතර සුළු පිරිසක් විරෝධතා පවත්වන බව කියා සිටිති.

රාජ්‍යයක් සතු භෞතික සම්පත් බදුදීම, හවුල් ව්‍යාපාර පවත්වාගැනීම, මානව සම්පත්වලින් උපරිම ඵල ප්‍රයෝජන ලැබීම, ආදායම් ඉපැයීම, ආයෝජන ලබාගැනීම, ගෝලීය ආර්ථිකය සමඟ ගනුදෙනු ආරම්භ කිරීම වැනි නූතන දියුණු ආර්ථික ක්‍රියාවලිය ගැන නිසි වැටහීමක් ජනතාවට නැත. ඇතැම් දේශපාලකයන්ට හා දේශපාලන ව්‍යාපාරවලටද එම වැටහීම නැත. නිදසුනක් ගතහොත් ත්‍රිකුණාමල චීන වරායට අයත් තෙල් ටැංකි සමූහය දීර්ඝ කාලයක් තිස්සේ හිස් ගුදම් ලෙස මහ කැළෑවක නිකරුණේ පැවැතිණි. මේවා ඉන්දීය සමාගමකට බදු දී ආදායමක් ලැබීමට සැලැසුම් සකස් කරන විට විවිධ ව්‍යාපාර ඊට එරෙහි වෙති. එහි අර්ථය වන්නේ තෙල් ටැංකි හිස් ගුදම් ලෙස පැවැතීම වඩා හොඳ බව ය. ඒ අයුරින් රටක ආර්ථිකය මෙහෙයවීම අසීරුය.

විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වීම මහජන අයිතියක් ලෙස සැලැකිය හැකි ය. එහෙත් එම විරෝධතාවලට පැහැදිලි පදනමක් හා ඉලක්කයක් තිබිය යුතුය. වෘත්තීය සමිති සටන් වැදිය යුත්තේ හරි දේවල් සඳහා පමණි. මීට දින කිහිපයකට පෙර ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති කිහිපයක් විසින් මෙහෙයවන ලද වැඩවර්ජනය මුළුමනින් ම අසාර්ථක විය. ඒ පමණක් නොව වෘත්තීය සමිතිවලට එරෙහිව මහජනයා නැඟී සිටින තත්ත්වයක්ද දැකගන්නට ලැබිණි. එක අතෙකින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අභියෝගයට ලක් වී තිබේ. තව අතෙකින් බරපතළ හානි රැසක් ද සිදු වී තිබේ. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ඇති වූ හිරිහැරය හා පාඩුව පෙරළා බැරවන්නේ මහජනයා මතට ය. එබැවින් වෘත්තීය සමිති පරෙස්සමෙන් හා බුද්ධිමත් ව සිය කටයුතු මෙහෙයවා ගත යුතුය.

නූතන ලෝකයේ ආර්ථික කටයුතු තීන්දු වන්නේ ගෝලීය ගනුදෙනු හා කලාපීය ගනුදෙනු අනුව ය. අප පළමුව එම තත්ත්වය වටහාගත යුතුව තිබේ. ලෝකයේ කිසිදු රාජ්‍යයකට තනි ගමනක් යෑමේ හැකියාවක් නැත. නිදහසින් පසුව මේ යථාර්ථය හොඳින් වටහාගත් පළමු නායකයා හැටියට සැලැකිය හැක්කේ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා ය. ඔහු කෘතහස්ත දේශපාලනඥයකු ලෙස අනාගත ලෝක ආර්ථිකය වටහා ගෙන ඉන්දියාවටත් පළමුව අපේ ආර්ථිකය නිදහස් ක‍ළේය. 1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා නොදෙන්නට ශ්‍රී ලංකාව අද ලබා තිබෙන දියුණුව කිසිසේත්ම ලබා ගන්නේ නැත. ශ්‍රී ලංකාව අද පසුවන්නේ ලෝකයේ ඕනෑම දියුණු රාජ්‍යයක් සමඟ ගනුදෙනු කළ හැකි තත්ත්වයක ය. මෙයින් ප්‍රතිලාභ ලබාගැනීමට අද නායකයන් පෙළ ගැසිය යුතු ය.

හම්බන්තොට වරායේ සිහින යථාර්ථයක් බවට පත්කර ගැනීමේ අවස්ථාව අපට ලැබී තිබේ. එය මඟහැර ගියහොත් සිදුවන්නේ වී ගබඩාවක් ලෙස වරාය පවත්වාගෙන යෑමට පමණි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...