මතුගම ඩෙංගු රෝගීන් වැඩිවෙලා | දිනමිණ

මතුගම ඩෙංගු රෝගීන් වැඩිවෙලා

මර්දන වැඩසටහන් පුළුල් කරයි

මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස බල ප්‍රදේශයේ ‍ඩෙංගු උණ රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වී 327 දක්වා ඉහළ ගොස් ඇති හෙයින් පුළුල් ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඩී. ලයනල් මහතා පවසයි.

පසුගිය මැයි, ජුනි මාසවල රෝගීන් 112 දෙනෙකු රෝගයට ලක් වූ බවට වාර්තා වී ඇත.

මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සමුද්‍රා බද්දෙවිතාන, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඩී. ලයනල් මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් පුළුල් ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් මට්ටමින් නිවාස 6300ක් මේ දිනවල පරීක්ෂා කොට මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන ඉවත්කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

මදුරුවන් බෝවන ලෙස ගෙවතු අපිරිසිදුව තැබූ නිවාස 13කට නඩු පැවරීමටද පියවර ගත්තේය. නිවාසවල තිබුණු කැළිකසළ අපද්‍රව්‍ය සියල්ල ඉවත්කර කානු පද්ධති පිරිසුදු කිරීමට උපදෙස් ලබා දුන්නේය.

මතුගම ප්‍රාදේශීය සභාවෙන් ටිපර් ලොරි යොදා ප්‍රදේශපුරා ඇති නොදිරන අපද්‍රව්‍ය එකතුකිරීමද මේ දිනවල සිදුවිය.

ඩෙංගු මදුරුමර්දන කණ්ඩායම් හතළිස්පහක් යොදාගෙන දින හතරක් තිස්සේ මේ වැඩපිළිවෙළ කලාප මට්ටමින් ක්‍රියාත්මක කළේය.

ඩෙංගු රෝගීන් වැඩිපුරම වාර්තා වී ඇති වලගෙදර, බෝපිටිය, විගම, හොරවල හා යටදොළ ප්‍රදේශවල මෙම වැඩපිළිවෙළ පුළුල් ලෙස ක්‍රියාත්මක කරන ලදී.

ප්‍රදේශයේ රාජ්‍ය ආයතන පාසල් දැඩි පරීක්ෂාවකට ලක්කර මදුරුකීටයන් හමු වූ ආයතනවලට අවසන් නිවේදනද ලබා දුන්නේය.

මේ ඒකාබද්ධ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනට මතුගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ඩෙංගු මර්දන බළකාය, යුදහමුදාව මතුගම පොලිසිය පූර්ණ දායකත්වය ලබා දුන්නේය.

මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඩී. ලයනල්, ඩී.සී. පොතුවිල,එච්. මුදලිගේ, දිනේෂ් වෙල්ලාල යන මහත්වරු මේ ගම්මානවල නිවාස පරීක්ෂක කටයුතු සංවිධාන කර තිබිණි.

මතුගම සංචාරක

 

නව අදහස දක්වන්න