රටේ අනන්‍යතාව ආරක්ෂා කරමින් ප්‍රතිපත්ති හදනවා | දිනමිණ

රටේ අනන්‍යතාව ආරක්ෂා කරමින් ප්‍රතිපත්ති හදනවා

සන්ධ්‍යා කරුණාරත්න

ඛනිජ තෙල් සංස්ථාවට හෝ රටට හානිදායක වන ආකාරයේ කිසිදු ප්‍රතිපත්තියක් සෑදීම නොකරන අතර ප්‍රතිපත්ති සෑදීම සිදු කරනුයේ රටේ අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය ව්‍යවසාය කටයුතු පිළිබඳ ඇමැති කබීර් හෂීම් මහතා පවසයි.

බංකොළොත් වී තිබෙන ආයතනයක් ගොඩගැනීමට රජය ප්‍රතිපත්ති සාදන විට ඊට එරෙහි වීම අනුමත කළ නොහැකි දෙයක් බවත්, මේ එරෙහි වීම සිදු කර තිබෙනුයේ දේශපාලන අරමුණක් ක්‍රියාවට නැංවීමට එක් වෘත්තීය සමිති කණ්ඩායමක් පමණක් බවත් ඇමැතිවරයා පැවැසුවේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (26) මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"චීන සමාගමක් සමඟ එක්ව පසුගිය රාජපක්ෂ ආණ්ඩුව හම්බන්තොට වරාය සාදා නැව්වලට ලබාදීම සඳහා රැස් කරගෙන තබා ගත් රුපියල් මිලියන 3000ක් වටිනා තෙල්වලින් බිංදුවක්වත් ගත නොහැකි ලෙස පුස්කා අපතේ ගොස් තිබෙනවා. එවැනි කටයුතු කරමින් රටට සිදු කළ හානිය සහ කොමිස් ගැහිලි සම්බන්ධයෙන් මේ වෘත්තීය සමිති කිසිදු විරෝධතාවක් නොදැක්වීම හාස්‍යයට කරුණක්. රජය සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව ආරම්භ කර ඇති මේ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළි ගත නොහැකියි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකිණීමට යන බවට ප්‍රකාශ කරමින් වැරැදි ආදර්ශයක් පසුගිය කාලයේ රටට ලබා දුන්නා." 

නව අදහස දක්වන්න