'ළඟ­දීම තනි­කඩ ජීවි­තේට තිත තිය­නවා' | දිනමිණ

'ළඟ­දීම තනි­කඩ ජීවි­තේට තිත තිය­නවා'

මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයන් අතර හිරු නාළිකාවේ විකාශය වෙන 'පත්තිනි' ටෙලි නාට්‍යයට සුවිශේෂී තැනක් හිමි වෙලා තියෙන බව ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් දැනගන්න ලැබුණා. මෙහි පත්තිනි චරිතය නිරූපණය කරන්නේ පුංචි තිරයේ මෙන්ම සිනමාවේ ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චි. අතිශයින් කාර්ය බහුල රංගන ශිල්පිනියක් වන තාරුකා ලැබුණු පුංචි විරාමයකදී රසඳුන සමඟ කතා කරන්නට අමතක කළේ නැහැ.

 අද නිවාඩු ලැබිලා වගේ?

ඔව්. පොඩි නිවාඩුවක් ලැබුණා.

ආරංචි වුණේ නම් 'ගොඩක් කාර්යබහුල' වෙලා කියලා.

කාර්යබහුලයි කියන්නේ මෙහෙමයි. ටෙලි නාට්‍ය දෙකක් මේ දවස් වල විකාශය වෙනවා. තව ෆිල්ම් එකක වැඩ කරගෙන යනවා. ඒකෙත් වැඩ ඉවර වෙමින් තමයි තියෙන්නේ.

ප්‍රථම වතාවට ඓතිහාසික ටෙලි නාට්‍යකට දායක වෙන්න අවස්ථාව ලැබුණා නේද?

ඔව්. 'පත්තිනි' ටෙලි නාට්‍යයට. කියන්න සතුටුයි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දැන් කරන හොඳම ටෙලි නාට්‍ය තමා 'පත්තිනි' කියන්නේ.

'පත්තිනි' කියන චරිතය විටෙක ඔබට අභියෝගයක් වෙන්න ඇති නේද?

ඔව්. 'පත්තිනි' කියන්නේ ගොඩක් දෙනා අදහන දේව චරිතයක්. ඒ වගේම ඒ වගේ චරිතයක් කරද්දී අපිත් ගොඩක් පරිස්සම් වෙන්න ඕන, මොකද ඒ වගේ චරිතයකට හානියක් නොවෙන්න සහ අපිට හානි කරගන්නේ නැතුව චරිතයට සාධාරණයක් කරන්න. ඒක නිසා ගොඩක් පරිස්සම් වෙනවා ඒ චරිතය නිරුපණය කරද්දී. ඒ වගේම පිටපතින් හොඳ සහයෝගයක් ලැබෙනවා. මට මේ ටෙලි නාට්‍ය ඇතුළේ අහියෝගයක් නැහැ. නමුත් මට මම කරන චරිතය මිනිසුන් කොහොම වැළඳ ගනීද කියන අභියෝගය තිබුණා .

ඇයි ඒ වගේ අභියෝගයක් එයි කියලා හිතුවේ?

මොකද 'පත්තිනි' කියලා ෆිල්ම් එකක් ආවා. එයින් පස්සේ ටෙලි නාට්‍යය මේ යන්නේ. සමහර වෙලාවට මිනිස්සු දෙක සංසන්දනය කරනවා නේ. ෆිල්ම් ඒකයි ඩ්‍රාමා ඒකයි. හැබැයි ෆිල්ම් එක කියන්නේ වෙනම පැත්තක්, ඩ්‍රාමා එක කියන්නේ වෙනම විදියකට කෙරෙන එකක්.

ඔබ ඔය කියන සංසන්දනය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර වලදී දකිනවද?

නෑ නෑ . එහෙම නෑ. මම මුලින්ම හිතුවේ, ඒ කිව්වේ විකාශය වෙන්න කලින් එහෙම දෙයක් වෙයි කියලා. දැන් දැනෙන දේ තමා ෆිල්ම් එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ටෙලි නාට්‍ය ගැන තමා හැමෝම කියන්නේ. ඇත්තටම ඒක සතුටක්. ප්‍රේක්ෂකයන් වෙනම ඇහැකින් දකින එක ගැන ගොඩක් සතුටුයි.

අහම්බෙන් ලැබුණු අවස්ථාවක් නෙමෙයි නේද මේ චරිතය ?

ඔව්. තුෂාරි අක්කා මේ කතාව ලියද්දීම එයාගේ හිතේ මාව ඇඳිලා තිබුණා කියලා එයා මට කිව්වා. මම මිට කලින් තුෂාරි අක්කත් එක්ක වැඩ කරලා තියෙනවා. මේ ටෙලි නාට්‍ය වැඩ පටන් ගන්න දවස් කිහිපයකට පෙර මම රියැලටි වැඩසටහනකට සම්බන්ධ වෙලයි හිටියේ. හැබැයි කොහොමහරි දින හැදුණා ටෙලි නාට්‍ය වෙනුවෙන්ම. මම හිතන්නේ ඒකත් වුණේ මටම ලැබෙන්න තිබුණ නිසාම ද දන්නේ නැහැ. කාර්යබහුලත්වය මැද්දේ වුවත් කොහොමහරි ඒකට අවශ්‍ය දින ටික හදාගෙන ඒකට දායක වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල තමා දැන් ලැබෙන්නේ.

තවත් ටෙලි නාට්‍යයක් මේ දිනවල විකාශය වෙනවා නේද?

ඔව්. හිරු නාළිකාවෙම සතියේ දවස් වල 'කවුරුන්ද නුඹ මගේ' කියන ටෙලි නාට්‍යය. අවසාන කොටස් හරිය තමා දැන් යන්නේ. ඒකත් ඉක්මනට ඉවර වෙයි.

රූපවාහිනී නාළිකාවක දින 7 පුරාම ටෙලි නාට්‍ය දෙකක් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීම එක්තරා වාසනාවක් නේද?

එහෙම හිතනවා. මොකද එකෙත් සුවිශේෂිත්වයක් තියෙනවා. කාල දෙකක්, වකවානු දෙකක චරිත ස්වරූපයන් දෙකක්.භාෂාවන් දෙකක්. මම හිතන්නේ රංගනයේ හැකියාවන් පෙන්නවන්න හොඳ අවස්ථාවක්.

අලුත් ෆිල්ම් කිහිපයක වැඩ පටන් ගත්තා කියලා කිව්වා නේද?

ඔව්. එකක් 'ටවුමේ ස්කෝලේ' කියලා, අනිත් එක සුසන්ත ධර්මප්‍රිය මහත්මයාගේ 'රිලෝඩ්' කියන ෆිල්ම් එක. යම රජ්ජුරුවන්ගේ දුව විදියට රංගනයෙන් දායක වෙන්න ලැබුණා. මම හිතන්නේ ඒකත් ගොඩක් වෙනස්ම කතාවක්. ඒකත් ඉක්මනටම ප්‍රේක්ෂකයන් අතරට එයි.

‘තාරුකා මුලදී හරිම නිහඬ කෙනෙක්. හැබැයි දැන් නම් ඒ වගේ නැහැ. කියවනවත් වැඩියි‘ කවුරුත් ඔබට මේ විදියට කියලා නැද්ද?

අයියෝ... ඔව්. කියලා තියෙනවා. මම ඒ දේ පිළිගන්නවා. හොඳම උදාහරණය 'පත්තිනි' ටෙලි නාට්‍ය. එකේ ඉන්නේ මටම හරියන සෙට් එකක්. සමහර වෙලාවට කියනවා මෙයා හිනාවෙනවා වැඩි කියලා. ඒ වුණාට ඒ අයම පස්සේ කියනවා, හිනාවෙලා ඉන්න එක හොඳයි කියලා. කියවනවා වැඩි කියන්නේ මෙහෙමයි, ගොඩක් අය සෙට් වුණු වෙලාවක හොඳට කතා කරනවා. එක පාරටම හැමෝමත් එක්ක කතා කරන්න යන්නේ නැහැ. චුට්ටක් ෆිට් වුණාට පස්සේ ඉවරයක් නැතුව කතා කරනවා.

තරුකාට දැන් කල වයසත් හරි කියලා ගෙදරින් කියන් නැද්ද ?

ඒ දේට නම් ගෙදර අය හොයනවා. මගේ ජිවිතේ ගෙවුණු කාලයත් එක්ක හොඳ වෙලාවේදී මට ඒ දේවල් ලැබුණා. විවාහය කියන දේත් හොඳ කාලේදී වෙයි. හැබැයි අනිවාර්යෙන්ම ළඟදීම තනිකඩ ජීවිතේට තිත තියන්න බලාගෙන ඉන්නවා. 

(නිලු­පුලි සඳ­කැ­ලුම්)

නව අදහස දක්වන්න